No photo description available.

[Image: Irving Penn, “Two fighting crickets, New York, July 12, 2005]

මේ තිබෙන්නේ මාක්ස්ගේ ‘ප්‍රාග්ධනය’ පිළිබඳව ප්‍රවාදය සම්බන්ධයෙන් ලියවෙන කෙටි හැඳින්වීම් මාලාවක තුන්වැනි රචනයයි. එහි දෙවන රචනය සඳහා මෙතැනින් ද පළමු රචනය සඳහා මෙතැනින්ද පිවිසිය හැකිය. මෙයට දැනට ලැබී ඇති ප්‍රතිචාර අනුව අපට කළ හැකි වූ තරමක් ගැටලුකාරී නිරීක්ෂණයක් ගැන කෙටි සටහනක් දැමිය යුතුය. මෙයසූ සහ භෞතිකවාදය සම්බන්ධයෙන් අප සිදු කළ සංවාදය පිළිබඳව උනන්දු වූ යම් පිරිසක් මෙයට එතරම් උනන්දු නොවනවා කියා පෙනී යයි. මෙයට හේතුව වන්නේ මෙයසූ පිළිබඳව සංවාදය නලින් ද සිල්වාට ඍජුව ප්‍රතිචාර ලෙස ස්ථානගත කළ හැකි එකක් වුවත් මෙය එසේ නොවීම විය හැකිය. මේ සම්බන්ධයෙන් උනන්දුවක් තිබෙනවා කියා සිතෙන්නේ වාම නැඹුරුවක් ඇති හිතවතුන්ට යි. නමුත් මේ සංවාද දෙක කිසි සේත් සංවාද දෙකක් නොවනවා කියා අපි අවධාරණය කරමු. ‘සත්භාවවේදය’ පිළිබඳව සංවාදය වලංගු වන්නේ එය ‘සාංදෘෂ්ඨික විශ්ලේෂණයක්’ වෙත අපව රැගෙන යන්නේ නම් පමණි. මාක්ස්වාදය විසින් අපට උරුම කළ අමරණීය රූපකය ඇසුරින් කියන්නේ නම්, ‘පදනම’ පිළිබඳව සංවාදය අදාළ වන්නේ ‘උපරිව්‍යුහය’ තේරුම් ගැනීමටයි. මේ තිබෙන්නේ එම සංවාදයේ දිගුවක් බව සිහිපත් කිරීම ඉතාම වැදගත් එම නිසාය. මෙයින් එකක් ඔබට මඟ හැරෙනවා යනු මෙහි සමස්ත සංවාදය මඟ හැරෙනවා යන්නයි.

***

අප සංවාදය අවසන් කළේ හුවමාරු වටිනාකම තීරණය වන ආකාරය අනුවයි. අප දුටු පරිදි මේ සඳහා භාණ්ඩය අපට කෙතරම් ප්‍රයෝජනවත් වන්නේ ද යන්න තීරණාත්මක නොවේ. ඒ වෙනුවට මෙහිදී තීරණාත්මක වන්නේ භාණ්ඩය නිපදවීමට යොදා ගන්නා ශ්‍රමයේ අගය කුමක්ද යන්නයි. ‘වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය’ යනුවෙන් ප්‍රකට ලෙස හැඳින්වෙන අදහස වන්නේ මෙයයි. එයට අනුව භාණ්ඩයක වටිනාකමේ අගය කුමක්ද කියා තීරණය වන්නේ ශ්‍රමය නම් වූ වටිනාකම් ගොඩනගන ‘සාරය’ (‘substance’) එයට ඇතුලත් වන ප්‍රමාණය අනුවයි. පොදුවේ ගත්විට අපට මෙය ශ්‍රම-කාලය අනුව මැන ගත හැකිය. ඉතාමත් සරල ලෙස එහිදී අදහස් වන්නේ යමක් නිෂ්පාදනය කිරීම සඳහා කෙතරම් ශ්‍රම කාලයක් වැය වන්නේද යන්නයි.

නමුත් මෙමගින් අදහස් වන්නේ තනි තනි භාණ්ඩ නිපදවීමට සැබැවින්ම ගත වූ කාලය කොපමණද යන්න නොවේ. එවැනි තත්වයකදී දක්ෂ ශ්‍රමිකයෙක් ඉක්මනින් නිපදවන දෙයක් අදක්ෂ ශ්‍රමිකයෙක් වැඩි කලක් ගත කර නිපදනවන දෙයකට වඩා අඩු වටිනාකමකින් යුතු වනවා යන විකාරරූපී නිගමනයට අප පැමිණිය යුතුය. එම නිසා මෙහිදී අදහස් කරන්නේ අප සාමාන්‍ය වශයෙන් දෙන ලද නිෂ්පාදන කොන්දේසි සහ තාක්ෂණයේ වර්ධනය තුළ, යමක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සාමාන්‍ය පුහුණුව තිබෙන ශ්‍රමිකයෙක්ට එය නිෂ්පාදනය කිරීමට ගත වන කාලයයි. මාක්ස් මෙය නම් කරන්නේ ‘සමාජීයව අනිවාර්යය වන ශ්‍රම-කාලය’ (‘socially necessary labour time’) යනුවෙනි. මෙය කාලයෙන් කාලයට සමාජයෙන් සමාජයට වෙනස් විය හැකිය.

මෙහිදී අප ‘පාරිභෝගික භාණ්ඩ’ යනුවෙන් නම් කරනා දේ සඳහා සේවාවන් ද අයත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පොදුවේ ගත්විට භාණ්ඩයක් සහ සේවාවක් අතර තිබෙනා එකම වැදගත් වෙනස වන්නේ නිෂ්පාදනය සහ පරිභෝජනය අතර ඇති කාලික වෙනසයි. භාණ්ඩයක් යනු පළමුවෙන් නිෂ්පාදනය කර ඉන් පසුව දෙවැනි කාල පරාසයකදී පරිභෝජනය කරන දෙයක් නම් සේවාවක් යනු එය නිෂ්පාදනය කරන මොහොතේදීම පරිභෝජනය කරන දෙයකි. ඔබ ත්‍රීරෝද රියක ගමනක් යන විට එහි රියදුරා ස්ථාන මාරුවක් නිෂ්පාදනය කරන මොහොතේදීම ඔබ එය පරිභෝජනය කරයි. එම නිසා භාණ්ඩයක් මෙන්ම සේවයක් යනුද අවසානයේ දී හුවමාරු කර ගැනීමට තිබෙනා වටිනාකමක් වන අතර මෙම අර්ථයෙන් මේ අවස්ථාවන් දෙකම අපට පාරිභෝගික භාණ්ඩ විශ්ලේෂණය යටතට පහසුවෙන් ඇතුලත් කළ හැකිය. පාරිභෝගික භාණ්ඩයක් යනු, මේ අනුව, ප්‍රයෝජ්‍ය වටිනාකමක් සහ හුවමාරු වටිනාකමකි. හුවමාරු වටිනාකම යනු, අනෙක් අතට, එම භාණ්ඩය තුළ අන්තර්ගත මිනිස් ශ්‍රමයයි. අවසාන වශයෙන්, එය අප ගණනය කරන්නේ යම් භාණ්ඩයක් නිපදවීමට අවශ්‍ය සමාජීයව අනිවාර්යය ශ්‍රම-කාලයට අනුවයි.

නමුත් මේ විශ්ලේෂණය මගින් අපට මාක්ස් වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය සාධනය කර ඇති බව පිළිගත හැකිද? මෙයට වඩාත් සාධාරණ පිළිතුරක් විය හැක්කේ මෙය කිසි සේත් මාක්ස්ගේ අරමුණ නොවුනා යන්නයි. සත්‍ය වශයෙන්ම මෙවැනි ‘සාධනයක්’ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පූර්ව-මාක්සියානු දේශපාලන-විශ්ලේෂණ න්‍යායවේදීන් සඳහා නම් ඇති වූවා කියා අපට කිව හැකිය. එමෙන්ම, මෙම කරුණේ දී සම්භාව්‍ය දේශපාලන-ආර්ථික විශ්ලේෂකයන් (ඇඩම් ස්මිත් වැනි) සහ සමකාලීන නව-සම්භාව්‍ය (neo-classical) ආර්ථික විශ්ලේෂකයන් අතර සමානත්වයක් තිබෙනවා කියා ද අපට කිව හැකිය. මෙම සමානත්වය පදනම් වන්නේ මේ සියලු දෙනා සිය විශ්ලේෂණයේ ආරම්භය ලෙස හුදෙකලා පුද්ගලයා සලකනවා යන්නයි. එයට අනුව වටිනාකම යනු හුදෙකලා පුද්ගලයා විසින් සබුද්ධිකව ගොඩනගන ලද දෙයකි. එම අර්ථයෙන් එහිදී වැදගත් වන්නේ කායික ශ්‍රමය යන්නටත් වඩා කිසියම් නිෂ්පාදනයක් බිහි කිරීම වෙනුවෙන් ගන්නා තීරණයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික විද්‍යාවේ තිබෙනා පොදු ප්‍රවණතාවයක් වන්නේ එමගින් පැහැදිළි කරන්නට උත්සාහ කරන වස්තුවේ ලක්ෂණ පළමුවෙන් මිනිසාගේ ලක්ෂණ බවට ස්වභාවිකකරණය කිරීමයි. ‘මිනිසා ස්වභාවයෙන්ම තරඟකාරී වේ’, ‘මිනිසා ස්වභාවයෙන්ම මුදල් වලට ගිජු වෙයි’ – මෙවැනි කතා අප අද දක්වා පවත්නා සමාජයේ ක්ෂ්මාලාපයකන්ගෙන් අසා නොතිබෙන්නේ ද?

කෙසේ වුවත් මෙහිදී අපට වැදගත් වන්නේ මෙවැනි ප්‍රවේශයක් මගින් කෙනෙකුට වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය සඳහා පැහැදිළි කිරීමක් ලබා දිය හැකි වනවා ද යන්නයි. යම් කිසි භාණ්ඩයක වටිනාකම තීරණය වන්නේ එය නිපදවූ පුද්ගලයා ඒ වෙනුවෙන් ගත් මහන්සිය අනුව කියා මෙවැනි ප්‍රවේශයකදී කියන්නට සිදු වේ. මෙවැනි සබුද්ධික තීරණ ගන්නා මිනිසුන් එම සබුද්ධිකත්වයේ ප්‍රතිඵලයක් ලෙසම එකිනෙකා සමග සිය නිෂ්පාදිතයන් හුවමාරු කරගන්නා අතර ආර්ථික ව්‍යුහය පදනම් වන්නේ මෙවැනි සබුද්ධික පුද්ගලයන්ගේ තීරණ මතයි. එම අර්ථයෙන් වටිනාකම නිෂ්පාදනය වන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන මිනිසුන්ගේ ‘අරමුණු’ සහ ‘මහන්සිය’ අනුවයි.

නමුත් මාක්ස් උනන්දු වන්නේ මේ ආකාරයේ තනි මිනිසුන්ගේ සබුද්ධික තීරණ සහ පුද්ගලික මහන්සිය මත පදනම් වී වටිනාකම පිළිබඳව ප්‍රවාදයක් ගොඩ නැගීමට නොවේ. ඒ වෙනුවට මාක්ස් උනන්දු වන්නේ හුදෙකලා පුද්ගලයන් ඇතුලත් වන ලෙස දැන් පවත්නා *සමාජ සම්බන්ධතා* මොනවාද කියා සිතා බැලීමටයි. මාක්ස් ට අනුව සමාජය සමන්විත වන්නේ පුද්ගලයන් ගෙන් නොවේ. ඒ වෙනුවට අප සමාජය හඳුනා ගත යුත්තේ පුද්ගලයන් එකිනෙකා සමග සම්බන්ධ වන කොන්දේසි සහ සම්බන්ධතා සමස්තයේ ප්‍රකාශනය ලෙසයි. අප සියලු දෙනා ඉපදෙන්නේ කිසියම් නිශ්චිත ආකෘතියකට සකස් වී තිබෙනා සමාජ සම්බන්ධතා එකතුවක් තුළටයි. එම නිසා අප මේ සමාජයේ ජීවත් වීම සඳහා මෙම නිශ්චිත ආකෘතියට අනුගත වීමට අනිවාර්යයෙන් සිදු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, අනෙක් අතට, අප විසින්ද එම ආකෘතියේ අකණ්ඩ පැවැත්ම සහතික කරයි. අප සිදු කරන්නේ අපගේ ජීවිතය තුළ එම සමාජ සම්බන්ධතා පුනර්නිෂ්පාදනය කිරීමයි. මෙතනදී අපට වැදගත් නිදර්ශනයක් ඇසුරින් කියන්නේ නම්, අප හුවමාරු වටිනාකම් පද්ධතියක් තුළ ජීවත් වීම සඳහා එකිනෙකා පරයා වැඩ කරන්නට පුරුදු විය යුතුය. අප උත්සාහ කරන්නේ ‘ලාභයට’ ගෙන ‘වැඩි මිලට’ දීමටයි. එසේ නොමැති වනවා යනු අපගේ පැවැත්ම අප අභියෝගයට ලක් කරගන්නවා යන්නයි. බොන් ජූන්-හෝ ගේ “Parasite” චිත්‍රපටියේ එක් තැනක දුප්පත් කිම් පවුලේ මව, ධනවත් පාකර් පවුලේ බිරිඳගේ ‘ගුණයහපත්කම’ ගැන කතා කර කියා සිටින්නේ එතරම් ධනවත් වූවානම් තමන්ට ද එසේ ගුණයහපත් වීමට තිබූ බවයි. නමුත් කිම් පවුලේ මවට එසේ ‘ගුණයහපත්’ වන්නට නොහැකි වන්නේ ඇය අයත් වන සමාජ සම්බන්ධතා වලින් ඇයට නිශ්චිත ආකෘතියකට සිටීමට බල කර සිටිනා නිසාය. අප ඉපදෙන සමාජයේ පවත්නා සමාජ සම්බන්ධතා විසින් අපගේ හැසිරීම සහ ආශාවන් මුළුමනින් පාහේ තීරණය කරයි. එම නිසාම එක්තරා දුරකට පසුව අපට එය පෙනෙන්නේ ස්වභාවිකත්වය ලෙසයි.

මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය සඳහා මාක්ස් ලබා දෙන අර්ථකථනය පදනම් වන්නේ එය මිනිසුන්ගේ සබුද්ධික තීරණ සහ පුද්ගලික මහන්සිය විසින් ගොඩ නගනවා යන්න නොවේ. ඒ වෙනුවට මාක්ස් උනන්දු වන්නේ මේ ප්‍රවාදය විසින් වැඩිදුරටත් සිතා බලා නොමැති නමුත් එමගින් අපට පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් හෙළිදරව් කරනා අතිරේක කරුණක් සම්බන්ධයෙනි. ඉතාමත් සරල ලෙස මාක්ස් කියන්නේ මෙවැනි දෙයකි: මේ ආකාරයේ ප්‍රවාදයක් ගොඩනැගීමට මෙහි නොදැනුවත්වම වෙනත් සත්‍යයක් තිබෙන නිසාය. එනිසා අප උත්සාහ කළ යුත්තේ මෙය සත්‍යයද නැතිද යන ප්‍රශ්නය ඇසීමට නොව එම ප්‍රවාදය පසුපස ඇති මෙම අතිරේක ‘රහස’ හෙළිදරව් කර ගැනීමටයි.

සංක්ෂිප්තව අපට මෙම රහස මෙලෙස සාරාංශ කළ හැක: අප අපගේ ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ හුවමාරු කර ගන්නා මොහොතේදී එය අපගේ ශ්‍රම-කාලයේ එකතුවෙන් නිමවූ වටිනාකමක් ලෙස හඳුනා ගන්නේ නැත. දෘෂ්ඨිවාදය යන සංකල්පය සඳහා ඇති පසුකාලීන අර්ථකථන වලට ද අතිශය කේන්ද්‍රීය මෙම අදහස අපි සිංහලට නගමු:

“මිනිසුන් ඔවුන්ගේ ශ්‍රමයේ නිෂ්පාදිතයන් වටිනාකම් ලෙස එකිනෙක සමග සම්බන්ධයකට ගෙන එන්නේ ඔවුන් මෙම වස්තු භෞතික බාහිර සැරසිලි වලින් සකස් වූ සමජාතීය මිනිස් ශ්‍රමය ලෙස දකිනා නිසා නොවේ. සත්‍යය වන්නේ මෙහි අනෙක් පැත්තයි: ඔවුන්ගේ විවිධ නිෂ්පාදිතයන් වටිනාකම් ලෙස හුවමාරුවේදී එකිනෙකට සමාන කිරීම මගින් ඔවුන් ඔවුන්ගේ විවිධාකාර ශ්‍රමයන් මිනිස් ශ්‍රමය ලෙස සමාන කරයි. ඔවුන් මෙය කරන්නේ එසේ කරනා බව නොදැනයි”. (Capital Vol 1, Penguine classics edition, pp. 166-167, මගේ සිංහල පරිවර්තනය).

සරලව ගත්විට මාක්ස් කියන්නේ මෙයයි. මිනිසුන් භාණ්ඩ හුවමාරු කරන්නේ වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යායට අනුව ඔවුන්ගේ ශ්‍රමය මේ සියල්ලෙහි වටිනාකම් ගොඩනගනා බව දැනගෙන නොවේ. ප්‍රායෝගිකව ගත්විට මේ සියල්ල යටින් දිවෙන වටිනාකම් ගොඩනගන සාරය වන්නේ ශ්‍රමය බව සත්‍යයකි. නමුත් මිනිසුන් එසේ කරන්නේ ඔවුන් එය කරනා බව නොදැනයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙහිදී මාක්ස් උනන්දු වන්නේ සම්භාව්‍ය දේශපාලන-ආර්ථික විශ්ලේෂකයන් විසින් උනන්දු වූ ‘වටිනාකම් පිළිබඳව ශ්‍රම න්‍යායට’ නොවේ. ඔහු උනන්දු වන්නේ මේ වටිනාකම පිළිබඳව මිනිසුන් හිතන දෙයට නොව වටිනාකම පිළිබඳව මෙම අදහස මගින් අපට සමාජ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන නිශ්චිත කරුණ පිළිබඳවයි. එම නිසා ඔහු හුවමාරුව දෙස බලන්නේ භාණ්ඩ දෙකක් අතර සිදුවන ඒකල හුවමාරුවක් ලෙස නොව හුවමාරු සම්බන්ධතාවය නිශ්චිත සමාජ සමස්තයක් ලෙස අපට තේරුම් ගත හැක්කේ කෙසේද කියාය.

වඩාත් නිශ්චිතව මෙතැනදී අපට නව ගැටලුවක් මුණ ගැසෙයි: භාණ්ඩ වල වටිනාකම නිමැවෙන්නේ කුමකින්ද කියා නිෂ්පාදකයන් දන්නේ නැතිනම් සහ නිෂ්පාදකයන් අතර ශ්‍රම විභජනය සිදු වන්නේ මෙම වටිනාකම මගින් සිදු කරන අතරමැදි භූමිකාවෙන් නම්, මෙවැනි නිෂ්පාදන ක්‍රමයක් පවතින්නේ කෙසේද? එය වියහැකි වන්නේ කෙසේද?
මෙයට පිළිතුරක් ගොනු කිරීමට අප ශ්‍රමය පිළිබඳව මේ අදහස තවදුරටත් සංකීර්ණ කළ යුතු අතර මේ සඳහා අප ‘සංයුක්ත ශ්‍රමය’ සහ ‘වියුක්ත ශ්‍රමය’ අතර බෙදීම අවධාරණය කළ යුතුය.

වංගීස සුමනසේකර