No description available.

කාලයකට පසු ප්‍රාදේශීයව ජනයා අතරින් මතුවුනු සැබෑ අරගල දෙකක් වන වල්සපුගල අලි රක්ෂිතයක් සඳහා වන ගොවි අරගලයත්, ගිඟුරක්ගොඩ ක්ශුද්‍රමූල ණය කපා හරින ලෙස ඉල්ලමින් කරන ගැමි ගොවි කාන්තා අරගලයත් කොන්දේසි විරහිතව ආරක්ශා කල යුතු හා පෝෂණය කලයුතු හේතු ගනනාවක් ඇත.

1. ජාතික තලයේ ‘ප්‍රභූ’ අරගල වලින් එහා ගිය ප්‍රාදේශීයව පොලවේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත හා තදින් ගැට ගැසුනු මූලයන්ගෙන් පැන නැගුනු අරගලයන් වීම.

2. වල්සපුගල හා හිඟුරක්ගොඩට වටා පැන නැගුනද රටේ ග්‍රාමීයව වෙසන මිලියන ගනනක් ජනයා පොදුවේ මුහුන දෙන ප්‍රධාන තීරණාත්මක ප්‍රශ්න දෙකක් නියෝජනය කිරීම. වල්සපුගල අරගලය වත්මන් රජය අතිශය බැරෑරුම් තත්වයකය ඇද දමනු ලැබූ මිනිසුන් සතුන් අතර ගැටුමට (දෙපාර්ශවයේම ජීවිත හා දේපල වලින් වන්දි ගෙවීමට සිදුව ඇති) විසඳුමක් ඉල්ලා සිටින අතර, හිඟුරක්ගොඩ අරගලය රට පුරා ජීවත්වන ලක්ෂ තිහක පමන ණය බරින් පෙලෙන් 200 පමණ ගැහැණුන් දැනටමත් සියදිවි හානිකරගත් ශුද්‍රමූල ණය අහෝසි කරන ලෙස ඉල්ලා සිටී.

3. අරගල දෙකම යෝජනා කරන විසඳුම් රජයේ බුද්ධිමට්ටමට ගව් ගනනක් ඉදිරියෙන් ඇති නිර්මාණශීලී විසඳුම් වීම. වල්සපුගල අරගලය අලින් කොටු කරනු, අලින් මරා දමනු වැනි පසුගාමී ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මිනිසුන්ට හා සතුන්ට සහජීවනයෙන් පැවතිය හැකි අලි රක්ෂිතයක් ගැන විශිෂ්ට යෝජනාවක් කරයි. ‘ණය ගත්තොත් ආපසු ගෙවිය යුතුයි’ වැනි බාල විග්‍රහ අතික්‍රමණය කරමිනි හිඟුරක්ගොඩ අරගලය දැනට ගත් ණය මුදල් වලට පොලිය ලෙස පමනක් ගත් ණය මෙන් කීපගුණයක් ගෙවා ඇතිබව පෙන්වා දෙමින් ක්ශුද්‍ර ණය කපා හැරීමේත්, ග්‍රාමීය සමාජය වසා පැතිර ඇති ක්ශුද්‍රමූල්‍ය සමාගම් මාෆියාව අවසන් කිරීමේ අවශ්‍යතාවය යෝජනා කරයි.

4. ප්‍රදේශයේම ජීවත්වන ගැමි පිරිමින් හා ගැහැනුන් විසින් සැපයෙන අසාමාන්‍ය ආත්ම විශ්වාසයෙන් යුත් විශිෂ්ඨ නායකත්වයකින් මෙහෙයවීම. ඊයේ කොළඹ CMU ශාලාවේදී අපට අසන්නට ලැබුනු අරගල දෙකේ නායකත්වයේ කතා මානසික දෛර්‍යයෙන් බිඳ වැටුනු නිවට සමාජයක ජීවත්වන අපට නැවුම් බලාපොරොත්තු ඇති කරවයි.

ඉතා අභියෝගාත්මක අරගලයන් දෙකක නිරතව සිටින අතිශය ධයිර්‍යවන්ත වල්සපුගල හා හිඟුරක්ගොඩ මේ ආදරණීය පිරිමින්ගේ හා ගැහැනුන්ගේ අරගලයන් පෝෂණ කර තර්කානුකූල අවසානයකට ගෙනයාමට උදව් කිරීම අප සියළු දෙනාගේ වගකීමකි.

අප්‍රේල් 6 වැනි දින හිඟුරක්ගොඩදීත්, ඊට පසු දිනක වල්සපුගල ගොවීන් කොළඹදීත් පවත්වන විරෝධයන්ට උපරිම සහය දක්වමු.

දිලීප විතාරණ