No photo description available.

[Image: El Lissitzky, “Proun 19D.”; Gesso, oil, varnish, crayon, colored papers, sandpaper, graph paper, cardboard, metallic paint, and metal foil on plywood (1920 or 1921)]

මේ තිබෙන්නේ මාක්ස්ගේ ‘ප්‍රාග්ධනය’ පිළිබඳව ප්‍රවාදය සඳහා ලබා දෙන සරල හැඳින්වීමකි. අපේ රටේ වර්තමාන දේශපාලන වර්ධනයන් පිළිබඳව දැනුවත් සංවාදයක් කිරීමට මේ දේශපාලන-ආර්ථිකය පිළිබඳ සාක්ෂරතාවය වර්ධනය විය යුතුය කියා අපි සිතමු. ඒ සමගම අප විසින් ගොඩනගන්නට උත්සාහ කරන නිශ්චිත දාර්ශනික ආස්ථානය සඳහාද මාක්සියානු පර්යේෂණ ගැටලුව පිළිබඳව ප්‍රමාණාත්මක අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. දිනපතා පැන නගින ‘ඉශු’ එකකට එකිනෙකාගේ ‘මත පළකිරීම’ යන්නෙන් ඔබ්බට ගිය භාවිතයකට ෆේස්බුක් එක යොදා ගත හැකිද කියා මෙමගින් පරීක්ෂා කර බලයි.

***

ප්‍රාග්ධනය පිළිබඳව මාක්ස්ගේ සුප්‍රකට විශ්ලේෂණය ආරම්භ වන්නේ පාරිභෝගික භාණ්ඩ වලින් කියා අපි දනිමු. පාරිභෝගික භාණ්ඩයක් යනු, ඉතාම සරල සහ පළමු නිර්වචනයක් ලෙස, පුද්ගලික පරිභෝජනය වෙනුවට හුවමාරුව වෙනුවෙන් නිෂ්පාදනය කරනා දෙයකි. මේ අර්ථයෙන් පාරිභෝගික භාණ්ඩ මානව ඉතිහාසයේ බොහෝ ආතීතය දක්වා දිව යන බව අපි දනිමු. නමුත් ධනේශ්වර සමාජයේ සුවිශේෂය වන්නේ එහි පොදුවේ නිෂ්පාදනය කරන දෙයින් සාතිශය බහුතරයක් මෙලෙස හුවමාරුව අරමුණු කර නිෂ්පාදනය කිරීමයි.

යමක් හුවමාරු භාණ්ඩයක් බවට පත්වනවා යනු එහි වටිනාකමේ කුඩා වෙනසක් ඇති වීමකි. තවදුරටත් අපට තිබෙන්නේ එම භාණ්ඩය භාවිතයට ගැනීමෙන් ඇති වන ප්‍රයෝජනය පමණක් නොවේ. එවැනි වටිනාකම් අපට ‘ප්‍රයෝජ්‍ය වටිනාකම්’ ලෙස නම් කළ හැකිය. එහි තිබෙන්නේ එම භාණ්ඩයේ ඇති නෛසර්ගික ගුණයයි. නමුත් එම අර්ථයෙන් ගත්විට අපට කිසිදු භාණ්ඩ දෙකක් පරිසමාප්ත ලෙස සමාන කිරීමට නොහැකි වේ. මා සතුව පොතක් තිබේනම් සහ ඔබ සතුව පුටුවක් තිබේනම් මේ දෙක හුවමාරු කර ගැනීමට මේවායේ ප්‍රයෝජ්‍ය වටිනාකම අපට පොදු නිර්ණායකයක් සපයන්නේ නැත. නිදර්ශනයක් ලෙස අප පුටුවක් හුවමාරු කර ගැනීමට එක පොතක් දීම ප්‍රමාණවත්ද? එසේත් නැතිනම් පොත් දෙකක් හෝ තුනක් දිය යුතුද? මෙවැනි ප්‍රශ්න සඳහා පිළිතුරක් අපට ලැබෙන්නේ නැත.

එම නිසා අප දැන් භාණ්ඩ වල ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම ඉක්මවූ ‘හුවමාරු වටිනාකමක්’ ඒවා සඳහා ලබා දිය යුතු බව පැහැදිළි වේ. ප්‍රයෝජ්‍ය වටිනාකම යනු කිසියම් දෙයක් සකස් වී ඇති භෞතික සැකැස්ම වන්නේ නම් එහි හුවමාරු වටිනාකම යනු සමාජීයව ගොඩ නැගෙන වටිනාකමකි. මෙවැනි හුවමාරු වටිනාකමක් යනු ඉඳ හිට පමණක් අවශ්‍ය වන දෙයක් නම් එය තීරණය කරනා ආකාරය එතරම් සංකීර්ණ විය යුතු නැත. නමුත් ධනේශ්වර සමාජයකදී නිෂ්පාදනය කරන දෙයින් සාතිශය බහුතරයක් අයත් වන්නේ හුවමාරු කිරීමට වන නිසා එයට පොදු මිනුම් දණ්ඩක් අවශ්‍ය අබව පැහැදිළි වේ.

නිදර්ශනයක් ලෙස පුටුවක හුවමාරු වටිනාකම වන්නේ පොත් දෙකක් කියා අපි සිතමු. එමෙන්ම පොත් දෙකක් ලබා දීම මගින් අපට සහල් කිලෝ දහයක් ගත හැකි බව සිතන්න. දැන්, මේ අනුව අපට සහල් කිලෝ දහයක් ලබා දී පුටුවක් ගැනීමටද හැකි විය යුතුය. එසේ නොමැතිව, නිදර්ශනයක් ලෙස, මට සහල් කිලෝ පහක් දී පුටුවක් ලබා ගත හැකිනම්, මට ඉතා පහසුවෙන් මෙම හුවමාරුව මගින් ලාභයක් ඉපදීමට අවස්ථාව තිබේ. මා කළ යුත්තේ සහල් කිලෝ පහක් දී පුටුවක් ලබාගෙන, එම පුටුව පොත් දෙකකට නැවත හුවමාරු කරගෙන, එම පොත් දෙක ලබා දී සහල් කිලෝ දහයක් ලබා ගැනීමයි. මෙය කීප වරක් සිදු කිරීමෙන් මට සහල් කිලෝ පහ බැගින් අතිරික්තයක් ජනනය වන බව පැහැදිළි වේ. නමුත් මේ හුවමාරුව මා අකණ්ඩව සිදු කරගෙන යන විට එමගින් අනෙක් පාර්ශව වලට පාඩුවක් සිදුවන බවත් පැහැදිළි වේ. එම නිසා මෙය එක්තරා මොහොතකට පසුව බිඳ වැටීමට අනිවාර්යය වෙයි. මෙමගින් අපට පැමිණිය හැකි නිගමනය වන්නේ සාර්ථක හුවමාරුවක් සඳහා හුවමාරුව මගින් පමණක් ලාභ සහ පාඩු ලැබීම නැවැත්විය යුතුය. ඒ වෙනුවට අප මේවා අතර සමාන වටිනාකමක් ඇති කළ යුතුය. අප කිව යුත්තේ පුටුවක්, පොත් දෙකක් සහ සහල් කිලෝ දහයක වටිනාකම සමාන වන බවයි.

එසේ නම් මෙම වටිනාකම ගොඩනැගෙන්නේ කෙසේද? මෙයට ලබා දිය හැකි එක් සරල පිළිතුරක් වන්නේ භාණ්ඩ වල ඇති නෛසර්ගික වටිනාකම මත එය සිදු වනවා යන්නයි. ඒ අනුව අපට වඩාත් ප්‍රයෝජනවත් දෙයෙහි වටිනාකම වැඩි වනු ඇති අතර එසේ නොමැති වන්නේ නම් එහි වටිනාකම අඩු වෙයි. නමුත් මෙය මෙසේ නොවන බව තේරුම් ගැනීම අපහසු නොවේ. ජලය යනු මිනිසාගේ පැවැත්මවට අතිශය තීරණාත්මක වන්නකි. අනෙක් අතට රත්තරන් වලට ප්‍රයෝජ්‍ය වටිනාකම එයට වඩා බොහොම අඩු වෙයි. නමුත් ජලයට වඩා රත්තරන් වලට අතිශය ඉහළ වටිනාකමක් තිබෙන්නේ ඇයි?

මේ සඳහා තිබෙනා සම්භාව්‍ය පිළිතුර වන්නේ එය යමක් නිෂ්පාදනය කිරීමට යෙදෙන ශ්‍රමයේ ප්‍රමාණය අනුව තීරණය වන බවයි. යමක් නිෂ්පාදනය කිරීමට ඉතා ඉහළ ශ්‍රමයක් වැය වන්නේ නම් එහි වටිනාකම වැඩි වනු ඇති අතර යමක් පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි නම් එහි වටිනාකම අඩු වනු ඇත. නමුත් අප මෙම ශ්‍රමයේ ප්‍රමාණය ගණනය කරන්නේ කෙසේද? ‘වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය’ යන ප්‍රවාදය මගින් පිළිතුරක් දෙන්නේ මෙම ප්‍රශ්නයටයි. එයට අනුව යමක් නිෂ්පාදනය කිරීමට වැය වන ශ්‍රම කාලය මගින් එහි වටිනාකම තීරණය වේ. මේ අනුව, අපගේ ඉහත නිදර්ශනය තුළ, පුටුවක්, පොත් දෙකක් සහ සහල් කිලෝ දහයක් නිෂ්පාදනය කිරීමට යන්නේ සමාන ශ්‍රම කාලයකි.

පොදුවේ ගත්විට, සමකාලීන ‘ආර්ථික විද්‍යා’ දෘෂ්ඨිකෝණයෙන් සම්භාව්‍ය මාක්ස්වාදී දේශපාලන-ආර්ථික විශේල්ෂණ වලට එරෙහිව ගෙනෙන සුලභ චෝදනාවක් වන්නේ මෙම වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය යල් පැන ගොස් ඇති බවයි. නමුත් මෙම චෝදනාව මගින් මාක්ස්ගේ පර්යේෂණ ගැටලුව බෙහෙවින් දෝෂසහගත ලෙස වටහා ගනියි. මෙහිදී මතක තබා ගත යුතු අතිශය තීරණාත්මක කරුණක් වන්නේ මාක්ස් විසින් සිය ව්‍යාපෘතිය නාමකරණය කළේ ‘දේශපාලන-ආර්ථිකය විචාරයට බඳුන් කිරීම’ (‘critique of political-economy’) යනුවෙන් බවයි. ඔහු උත්සාහ කළේ පැරණි දේශපාලන-ආර්ථික න්‍යාය වෙනුවට වඩාත් හොඳ න්‍යායක් ඉදිරිපත් කිරීමට නොවේ. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය වූයේ දේශපාලන-ආර්ථික විශ්ලේෂකයන් (ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ වැනි) විසින් සිය ප්‍රවාද ගොඩනැගීමේදී ස්වභාවික ලෙස බාරගත් දේ පසුපස ඇති නොසිතන ලද දෙය නිරාවරණ කර ගැනීමටයි. සිය ව්‍යාපෘතිය දේශපාලන-ආර්ථික න්‍යායක් ලෙස නොව එම න්‍යාය විචාරය බඳුන් කිරීමක් කියා මාක්ස් හඳුන්වන්නේ එම නිසාය (මේ ‘විචාරයට බඳුන් කිරීම’ [‘critique’] යන්න පසුපස ඇති දාර්ශනික හැඟවුම් ඉතාම පැහැදිළි වේ – සිහිපත් කරගන්න කාන්ට්ගේ ‘Critique of Pure Reason’).

කෙසේ වුවත් මෙම සුවිශේෂ මාක්සියානු අර්ථය විමසීමට පෙර වුවත් අපට මේ සඳහා සරල යුක්තියුක්ත කිරීමක් දැනට ලබා දිය හැක. වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය මූලික වශයෙන් අයත් වන්නේ ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන හුවමාරු භාණ්ඩ වලට පමණි. යමක් අපට ශ්‍රමය වැගිරීමකින් තොරව හුවමාරු වටිනාකමක් බවට පත් කළ හැකිනම් ඒ සඳහා විකල්ප පැහැදිළි කිරීමක් ලබා දිය යුතුය (මාක්ස් මේ සඳහා විකල්පයක් යෝජනා කරයි). අනෙක් අතට මෙය අදාළ වන්නේ විශාල ප්‍රමාණයකින් නිෂ්පාදනය වන දේ වෙත පමණි. නිදර්ශනයක් ලෙස චිත්‍රයක් වැනි නිෂ්පාදිතයක වටිනාකම තීරණය වන්නේ එය නිෂ්පාදනය කිරීමට වැය වූ ශ්‍රම කාලය මත පමණක් නොවන බව පැහැදිළි වේ. නමුත් චිත්‍රයක් යනු විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වන භාණ්ඩයක් නොව එක් වරක් පමණක් නිෂ්පාදනය වන සුවිශේෂ භාණ්ඩයකි. නමුත් අප කතා කරන්නේ ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන විශාල ප්‍රමාණයක් එකවර නිෂ්පාදනය කරන හුවමාරු භාණ්ඩ පිළිබඳව පමණි.

අපි තවදුරටත් මෙය සාකච්ඡා කළ යුතුය.

වංගීස සුමනසේකර