Image: Chloe Hedden ‘Lavender Folds’

ප්‍රංශයේ හිජාබ් තහනම් කළ විට බදියු එයට එරෙහි වෙමින් ලියූ සුප්‍රකට රචනයේ කොටසක් මා කලකට පෙර සිංහල නැගුවෙමි. එය සම්පූර්ණ කරන්නට සිතා සිටිය ද විවිධ වැඩ කටයුතු නිසා එය කළ නොහැකි විය. අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් වන බුර්කා තහනම් කිරීම නම් අතිශය වැදගත් කර්තව්‍යය ආණ්ඩුව විසින් සිදු කර තිබෙන නිසා මෙම ලිපිය නැවත බෙදා ගැනීම් ප්‍රයෝජනවත් කියා සිතුවෙමි (මෙය සම්පූර්ණ ලිපිය නොව එහි මුල් කොටස පමණක් බව මතකයේ තිබා ගන්න – සම්පූර්ණ ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනයේ සබැඳිය පහතින්).

1. සොඳුරු ජනරජවාදීන් කීප දෙනෙකු එක්තරා දිනයකදී තීරණය කළා ගැහැණු ළමයින් සිය හිසකෙස් වලට ඉහලින් හිස්-පළඳනාවක් දැමීම තහනම් කරනා නීතියක් අවශ්‍ය බවට තර්ක කරන්න. පළමුවෙන්, එය පාසලෙන් තහනම් කරන්න. ඊළඟට වෙනත් තැන්වල. පුලුවන්නම්, සෑම තැනකම. ඔබට ඇසුනාද මම නීතියක් කියල කියනවා? නීතියක්! ජනරජයේ ජනාධිපති කියන්නේ ඔහුව ගිලා දැමිය නොහැක්කේ කොපමණද, එතරම්ම ම සීමිත වන්නා වූ දේශපාලනඥයෙකි. ඉහත සොඳුරු ජනරජවාදීන් අපට සොයා ගත හැකි, සියලුම සමාජවාදීන් ගේද ඇතුළු 82 % ඡන්දයකින් සර්වාධිකාරී ලෙස තේරී පත්වුණු මොහු, සෙමින් හිස සැලුවා : නීතියක්, ඔව්, තමන්ගේ හිසකෙස් වලට ඉහලින් ප්‍රශ්නකාරී හිස්පලඳනාවක් දමන ගැහැණු ළමයින් දාහකට දෙදාහකට එරෙහිව නීතියක්. මේ අපිරිසිදු, හඩු එවුං! ඒ මදිවට උන් මුස්ලිම්! ඔන්න ඔහොම තමයි, සෙඩාන් (Sedan) වල යටත් වීම, පේටෙන්, ඇල්ජීරියානු යුද්ධය, මිතරොන් ගේ හොර ගිවිසුම්, වීසා නොමැති කම්කරුවන්ට එරෙහි ම්ලේච්ඡ නීති ආදියට පස්සේ ප්‍රංශය විසින් ලෝකයම පුදුමයට පත්කරනු ලැබුවේ. ශෝකාන්තය ට පසුව, විකට නළුව.

2. ඔව්, අන්තිමටම ප්‍රංශය විසින් හොයාගෙන තියෙනවා තමන්ගේ මට්ටමට ගැලපෙන ප්‍රශ්නයක් : ගැහැණු ළමුන් කිහිප දෙනෙකුගේ හිස් මත ඇති හිස්-පළඳනා තහනම් කිරීම. කෙනෙකුට කියන්න පුළුවන් මේ රටේ විනාශය දැන් පරිපූර්ණ වෙලා කියලා. බොහෝ කලකට පෙර ල පෙන් විසින් හඳුනා ගත් සහ කිසි ලෙසකින්වත් සැක කල නොහැකි බුද්ධිමතුන් කීප දෙනෙක් විසින් අද වන විට තහවුරු කරනු ලැබූ, මුස්ලිම් ආක්‍රමණයට නියම පිළිතුර දැන් ලැබී තිබේ. පොයිටියර්ස් වල යුද්ධය (the battle of Poitiers) ළදරු ක්‍රීඩාවක්, චාල්ස් මාටේ (Charles Martel) නිකන් කුලියට ගත්ත තුවක්කුවක්. චිරාක්, සමාජවාදීන්, ස්ත්‍රීවාදීන්, සහ ඉස්ලාම් භීතියෙන් පෙලෙන ප්‍රබුද්ධත්වයේ බුද්ධිමතුන් විසින් හිස්-පළඳනා වේ යුද්ධය දිනනු ඇත. පොයිටියර්ස් වල සිට හිස්-පළඳනාව දක්වා : තාර්කිකත්වය උපරිමයි සහ ප්‍රගතිය අති මහත්.

3. ශ්‍රේෂ්ඨ අරගල වලට අලුත් වර්ගයේ තර්ක අවශ්‍ය වෙනවා. නිදර්ශනයක් ලෙස, මෙන්න මේ වගේ : හිස්-පළඳනාව යනු ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට එරෙහි (පියාගේ, වැඩිමහල් සොහොයුරාගේ) පුරුෂ බලයේ සංඛේතයක් වන නිසා එය තහනම් කල යුතුය. ඒ නිසා හිතුවක්කාරී විදියට එය දිගින් දිගටම පළඳින ගැහැණු ළමයින් අපි පිටුවහල් කරමු. කෙටියෙන් කියනවානම් : මේ ගැහැණු ළමුන් සහ කාන්තාවන් මර්ධනය වී සිටී, ඒ නිසා අපි ඔවුන්ට දඬුවම් දෙන්නෙමු. ඒක ටිකක් සමානයි මෙහෙම කියනවට : “මේ ගැහැණිය ලිංගික අපයෝජනයට ලක්වී තිබේ, ඇයව හිරේ දමන්න’. හිස්-පළඳනා පිලිබඳ ප්‍රශ්නය කොතරම් වැදගත් ද කියන්නේනම් එයට ලැබිය යුතුයි අලුත් කරන ලද ප්‍රත්‍යක්ෂ (axioms) වලින් යුත් තර්ක-ශාස්ත්‍රීය පද්ධතියක්.

4. එහෙම නැත්නම්, අනික් අතට, මෙන්න මේ තර්කය : මේ කාලකන්නි හිස්-පළඳනාව සිය කැමැත්තෙන්ම දමන්නේ මේ ගැහැනුන් විසින්මයි – කැරලිකාරයෝ, අකීකරු ළමයි! ඒ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න ඕන. මොහොතක් ඉන්න : ඇත්තටම මේක පුරුෂ බලයේ සංඛේතයක් නොවෙයිද? මේ මුළු කතාවේම තාත්තාට හරි වැඩිමහල් සහෝදරයාට හරි භූමිකාවක් නැතිද? එහෙනං, මේ හිස්-පළඳනාව තහනම් කිරීමේ අවශ්‍යතාවය එන්නේ කොහෙන්ද? ඒ තමයි මේක එළිපිටම ආගමික වීම කියන කාරණය. මේ යක්කු හැඟීම් ඇවිස්සෙන විදියට ඔවුන්ගේ විශ්වාසයන් ප්‍රදර්ශනය කරනවා. ගිහින් දණ ගහනවා පංතියේ ඉස්සරහා!

5. කොහොමහරි, එක්කෝ ඒ තාත්තා සහ වැඩිමහල් සහෝදරයා වන නිසා එය ‘ස්ත්‍රීවාදී’ ලෙස හිස්-පළඳනාව ඉරා දැමිය යුතු වෙයි. නැතිනම්, ඒ ගැහැණු ළමයා තමන්ගේ විශ්වාසයන් මත එල්බගෙන ඉන්න නිසා එය ‘ලෞකික’ විදියට එය ඉරා දැමිය යුතුය. හොඳ හිස්-පළඳනාව කියා දෙයක් නොමැත. නිරුවත් ඔළු ගෙඩි! සෑම තැනම! ඒ කාලේ කියපු විදියට කියනවානම් – මුස්ලිම් නොවන අයත් එහෙම කිව්වා – සියලුම දෙනාටම නිරාවරණය වූ හිසින් එලියට යන්න දෙන්න.

6. අද දවසේ ජනරජය : තොප්පි වලට භංග වේවා!

7. විශේෂයෙන් මතක තියා ගන්න ඕන කරුණක් තමයි හිස්-පළඳනා දමන ගැහැණු ළමයාගේ තාත්තා සහ අයියා කියන්නේ නිකන්ම දෙමව්පියන් නෙමෙයි. බොහෝ තැන් වලින් ඉඟි කරපු, සහ සමහරවිට විවෘතව ප්‍රකාශ කරපු, දෙයක් තමයි තාත්තා කියන්නේ තිරිසන් කම්කරුවෙක්, ඈත ගමක ඉඳල රෙනෝ (Renault’s) කර්මාන්ත ශාලාවට සින්න වෙච්ච දුප්පත් කාලකන්නියෙක්. වැඩවසම් කුහකයෙක්. ඒ වගේම මෝඩයෙක්. අයියා කියන්නේ ගංජා විකුණන කෙනෙක්. මිනිහා නූතනයි, හැබැයි දූෂිතයි. අපරාධ බහුල පැත්තක්. භයානක සමාජ පන්ති.

8. මුස්ලිම් ආගම අනෙක් ආගම් වල ඇති අඩුපාඩුකම් වලට මෙම අතිශයින් බැරෑරුම් කරුණ එකතු කරනවා : ප්‍රංශය තුල එය දුප්පතාගේ ආගමයි.

9. මේ කෝණයෙන් බැලූ විට හිස්-පළඳනාව යනු : දුප්පත් දෙවියෙකුගේ දෑස් ඉදිරිපිට දුප්පතා විසින් දුප්පතාව මර්ධනය කිරීමයි. “පිළිකුල්සහගතයි” තමන්ගේ නිම නොවන ධනය දිගු කල් පවත්වා ගැනීම හැර වෙන කිසිවක් අපේක්ෂා නොකරන, සුළු-ධනපතියා කෑ ගසනවා.

10. තමන්ව එලෙසින් හඳුනා ගන්නට නියමිත පුද්ගලයෙක් සමග මම මෙයට වසර කීපයකට පෙර හිස්-පළඳනාව පිලිබඳ ප්‍රශ්නය ගැන වාද කරන විට මට මෙහෙම චෝදනා කළා: ‘ඒ කියන්නේ ඔබට හිස කෙස් ලිංගික සංඛේතයක් ලෙස තිබෙන්න ඕන නිසා ඔබ කියනවා එය සඟවා තැබිය යුතුයි කියා?’ මට පුද්ගලිකව කිසි දෙයක් අවශ්‍ය නොවේ. නමුත් අවසන් වශයෙන් මතක තියා ගන්න බොඩ්ලේ (Baudelaire) මේ පද වැල :ඒ ලෝම! දෙවුර වසා දඟර ගැසෙනා තරංග! කෙස්!කීරි ගැසෙනා හිස්බවේ සුවඳවිලවුන් වල සුවඳෙන් මත්වී!කුමන සුවයක්ද! එය සොලවන්න, හිස්-පළඳනය – හරියට – අතන, මෙතන;නිදා උන් මතකයන් අවධි කර, හිස කෙස් මතින් ඒවා පා කරන්න,පුරවමින්, මේ රාත්‍රිය, අපේ කෙටි නිවහනේ කළුවර වන අඳුර.යක්ෂයා! ෆැන්ටැස්මතික මුසල්මානුවෙක්!

O fleece! Curls rippling round the shoulders! Hair!Thick with the scent of langourous perfume!What bliss! To shake it, kerchief – like – here, there;Wake sleeping memories, waft them through the hair,Filling, this night, our alcove’s darkling gloom.Devil! A fantasmatic Muslim!

11. මට මතකයි අතීතයේදී, සිය හිසකෙස් ලිහා දමමින් (අහෝ! මුදු ලෙස ඇයගේ දෙවුර මත එය සෙමින් වැටෙන විට!) ගැහැණිය තමන්ගේ ඇති ප්‍රේමනීය එකඟ බව පෙන්වන යුගයක්. එය ලෞකිකවාදයට අභියෝගයක් වුනාද? ස්ත්‍රීත්වය සිර කර දැමීමක් උනාද? සමහරවිට, සමහරවිට…

12. පාසල් විදුහල්පතිවරයෙක් සිහියට නගා ගන්න. ඔහු පසුපසින් එනවා මිනුම් පටි, කතුරු සහ දණ්ඩ නීති සංග්‍රහය රැගත් පරීක්ෂකවරු. ඔවුන් පැමිණෙන්නේ හිස්-පළඳනා, කුඩා තොප්පි ආදිය ‘අසංවර ලෙස ප්‍රදර්ශනකාරී ද’ (‘ostentatious’) නැතිද යන්න පරික්ෂා කිරීමට. කොණ්ඩය ගැට ගසා ඇති ගැටය මත මුද්දරයක් සේ තිබෙන විශාල හිස් පළඳනාව කොහොමද? එහෙම නැත්තන් යුරෝ දෙකේ කාසියක් තරම් කුඩා වන කැප්-තොප්පිය? සියල්ල හරිම සැක සහිතයි. කුඩා එක බොහෝ දුරට විශාල එකේ අසංවර ලෙස ප්‍රදර්ශනාකාරී මාදිලිය විය හැකී. මේ මොකද්ද මේ එන්නේ? පරිස්සමින්! හත් දෙයියනේ, මේ ටොප් හැට් එකක්! ටොප් හැට්ස් ගැන අහපු වෙලාවක මලාමේ (Mallarme) වරක් කිවුවා : ඔය වගේ එකක් දා ගන්න ඕනෑම කෙනෙක්ට ඒක ගලවන්න ලැබෙන්නේ නෑ. ලෝකය අවසන් උනත් තොප්පිය අවසන් වෙන්නේ නෑ.’ සදාකාලිකව අසංවර ලෙස ප්‍රදර්ශනාකාරී.

13. ලෞකිකවාදය. මල නොබඳින මූලධර්මයක්! දශක තුන හතරකට ඉස්සර පාසලේදී මිශ්‍ර පංති තහනම් උනා, ගැහැණු ළමයින්ට කලිසම් අඳින්න දුන්නේ නැහැ. ආගමික ඉගැන්වීම් සහ පූජකවරු අනිවාර්ය උනා. සාමූහික මුණ ගැසීම් (communion) බොහොම ආකෘතිගත විදියට උනේ – කොල්ලෝ සුදු අත්පටි බැඳගෙන, කෙල්ලෝ වේල් එකකින් මුහුණ වසාගෙන. ඒවා හිස්-පළඳනා විතරක් නෙමෙයි, මුහුණු ආවරණය වෙන සැබෑම වේල්. මෙහෙම තියෙද්දී තමයි ඔබ මට කියන්නේ අර හිස්-පළඳනාව දමන එක අපරාදයක් කියල සලකන්න කියලා? අර කාලයත් එක්ක ඉස්සරහට නොයෑමේ සංඛේතය, අතීතය, කාලක්‍රමික සිරවීමක් මතක් කර දෙන? සතුටින් අප අතර අද මුහු වන මේ තරුණ කාන්තාවන් අප පිටුවහල් කල යුතුද? බය නැතුව, ධනේශ්වර යන්ත්‍රය කරකවන්න. දුරින් පැමිණෙන කම්කරුවන් පැමිණීම, පිටව යාම, කනගාටු වීම කුමක් උවත් ධනවාදය විසින් සොයා ගනීවි, ආගම් වල මිය ගිය දෙවියන් වෙනුවට පාරිභෝගික භාණ්ඩ නම් ඉහල වන්දියක් ගෙවිය යුතු දෙවියා (fat Moloch of merchandise) ආදේශ කරන්නේ කොහොමද කියලා.

14. දේවල් වෙන හැටියට, ඇත්තටම අද තියෙන ලොකුම ආගම ව්‍යාපාර නෙමෙයිද? මේකට සාපේක්ෂව මේ භක්තිමත් මුසල්මානුවන් ව පේන්නේ බොහොම විනයක් සහිත සුළුතරයක් ලෙස නෙමෙයිද? අනෙක් අතට මේ පහත් පෙලේ ආගමේ අසංවර ලෙස ප්‍රදර්ශනකාරී සංඛේත අපිට කලිසම්, ටී ෂර්ට්, සපත්තු ආදිය තුල Nike, Chevignon, Lacoste වැනි නම් වලින් අපිට දැක ගන්නට නැතිද? දෙවි කෙනෙකුට භක්තිවන්ත වෙනවාට වඩා, කොම්පැනියක විලාසිතා ගොදුරක් වෙන එක පහත් නොවේද? අපිට අවශ්‍ය ඉලක්කයේ හදවතටම පහර දෙන්නනන්, අපි විශාල අරමුණක් තුල සිතනවානන්, අවශ්‍ය වෙන්නේ කුමක්ද කියා අපි දන්නවා : වෙළඳ නාම වලට එරෙහිව නීතියක්. චිරාක් මහත්තයෝ, ඔන්න කරන්න ඕන වැඩ. ප්‍රාග්ධනයේ අසංවර ලෙස ප්‍රදර්ශනාත්මක සංඥාවන් පැකිලීමකින් තොරව තහනම් කරන්න.

15. ඇත්තටම! නිරුවතින් යන එක ගැහැණියගේ යුතුකමද? කලවා නිරාවරණය කිරීම අත්‍යවශ්‍යද? දෙතනත් ඕනද? කරාබුවක් දමපු බුරියත් යුතුකමක් ලෙස එළියේ දැමීම? ඈත ගමක පිහිනුම් තටාකයක් තුල සමහර කාල පරිච්චේද කාන්තාවන්ට පමණක් වෙන් කර තිබුනා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් තමන්ව සඟවාගෙන සිටින භක්තිමත් කාන්තාවන් සතුටින් දිය නෑමට පුළුවන් වුනේ. නමුත් නගරාධිපතිවරයා මෙය බලසම්පන්න තර්කයකින් ඉවර කළා: ‘ගැහැනියගේ සිරුර සඟවා නොතැබිය යුතුයි’. අනිවාර්යයෙන් ම! සියලුම ගැහැනුන් නිරුවතින්! මේක පුළුවන් තරම් කෝපය එන ලෙස කල යුතුයි!

16. මට එක දෙයක් පැහැදිලි කරන්න. විවිධ කාල වලදී සහ විවිධ ස්ථාන වලදී සිරුරේ පෙන්විය යුතු සහ නොපෙන්විය යුතු තීරණය කරන ස්ත්‍රීවාදී සහ ජනරජවාදී සබුද්ධිකත්වය කියන්නේ කුමක්ද? මගේ දැනුමේ හැටියට, අදටත් සහ පාසල් වලින් පිටත්, දෙතන හරි, ලිංගීන්ද්‍රය අසල ඇති රෝම හරි, පුරුෂ ලිංග හරි පෙන්නන්නේ නැහැ. මෙම කොටස් ‘ප්‍රදර්ශනය නොවීම’ ගැන මම තරහ ගන්න ඕනද? මම ස්වාමිපුරුෂයන්, ආදරවන්තයන්, වැඩිමහල් සොයුරන් ගැන සැක කරන්න ඕනද? ප්‍රංශයේ ගම්වල, ස්වාමිපුරුෂයා මිය ගිය කාන්තාවන් කළු වේල්, කළු මේස් සහ කළු හිස්-පළඳනා දැම්මේ වැඩි අතීතයේදී නෙමෙයි – සිසිලියේ සහ වෙනත් තැන්වල එය අදටත් කරනවා. එහෙම කරන්න මියගිය ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකුගේ බිරිඳක් ම වෙන්න ඕන නැහැ.

මුල් ලිපියට අදාළ සබැඳිය.

https://www.versobooks.com/blogs/2025-alain-badiou-the-law-on-the-headscarf-is-a-pure-capitalist-law?fbclid=IwAR3YAjM678Kc7RVEgZ7aHyjkMHgfs-R53uaRLMBEXB7mBIRH-kuMgBP7RW4

ඇලේන් බදියු

සිංහල පරිවර්තනය – වංගීස සුමනසේකර