May be an image of 1 person and sculpture

[Image: Jean-Baptiste Carpeaux, “Le Chinois (Bust of a Chinese Man)” [detail]; terracotta (1868)]

මේ තිබෙන්නේ මාක්ස්ගේ ‘ප්‍රාග්ධනය’ පිළිබඳව ප්‍රවාදය සම්බන්ධයෙන් ලියවෙන කෙටි හැඳින්වීම් මාලාවක හතරවන රචනයයි. එහි තුන්වන රචනය සඳහා මෙතැනින්ද, දෙවන රචනය සඳහා මෙතැනින් ද පළමු රචනය සඳහා මෙතැනින්ද පිවිසිය හැකිය.

වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය සම්බන්ධයෙන් මාක්ස් උනන්දු වන්නේ පාරිභෝගික භාණ්ඩවල වටිනාකම සැබැවින්ම පදනම් වන්නේ මේ මතයි යන්න තහවුරු කිරීමට නොවේ. ඒ වෙනුවට, අප දුටු පරිදි, මාක්ස් උනන්දු වන්නේ එමගින් අපට සමාජ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන අතිරේක කරුණක් සම්බන්ධයෙනි. සංක්ෂිප්තව ගත්විට එමගින් අපට හෙළි කරන්නේ සමාජයේදී මිනිසුන් සිය නිෂ්පාදිතයන් එකිනෙකා සමග හුවමාරු කරගන්නා ආකෘතියයි. ඔවුන් මෙසේ කරන්නේ ඒවායේ වටිනාකම ගොඩනැගෙන්නේ කෙසේද, එසේත් නැතිනම්, ඔවුන්ට මෙලෙස හුවමාරු කරගැනීමට ඉඩ ලබා දෙන ලෙස ‘පොදු වටිනාකමක්’ ගොඩනැගෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඇති නොදැනුමක් මත පදනම්වයි. තතු එසේ නම් අපට මෙවැනි සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඉඩ දෙන්නේ කුමක්ද?

‘සංයුක්ත ශ්‍රමය’ (‘concrete labour’) සහ ‘වියුක්ත ශ්‍රමය’ (‘abstract labour’) අතර මාක්ස් සිදු කරන විභේදනය අපට වැදගත් වන්නේ මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමටයි. මෙම විභේදනය පදනම් වන්නේ කුමක් මතද කියා සිතා ගැනීම අපහසු නැත. ප්‍රයෝජ්‍ය වටිනාකම සහ හුවමාරු වටිනාකම ලෙස පාරිභෝගික භාණ්ඩයක ඇති වටිනාකම කොටස් දෙකකට බෙදිය හැකි බව මෙයට පෙර අප කියා තිබේ. එම අර්ථයෙන් ගත්විට මේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන ශ්‍රමය සඳහා ද කොටස් දෙකක් තිබිය යුතුය කියා සිතීම සාධාරණ බව පෙනී යයි. යමක් අපගේ පුද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් නිෂ්පාදනය කළ හැකි වන්නේ එම ප්‍රයෝජනය පිළිබඳව අදහසක් තියෙන, එය නිෂ්පාදනය කිරීමට ගැලපෙන පුහුණුවක් තියෙන නිශ්චිත ශ්‍රමයකට අනුවයි. එම නිසාම එය අපට ඕනෑම ආකාරයේ ශ්‍රම හැකියාවකට සමාන කරන්නට නොහැකි වේ. පුටුවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ශ්‍රමය යනු පොතක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ශ්‍රමය නොවේ. වී ගොවි තැන් කිරීමට අවශ්‍ය ශ්‍රමය යනු මේ දෙකටම සමාන නොවන තුන්වැනි ආකාරයේ ශ්‍රමයකි. මාක්ස් විසින් ‘සංයුක්ත ශ්‍රමය’ ලෙස නම් කරන්නේ මෙලෙස විවධ ආකාරයෙන් තිබෙනා එකිනකට වෙනස් වන ශ්‍රම හැකියාවයි.

නමුත් ශ්‍රම හැකියාව, එසේත් නැතිනම් ශ්‍රම අවශ්‍යතාවය භාණ්ඩයට වෙනස් වන්නේ නම් මේ සියල්ල ශ්‍රම කාලය පිළිබඳව මිනුම්දණ්ඩකට අනුව සමාන කළ හැක්කේ කෙසේද? මෙයට පිළිතුර සිතා ගැනීම අපහසු නැත. එකිනෙක වෙනස් ශ්‍රම හැකියාවන් සියල්ල අපට පොදුවේ මිනිස් ශ්‍රමය ලෙස හඳුනා ගත හැකිය. නමුත් මෙම මිනිස් ශ්‍රමය යනු දැන් වියුක්ත සංකල්පයක් බවත් පැහැදිළි වේ. අපට අනුභූතිකව දක්නට ලැබෙන්නේ නිශ්චිත භාණ්ඩ නිෂ්පාදනය කරන නිශ්චිත ශ්‍රමයන් පමණි. නමුත් අපට හුවමාරු වටිනාකමක් ලෙස මෙවැනි නිශ්චිත ශ්‍රමයන් මගින් ඇති වන ප්‍රයෝජනයක් නොමැත. ඒ වෙනුවට අපට හුවමාරුවට ඉඩ දෙන්නේ මේ සියල්ල කවුරුන් හෝ ශ්‍රමය යොදා මෙසේ හුවමාරුවට ගත හැකි ලෙස සකස් කර තිබෙනවා යන කරුණයි. එම නිසා හුවමාරු වටිනාකම උත්පාද කරන්නේ මෙම වියුක්ත ශ්‍රමයෙන් කියා අපට පැහැදිළි වේ. එය ‘වටිනාකම ගොඩනගන සාරය’ (‘value-forming substance’) එසේත් නැතිනම් ‘වටිනාකමේ සාරය’ (substance of value’) ලෙස මාක්ස් නම් කරන්නේ මෙම නිසාය. නමුත් මෙය ‘සාරයක්’ වන්නේ ‘මිනිසාගෙන් සිතීමෙන් පරිබාහිරව සැබැවින්ම වාස්තවිකව පවත්නා ද්‍රව්‍යය’ යන සාම්ප්‍රදායික භෞතිකවාදී අර්ථයෙන් නොවේ. වියුක්ත ශ්‍රමය යනු භාණ්ඩයේ වටිනාකම ලෙස එහි ඇතුලත් වන්නක් නිසා එයට වාස්තවිකත්වයක් තිබුනද එය ‘අවතාරමය වාස්තවිකත්වයක්’ (phantom-like objectivity) කියා මාක්ස් කියන්නේ මෙම නිසාය.

අපි මෙම වියුක්ත ශ්‍රමය පිළිබඳ අදහස තවදුරටත් විදාරණය කරමු. අප සාමාන්‍යයෙන් වියුක්තකරණය යන්න හඳුන්වන්නේ *මානසික* ක්‍රියාකාරිත්වයක් ලෙසයි. ‘මිනිසා’ යනු, නිදර්ශනයක් ලෙස, වියුක්ත සංකල්පයක් වන්නේ අපට කෙදිනකවත් අපේ මානසික ලෝකයෙන් බාහිරව මිනිසා හමු නොවනා නිසාය. ඒ වෙනුවට අපට හමුවන්නේ මිනිසා සඳහා සංයුක්ත නිදර්ශන – ‘බැසිල් රාජපක්ෂ’, ‘විමල් වීරවංශ’, චම්පික රණවක’ ආදී ලෙස – පමණි. නමුත් මාක්ස් විසින් න්‍යායගත කරන වියුක්ත ශ්‍රමය යන්නෙහි ඇති ප්‍රධාන වෙනසක් අපට මේ සමගම පැහැදිළි වේ. මෙහි තිබෙන්නේ, ඉතාමත් සරලව, කිසිවෙක් විසින් සිතා බලන, මානසික ක්‍රියාකාරිත්වයක් මගින් ඇති වන, වියුක්තකරණයක් නොවේ. ඒ වෙනුවට මෙහි තිබෙන්නේ අපගේ සිතීමෙන් තොරව අපගේ භාවිතය තුළ සිදු කරනා වියුක්තකරණයකි. එම නිසා වියුක්ත ශ්‍රමය යන්න උත්පාද වන්නේ අප ‘ශ්‍රමය’ යන සංකල්පය සිතා බලන විට නොවේ. සැකයකින් තොරවම, අනෙක් ඕනෑම සංකල්පයක් හා සම ලෙස, අපට ශ්‍රමය යන්න වියුක්ත අදහසක් ලෙස ද තේරුම් ගත හැකිය. මෙයට හේතුව වන්නේ අපට අනුභූතිකව, සංයුක්ත ලෙස, සෑම විටම හමුවන්නේ ශ්‍රමය යන අදහස සඳහා එක් නිදර්ශනයක් පමණක් වීමයි.

නමුත් අප දුටු පරිදි මාක්ස් ට අනුව හුවමාරුවේදී සිදු වන්නේ මෙය නොවේ. ඒ වෙනුවට හුවමාරුවේදී සිදු වන්නේ වියුක්ත ශ්‍රමය යන්න නොදැනුවත්වම ක්‍රියාකාරී වීමයි. අප භාණ්ඩයක් තවත් භාණ්ඩයක් සමග හුවමාරු කර ගන්නා විට සිදු වන්නේ එම භාණ්ඩ දෙකම වියුක්ත ශ්‍රමයට අනුව සමාන වනවා කියා *නොදැනුවත්ව* සැලකීමයි. අප මෙසේ කරනා බව අප ප්‍රායෝගිකව සිතා බලන්නේ නැත. අප ප්‍රායෝගිකව සිතා බලන්නේ අප විසින් හුවමාරුකරගන්නා භාණ්ඩ වලින් අප එකිනෙකාට ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම කුමක්ද කියා පමණි. නමුත් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අප එම භාණ්ඩ දෙක එකිනකට සමාන වටිනාකමක් තිබෙනවා කියා එකඟ වන මොහොතේ දී අප නොදැනුවත්වම වියුක්ත ශ්‍රමය සඳහා ද ‘ජීවය’ ලබා දේ. වියුක්ත ශ්‍රමය යනු සැබෑ වියුක්තකරණයක් (real abstraction) යන අතිශය තීරණාත්මක මාක්ස්වාදී සංකල්පයේ අර්ථය කුමක්ද කියා, මේ අනුව, අපට පැහැදිළි වේ.

මේ සමගම පැහැදිළි විය යුත්තේ වියුක්ත ශ්‍රමය යන්න අපට කාලය අනුව ගණනය කළ නොහැකි බවයි. කාල නිර්ණය කිරීම මගින් ගණනය කළ හැක්කේ සංයුක්ත ශ්‍රමය වැය කිරීමක් පමණි. අනෙක් අතට, සත්‍ය වශයෙන්ම, වියුක්ත ශ්‍රමය යනු ‘වැය කිරීමට’ හැකියාවක් තිබෙනා දෙයක් හෝ නොවේ. අප මෙය අවතාරමය වාස්තවිකත්වයක් ලෙස හැඳින්වූයේම මෙම නිසාය.මෙයට හේතුව වන්නේ එය අප හඳුනා ගත යුත්තේ සැබැවින්ම පවත්නා දෙයක් ලෙස නොව සබඳතාවයක් ලෙස වීමයි. වියුක්ත ශ්‍රමය යනු හුවමාරුව තුළ ගොඩනැගෙන සමාජීය වලංගුභාවයේ සබඳතාවයකි (a relation of social validation). ඉතාම සරල අර්ථයෙන් ගත්විට මෙමගින් අදහස් වන්නේ හුවමාරුවේදී සංයුක්ත ශ්‍රමය පොදු සමාජ නිෂ්පාදනයේ සංඝටකයක් ලෙස වලංගු බවක් ලබනවා යන්නයි. තවත් ආකාකාරයකට කියන්නේ නම් යමක් නිෂ්පාදනය කිරීමට ප්‍රායෝගිකව වැය වූ ශ්‍රමය හුවමාරුවේදී සමාජයේ සමස්ත නිෂ්පාදනයට සාපේක්ෂව හැඟවුම්කරණය කර ගැනීමට වියුක්ත ශ්‍රමය ඉඩ ලබා දෙයි.

මෙලෙස සංයුක්ත ශ්‍රමය, වියුක්ත ශ්‍රමය බවට පත්වීමේ දී එහි සිදු වන වෙනස් කම් අප ලකුණු කළ යුත්තේ කෙසේද? අපි මෙතැනින් මීළඟ සාකච්ඡාව ආරම්භ කරමු.

වංගීස සුමනසේකර