[Image: Claude Cahun, Autoportrait; gelatin silver print (1927)]

ජනප්‍රියවාදය යනු දේශපාලනයේ සැබෑ ස්වරූපයයි යන ලැක්ලාවූ ගේ තිසීසය මම පිළිගනිමි. එහි අරමුණ වන්නේ පොදුජන අභිලාෂයන් උත්පාද කිරීම සහ මෙහෙයවීමයි. මෙය එතරම් පහසුවෙන් සිදු වන දෙයක් කියා මා සිතන්නේ නැත. කාලයෙන් කාලයට දේශපාලන ප්‍රභූ තන්ත්‍රය පිළිබඳව ඇති විශ්වාසය විශාල වශයෙන් බිඳ වැටීම නිසා ඉන් බාහිර චරිතයක් හෝ එහි පාලනයෙන් තොර විකල්ප අදහස් මත මෙහයවෙන චරිතයක් වෙනුවෙන් ඉල්ලුමක් ඇති විය හැකිය (1994 දී සහ 2015 දී සිදු වූයේ මෙයයි). නමුත් මෙය පහසුවෙන් ඇති වන්නේ නැති අතර දැනුවත්ව ඇති කිරීම ද පහසු නොවේ (බදියු ගේ භාෂාවෙන් කියන්නේ නම් දේශපාලනය යනු කරුණු වල පර්යාය ට අයිති දෙයක් නොව සිදුවීම් වල පර්යාය ට අයිති දෙයකි [politics is not of the order of facts but of the order of events]).

ගැටලුව වන්නේ මේ අතරමැදි කාලයේ දී දේශපාලනිකව දැනුවත් මැදිහත්වීම් ලෙස අපට කළ හැක්කේ මොනවා ද යන්නයි.

මෙහිදී පළමුවෙන් තිබෙන්නේ පොදුජන අරගල වලට සහය දීම, එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් හැකිතාක් තියුණු ලෙස සංවිධානය කරන්න උත්සාහ කිරීම ආදියයි. මේ දිනවා හිඟුරක්ගොඩ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින ලෙස ඉල්ලා සිදු කරන උද්ඝෝෂණය මෙවැන්නකි (මට තේරෙන ආකාරයට මෙය හදිසියේ ප්‍රාදුර්භූත වූ ‘පරිසර අර්බුධයට’ වඩා අතිශය වැදගත් දේශපාලන ඉල්ලීමකි).

දෙවැනි ප්‍රවේශය ලෙස අපට සමාජයේ ස්ථාපිත අදහස්, ආධිපත්‍යධාරී මතවාද වලට එරෙහිව සිදු කරන අරගලය ගත හැකිය. සම්ප්‍රදායිකව දෘෂ්ඨිවාදය විචාරයට බඳුන් කිරීම, එසේත් නැතිනම් වඩාත් පුළුල් ලෙස, මතවාදී අරගලය ලෙස හඳුන්වන්නේ මෙයයි (සත්‍ය වශයෙන්ම මෙය ප්ලේටෝ ගේ ලෙන් උපමාව දක්වා දිව යයි).

පොදුවේ ගත්විට මේ පියවර දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිශ්කාරී නොවනවා පමණක් නොව ඒවායේ දේශපාලනික විභවයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එකක් විසින් අනෙක අනිවාර්යයෙන් ගම්‍ය කළ යුතු ය. මතවාදී අරගලයක් නොමැති සමාජයක පොදුජන ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වෙනුවෙන් හඬ නැගීමට වැඩි පිරිසක් ඉතිරි නොවනු ඇත. සත්‍ය වශයෙන්ම එවැනි අවස්ථාවක දී එවැනි ඉල්ලීම පුද්ගලික ඉල්ලීම් ඉක්මවූ දෙයක් ලෙස හඳුනා ගැනීමට පවා වැඩි දෙනෙක් උත්සාහ නොකරනු ඇත. එම නිසා මෙවැනි පොදුජන ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිනා ක්‍රියාකාරීන් උත්පාද කිරීම පසුපස මතවාදී අරගලයේ භූමිකාව කේන්ද්‍රීය වේ. අනෙක් අතට එවැනි දේශපාලනයක් සමග සම්බන්ධ නොවුණු මතවාදී ක්‍රියාකාරකම් ඉතා පහසුවෙන් හුදු බුද්ධිමය සංවාද, ශාස්ත්‍රාලීය සංවාද සහ අවසානයේ දී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්, හුදු ‘ආතල්’ වැඩ බවට පත්වීමේ අනතුරක් තිබේ.

කර්ට් කොබේන් ගේ වැනි කලාත්මක මැදිහත්වීමක විපර්යාසකාරී විභවය මා සාකච්ඡා කරන්න උත්සාහ කළේ මෙවැනි සන්දර්භයකයි. සැකයකින් තොරවම කොබේන් ගේ සංගීතයේ පවත්නා ස්ථාපිතයට එරෙහිව සිතීමට කෙනෙක් පොළොඹවන විකල්ප මානයක් තිබේ. එවැනි පෙළඹවීමක් සාමාන්‍ය සබුද්ධික දේශපාලන කතාවකින් හෝ ලිවීමකින් හෝ කරනවාට වඩා බෙහෙවින් බලපෑම්කාරී වන්නේ එය අපේ ආවේදනයන් වලට ආමන්ත්‍රණය කරන නිසාය. නමුත් එම නිසාම එය ඉතා පහසුවෙන් ‘අධිකතර අතිරික්තයන්’ සොයා යාමේ පෙළඹුමක් ද සෑම විටම ඇති කරයි. එසේ නම් අප මෙවැනි භාවිතයන් අපේ පොදු අරගල උපායමාර්ගික දැක්ම යටතේ ගොණු කරන්නේ කෙසේ ද? සමහරවිට අවශ්‍ය වන්නේ මෙම ප්‍රශ්නය මතු කිරීම සහ ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීම විය හැකිය.

මතවාදී අරගලයේ දේශපාලනය ගැන සිතීමක් සඳහා මෙවැනි සාධක අත්‍යවශ්‍ය වනවා කියා මම කියමි. පොදුවේ ගත්විට අපට අද කලාවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමක් සිදු කිරීම අවශ්‍යතාවයක් වන්නේ මෙම නිසාය. රූපිකව කියන්නේ නම් අපට අවශ්‍ය වන්නේ ‘හිඟුරක්ගොඩ’ සහ ‘කර්ට් කොබේන්’ අතර සම්බන්ධයක් ඇති කිරීමයි – මේ සඳහා අවශ්‍ය අතරමැදි තුන්වැනි සාධකය, නැවතත් රූපිකව, ‘මෙයසූ’ විය හැක.

වංගීස සුමනසේකර