No photo description available.

[Image: Cai Guo-Qiang, “Murmuration (Landscape)”; 10,000 porcelain birds suspended mid air, (2019)]

චීන ප්‍රාග්ධනය පිළිබඳව සිතා බැලීමේ දී, පළමුවෙන්, පොදුවේ ප්‍රාග්ධනය පිළිබඳවත් ධනවාදය පිළිබඳවත් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. මට සිතෙන්නේ මෙහි මූලික දේවල් සටහන් කර තැබීම මෙම සංවාදයට ප්‍රයෝජනවත් වන බවයි. මේ තිබෙන්නේ ඒ සඳහා උත්සාහයකි. මෙය සටහන් පෙළක් ලෙස සකස් කරන්නට – ඉඩ කඩ තිබෙන පරිදි – උත්සාහ කරමි. මේ පළමු සටහනයි.

ප්‍රාග්ධනය (capital) යන්න නිර්වචනය කළ හැකි ප්‍රාථමික සහ සරලම ආකාරය වන්නේ එය අතිරික්තය ජනනය කිරීම සඳහා ඇති වටිනාකම් වල එකතුවක් යන්නයි. තවත් සරල ලෙස මෙමගින් අදහස් කරන්නේ දැන් තිබෙනා ධනය යනු අපගේ පුද්ගලික පරිභෝජනය වෙනුවෙන් නොව එම ධනය වර්ධනය කිරීම වෙනුවෙන් තිබෙන්නක් බවයි. ධනය තිබෙන්නේ අප වෙනුවෙන් නොව ධනය වෙනුවෙනි.

මෙය තරමක් අමුතු සම්බන්ධයක් බව පැහැදිළි විය යුතුය. සාමාන්‍යයෙන් අප සිතන්නේ ධනය (wealth) යනු අපට වියදම් කිරීමට, අපේ අවශ්‍යතා ඉටු කිරීමට තිබෙනා දෙයක් ලෙසයි. නමුත් ප්‍රාග්ධනය යනු මේ ආකාරයේ ධනයක් නොවේ. අප කිසියම් වටිනාකම් වල එකතුවක් ප්‍රාග්ධනය ලෙස හඳුන්වනවා යනු එය නැවතත් ආයෝජනය කර එහි ස්වයන්-වර්ධනය වෙනුවෙන් වැය කිරීම අනිවාර්යය වනවා යන්නයි.

මේ මගින් අදහස් වන්නේ ප්‍රාග්ධනයේ හිමිකරුවාට කිසිදු ප්‍රතිලාභයක් අයිති නොවන බව නොවේ. කෙනෙක් සාර්ථක ලෙස අතිරික්තය ජනනය කිරීමට සමත් වන්නේ නම් පුද්ගලික සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට එමගින් ඉතාම පුංචි ඉඩක් ප්‍රමාණාත්මක වේ. නමුත් ප්‍රාග්ධනයේ හිමිකරුවාට සුඛෝපභෝගී ජීවිතයක් හිමි වීම නිෂ්පාධනයේ අතිරේක ප්‍රතිඵලයක් මිස එහි අරමුණ නොවේ. අරමුණ වන්නේ දැන් තිබෙනා වටිනාකම නිරන්තරයෙන් වැඩි කිරීමයි.

නමුත් මෙමගින් අදහස් වන්නේ ප්‍රාග්ධන හිමියන් යනු ‘ලද දෙයින් සතුටු නොවන’ අධික තණ්හාවක් තිබෙනා මිනිසුන් යන්න නොවේ. සත්‍ය වශයෙන්ම මෙය ධනේශ්වර සමාජයේ ව්‍යුහාත්මක කොන්දේසියකි. මෙයට හේතුව වන්නේ කෙනෙක් මේ ආකාරයට නිරන්තරයෙන් වර්ධනය වීම, නිරන්තරයෙන් අතිරික්තය ජනනය කිරීම ප්‍රතික්ෂේප කරනවා යනු සිය ව්‍යාපාරය අවසන් වනවා යන්නයි. එවිට වෙනත් ව්‍යාපාරිකයන් විසින් සිය ව්‍යාපාර වර්ධනය කර වඩා අඩු මිලට භාණ්ඩ ලබා දීම හෝ ගුණාත්මකව දියුණු භාණ්ඩ ලබා දීම හෝ සිදු කරනු ඇත. එම නිසා කෙනෙක්ට ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා එය නිරන්තරයෙන් වර්ධනය කිරීමට, අලුත් තාක්ෂනය ඇතුලත් කර ගැනීම ආදිය සිදු කළ යුතුය.

අධික ලාභ සොයා යාම ධනේශ්වර ක්‍රමයේ ව්‍යුහාත්මක සාධකයක් මිස ප්‍රාග්ධන හිමියන්ගේ පුද්ගල මනොභාවයේ දෝෂයක් නොවේ. අධික ලාභ සොයන්නේ නැති කෙනෙක් ප්‍රාග්ධන තරඟයෙන් ඉක්මනින් පරාජය වෙයි. එනිසා මෙතැනදී සදාචාරමය විවේචන අදාළ වන්නේ නැත. අනෙක් අතට මෙම තර්කනය සඳහා රට, ජාතිය, ආගමික සමූහ වැනි පරිකල්පිත ප්‍රජාවන් අතර ඇති බෙදීම්ද අදාළ නොවේ. ප්‍රාග්ධන හිමියා කුමන ජාතියේද යන්න ‘ප්‍රාග්ධනයේ වීර චාරිකාවට’ (‘valorization of capital’) අදාළ නැත.

වංගීස සුමනසේකර