[Image: Caravaggio, “The Taking of Christ”; oil on canvas (1602)

යක්ෂයන් ගේ ක්‍රියාකාරිත්වයක් අවශ්‍යතාවය වෙනුවෙන් – ‘ආත්මය’ ගැන මෙයසූ ගේ ප්‍රවාදය එපිකියුරියස් ගේ දර්ශනයේ භෞතිකවාදී ස්ථාවර සමග සදාකාලික සහ විනාශ නොවන දෙවිවරුන් ගේ පැවැත්ම පිළිබඳව අදහස ගලපන්නේ කෙසේ ද යන්න තරමක් ආන්දෝලනාත්මක අර්ථකථන ගැටලුවකි. මේ සඳහා තිබෙන ප්‍රධාන විසඳුම වන්නේ දෙවිවරුන් පවතින්නේ අප ජීවත් වන විශ්වයේ නොව වෙනත් අන්තර්-විශ්වීය (inter-cosmic) අවකාශයක යන්නයි. එම නිසා අපේ විශ්වයේ දී මෙන් එම විකල්ප ස්ථානයේ දී යම් යම් පරමාණුක පදාර්ථයන් විනාශ වීම සිදු වන්නේ නැත.

ආත්මය පිළිබඳව මෙයසූ ගේ ප්‍රවාදය තේරුම් කළ හැකි සරල ආකෘතියක් ලෙස මෙම එපිකියුරියානු දිව්‍යමත්වය ගත හැකිය. ආත්මය (subject) යනු, මෙයසූ ට අනුව, මනොවිශ්ලේෂණය, මනෝවිද්‍යාව සහ/හෝ සමාජ විද්‍යාව මගින් සංකල්පගත කරන ‘ආත්මීයත්වය’ (‘subjectivity’) නොවේ. එම දෙවැනි අර්ථයෙන් ආත්මීයත්වය යනු අපේ සිතීම, සවිඥානය, අවිඥානය, මනස, විඥානය ආදිය සම්බන්ධ වූ ගැටලුවකි. මෙයසූ ගේ මූලික මෙහෙයුම වන්නේ ‘ආත්මය’ පිළිබඳව සාකච්ඡාව මෙවැනි ‘ආත්මීයත්වය’ පිළිබඳව සංවාද වලින් වෙන් කිරීමයි.

ඒ වෙනුවට ආත්මය යනු, මෙයසූ ට අනුව, අනාගත විශ්වීය විමුක්තියක් වෙත කිසියම් සිතීමක් (එනම් ‘මිනිසෙක්’) උපරිම ලෙස පක්ෂපාතීත්වයක් දක්වන ලක්ෂ්‍යය යි. තවත් සරල ලෙස අනාගතයේ දී අප ලැබිය හැකි විමුක්තියක් පිළිබඳව සිතීමක් වෙනුවෙන් අප දැන් ගොඩ නගන ක්‍රියාකාරිත්වයන් ගේ එකතුවයි. අප එවැනි ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් හොඳින්ම සම්බන්ධ වන මොහොත ලෙස අප විසින්ම හඳුනා ගන්නා ලක්ෂ්‍යය යනු ආත්මයයි. අප විසින් අනුගමනය කරන විශ්වීයත්වයේ ප්‍රතිවිපාක අපට හොඳින්ම ක්‍රියා කරවිය හැක්කේ එතැන දී ය.

මෙම ප්‍රවේශයට අනුව ආත්මය යනු අන් සියල්ලට වඩා ස්ථානීය, එසේත් නැති නම්, ස්ථල විද්‍යාත්මක සංකල්පයක් බව පැහැදිළි විය යුතුය. එම අර්ථයෙන් මෙයසූ සිය බදියානු සහ ලැකේනියානු උරුමයට පක්ෂපාතී වන බව පැහැදිළි වේ. නමුත් ලැකෝන් මෙන්ම බදියු ද ආත්මය සහ ආත්මීයත්වය අතර මේ ආකාරයේ තියුණු වෙන් කිරීමක් කරන්නේ නැත. ප්‍රේමය යනු ආත්මීය ක්‍රියාකාරිත්වයක් ලෙස බදියු නම් කරන්නේ මෙම වෙන්වීම ඔහු තුළ පරිපූර්ණ නොවන නිසාය. විද්‍යාව, දේශපාලනය සහ කලාව යන කොන්දේසි තුනම අපට පූර්ණ ස්ථල විද්‍යාත්මක ලෙස කියවිය හැකි වුවත් ප්‍රේමය සම්බන්ධයෙන් අපට මෙය සිදු කිරීමට ඉතාම අපහසු වේ. බදියු ගේ ආත්මය පිළිබඳව ප්‍රවාදය සත්‍ය වශයෙන්ම පශ්චාත්-ලැකේනියානු ප්‍රවාදයක් නොවන්නේ ද මේ නිසාය. අනෙක් අතට බදියු ගේ දර්ශනය තුළ අවසාන විග්‍රහයේ දී ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණයට ඉඩක් නොමැති වනවා කියා ජිජැක් වැනි අයට චෝදනාවක් එල්ල කළ හැක්කේ ද මෙම නිසාය.

මෙයසූ ගේ ප්‍රවේශය තුළ මේ සඳහා ඉතාම සරල විසඳුමක් ඇති බව පැහැදිළි වනවා කියා සිතමි. ඔහු සිදු කරන්නේ ආත්මය යන්න ආත්මීයත්වයෙන් වෙන් කිරීමයි. එවිට ආත්මීයත්වයේ ගැටලුව මනෝවිශ්ලේෂණය වෙත බාර දී එමගින් උත්පාද වන දාර්ශනික ගැටලුව ඔස්සේ මානව විමුක්තිය සහ සත්‍යය වෙත ඇති සම්බන්ධ පිළිබඳව සිතීම දර්ශනය වෙත උකහා ගත හැක. නමුත් මේ වෙනුවෙන් මෙයසූ ගෙවිය යුතු වන්දිය වන්නේ ආදරය පිළිබඳව සිතීම අත්හැරීමයි (මෙයසූ ගේ දර්ශනය තුළ දේශපාලනය, විද්‍යාව සහ කලාව යන තුනම සම්බන්ධයෙන් බැරෑරුම් සිතීමක් ඉලක්ක කළ ද ප්‍රේමය පිළිබඳව සංවාදයක් මුළුමනින්ම වාගේ නොපවතින්නේ මෙම නිසාය). මෙයසූ ගේ ප්‍රති-තර්කය වන්නේ ආත්මය යනු සත්‍යය වෙත දක්වන සම්බන්ධයක් යන අර්ථයෙන් ගත්විට එය සෑම විටම මානව විමුක්තිය ඉලක්ක කරනා බවයි.

එම නිසා අප අද සිතිය යුත්තේ සත්‍යය වෙත දිශානත වූ ක්‍රියාකාරිත්වයක් තිබිය හැක්කේ කොතැනක ද යන ප්‍රශ්නය පිළිබඳව යි. එපිකියුරියස් ගේ අන්තර්-විශ්වීය අවකාශය පිළිබඳව අදහස මෙයසූ ට වැදගත් වන්නේ මෙම නිසාය. එපිකියුරියස් ගේ දෙවිවරුන් මෙන්ම ආත්මය යනු ද භෞතිකව විනාශ විය හැකි දෙයක් නොවේ. එය පවතින්නේ අප විශ්වීය විමුක්තියක් පිළිබඳව සිතන, ඒ වෙනුවෙන් තීරණ ගන්න, ඒ වෙනුවෙන් එකතු වී සාකච්ඡා කරන තැන් වලයි. එම තැන් වල ‘අප’ එකතු වන ආකෘතිය අනුවයි. අනාගතයේ එන ‘නව ලෝකයක්’ වෙනුවෙන් අප දැන් එකතු වී, අප දැන් ප්‍රායෝගිකව සිටිනා මේ ලෝකයෙන් දුරස් වී, අනාගතය වෙත අපගේ පැවැත්ම දිශානත කර, අපගේ සිතීම සංකේන්ද්‍රගත කරයි. ආත්මය යනු මෙම සංකේන්ද්‍රගත කිරීමයි, මෙම සමුච්චනය යයි. නමුත් එපිකියුරියස් ගේ දෙවිවරු මෙන් අප මෙහිදී ගනුදෙනු කරන්නේ මේ වනවිටත් පවතින්නේ නැති මෙන්ම අනාගතයේ දී වුවත් නියත ලෙස පවතීය කියා සහතික විය නොහැකි අනාගත ලෝකයක් වෙනුවෙන් නිසා අපට මෙම ආත්මය කිසි සේත් දැනටමත් ස්ථාපිත දිව්‍යමත්වයක් ලෙස හඳුන්වා දිය නොහැක.

මෙය හඳුන්වා දීම සඳහා යක්ෂයා (demon) යන රූපකය මෙයසූ යෝජනා කරන්නේ මෙම නිසාය. අප මෙය ගත යුත්තේ ‘demon’ යන ඉංග්‍රීසි වචනයේ නිරුක්තිය වන ‘daimon’ යන ග්‍රීක වචනය ට අනුවයි. ග්‍රීක පුරා කතාවලදී ‘යක්ෂයෙක්’ ලෙස නම් කරන්නේ අර්ධ-දෙවිවරුන් පිරිසකි. ඔවුන් මිනිස් ලොව සහ දිව්‍යමය ලෝකය අතර තුර සැරි සරයි. එම අර්ථයෙන් මෙයසියානු ආත්මය අප නම් කළ යුත්තේ යක්ෂයන් ගේ ක්‍රියාකාරිත්වයක් ලෙසයි. අපට අද දවසේ අවශ්‍ය වන්නේ මෙවැනි යක්ෂයන් උත්පාද කරන සහ එකතු කරන වැඩපිළිවෙලකි.

වංගීස සුමනසේකර