May be art

[Image: Agnes Martin, Untitled; ink on paper (c.1960)] 

මේ තිබෙන්නේ මාක්ස්ගේ ‘ප්‍රාග්ධනය’ පිළිබඳව ප්‍රවාදය සම්බන්ධයෙන් ලියවෙන කෙටි හැඳින්වීම් මාලාවක පස්වන රචනයයි. එහි හතරවන රචනය සඳහා මෙතැනින්ද තුන්වන රචනය සඳහා මෙතැනින්ද, දෙවන රචනය සඳහා මෙතැනින් ද පළමු රචනය සඳහා මෙතැනින්ද පිවිසිය හැකිය.

මාක්ස් ගේ ප්‍රාග්ධනය ප්‍රවාදය පිළිබඳව ලියනු ලබන කෙටි හැඳින්වීම් මාලාවක පස්වැනි කොටස මෙයයි. වෙනත් වැඩ කටයුතු සමග මෙය සිදු කරන හෙයින්, මෙම සටහන සතියකට එකක් බැගින් පළ කරන්නට උත්සාහ කරමි.

මෙම ප්‍රවාදය දැන ගැනීම කරුණු දෙකක් නිසා තීරණාත්මක වනවා කියා සිතමි. පළමුවෙන්, අපේ රටේ දැන් සිදුවෙමින් පවත්නා ආර්ථික ප්‍රතිසංස්කරණ අප ධනවාදය නම් සමස්තයේ කොටසක් ලෙස තේරුම් ගන්නේ කෙසේ ද කියා වටහා ගැනීමට මේ සම්භාව්‍ය න්‍යාය දැන සිටිය යුතුය. දෙවැන්න මෙයසූ සහ තවත් අය ඇසුරින් අප විසින් ගොඩ නගන නිශ්චිත දාර්ශනික සහ දේශපාලනික ආස්ථානය පැහැදිළි කර ගත හැක්කේ මේ ප්‍රවාදය සමග එය දක්වන ඓතිහාසික සම්බන්ධය / විසම්බන්ධය පැහැදිළි කරගත හැකි නම් පමණි.

ලිපි මාලාව පහසුවෙන් සොයා ගත හැකි වන ලෙස එය “ ‘ප්‍රාග්ධනය’ ගැන කෙටි සටහන්” යන ඇල්බමය යටතේ ෆේස්බුක් එකේ පළ වන අතර, දින කීපයකට පසුව ‘බව’ හී පළ වනු ඇත.

***

අප සාකච්ඡා කරමින් සිටින්නේ සංයුක්ත ශ්‍රමය වියුක්ත ශ්‍රමය බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙනි. අප දුටු පරිදි එමගින් භාණ්ඩ එකිනෙක සමග හුවමාරු කරගත හැකි ලෙස ඒවා වෙත වටිනාකමක් ආරෝපණය කළ ද මෙම වටිනාකම ලබා දෙන සාරය යනු භෞතික පැවැත්මක් නොව ‘අවතාරමය’ පැවැත්මකි. අනෙක් අතට එවැනි වියුක්ත ශ්‍රමයක් ඒවායේ අගය ලෙස තිබෙනා බව හුවමාරුවේදී ප්‍රායෝගිකව දැන නොසිටින නිසා මෙය අපේ සිතීමෙන් තොරව ඇති වියුක්තකරණයක් ලෙසත් එනිසාම සැබෑ වියුක්තකරණය (එනම්, නිර්-මානසික වියුක්තකරණයක්) ලෙසත් හැඳින්වේ. අවසානයේ දී මෙම වටිනාකම තීරණය වන්නේ එය සමාජයේ සමස්ත නිෂ්පාදිතයේ කොටසක් ලෙස, එහි එක් සංඝටකයක් ලෙස හඳුනා ගැනීමට මෙම වියුක්තකරණය ඉඩ ලබා දෙන නිසාය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස එහිදී එක් නිශ්චිත සංයුක්ත ශ්‍රමයක් මගින් නිෂ්පාදිත භාණ්ඩයක් සඳහා සමස්ත නිෂ්පාදනයට සාපේක්ෂව හිමි වන වලංගු බවක් ලැබෙයි.

මේ සඳහා, ඉතාම පුළුල් අර්ථයෙන් ගත්විට, සංයුක්ත ශ්‍රමය වැය කිරීමේ එක් අවස්ථාවක් ඌණනය කිරීම් තුනකට ලක් වන බව කිව හැකිය. ‘ඌණනය’ කිරීම යන්නෙන් අදහස් වන්නේ, පොදුවේ ගත්විට, එක් දෙයක වටිනාකම හෝ අර්ථය හෝ වෙනත් දෙයක් ඇසුරින් තේරුම් කරනවා යන්නයි. පළමුවෙන්, අප දැනටමත් සාකච්ඡා කර ඇති ලෙස, මෙහිදී සලකා බලන්නේ තනි තනි පුද්ගලයන් යමක් නිෂ්පාදනය කරන කාලය නොව ඒ සඳහා සමාජීයව අනිවාර්යය වන කාලයයි. මෙම කාලය කුමක්ද කියා අපට නිරාවරණය වන්නේ හුවමාරුවේදී කියා පැහැදිළි වේ. මේ අනුව එක් භාණ්ඩයක වටිනාකම එය නිෂ්පාදනය කිරීමට සමාජීයව අවශ්‍ය ශ්‍රම කාලයේ අගය දක්වා හුවමාරුවේදී ඌණනය වෙයි.

දෙවනුව, මේ සඳහා ඉල්ලුමක් තිබීම ද අවශ්‍ය බව පැහැදිළි වේ. සම්ප්‍රදායික මාක්ස්වාදී විශ්ලේෂණය සඳහා තිබෙන ජනප්‍රිය විවේචනය වන්නේ එමගින් වටිනාකම් හුවමාරුවේ මෙම මානය මග හැර යනවා යන්නයි. භාණ්ඩයක වටිනාකම තීරණය වන්නේ එය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සමාජීය ශ්‍රම කාලය මත පමණක් කියා යෝජනා කිරීම තරමක් අසම්පූර්ණ බව තේරුම් ගැනීම අපහසු නොවේ. නමුත්, සත්‍ය වශයෙන්ම මෙය සම්ප්‍රදායික මාක්ස්වාදී අර්ථකථන වල තිබෙනා එක්තරා ඌණිත කියවීමක් පමණක් බව පෙන්වා දිය හැකිය. ‘ප්‍රාග්ධනය’ පළමු වෙළුමේ දී මාක්ස් මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්ද කියා පහසුවෙන් තේරුම් ගත හැක. යමක් හුවමාරු වටිනාකමක් වීම සඳහා එය අනෙකුන් වෙත ප්‍රයෝජ්‍ය වටිනාකමක් (use-value for others) ලෙස ද පැවතිය යුතු අතර, එවැනි ප්‍රයෝජ්‍ය වටිනාකමක් පිළිබඳව උනන්දු වන අනෙකෙක් හට එය හුවමාරුවේදී ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතුය (බලන්න, ‘Capital Volume 1’, Penguine Classic edition, p. 131). අනෙක් අතට මෙලෙස අනෙකුන් වෙත කිසියම් භාණ්ඩයක ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම තීරණය කිරීමේ දී කොපමණ ප්‍රමාණයක සැපයුමක් තිබෙන්නේ ද යන්නත් මෙහිදී වැදගත් වෙයි. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා සමස්ත සමාජීය ශ්‍රමයෙන් වැඩි ප්‍රමාණයක් වැය වීම යනු යමක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සමාජ ශ්‍රම කාලය ඉක්මවා ශ්‍රමය වැය කරනවා හා සමාන බව මාක්ස් පෙන්වා දෙන්නේ මෙම නිසාය (‘Capital Vol 1, p. 202).

අවසානයේදී වියුක්ත ශ්‍රමය ලෙස සංයුක්ත ශ්‍රමය පරිවර්තනය වීමේ දී ශ්‍රම බලකායේ ගුණාත්මක තත්වය සම්බන්ධයෙන් සමාජයේ පවත්නා ආකල්ප ද තීරණාත්මක වේ. විශේෂයෙන්, අප වර්තමානයේ කියනා ආකාරයට, ‘නුපුහුණු ශ්‍රමය’ සහ ‘පුහුණු ශ්‍රමය’ අතර වෙනස මෙහිදී තීරණාත්මක වේ. නැවතත්, දෙන ලද අවස්ථාවකදී නුපුහුණු ශ්‍රමය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වෙනස් විය හැකිය. අද වනවිට, නිදර්ශනයක් ලෙස, ඊමේල් එකක් යැවීමේ හැකියාව සලකන්නේ ඕනෑම කෙනෙක් සතු විය යුතු, එනිසාම නුපුහුණු ශ්‍රමයට අයත් වන හැකියාවක් ලෙසයි. නමුත් මෙය වසර තිහකට පෙර මෙයට වෙනස් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ආකාරයට සමාජයේ සමස්ත ශ්‍රමය යන්න සෑම විටම හඳුනා ගන්නේ සමජාතීය වටිනාකමකින් නොව යම් නිශ්චිත ආකල්ප සහ අගතීන් මත පදනම් වූ ධූරාවලියක් ලෙසයි. එම නිසාම වටිනාකම සඳහා වලංගු බවක් ලැබෙන්නේ මෙම ධූරාවලියේ සිදුවන වෙනස්කම් සහ ස්ථාවර වීම් වලට අනුව පමණි.

පොදුවේ ගත්විට මේ ආකෘති තුනම එකම මොහොතක ක්‍රියාත්මක වනවා කියා අප කිව යුතුය. පුද්ගලිකව වැය කරන ලද සංයුක්ත ශ්‍රමය අපට වියුක්ත ශ්‍රමය බවට පත් කළ හැකි වන්නේ එය මේ ආකෘති තුනටම අනුව ගණනය කිරීමක් සිදු වන්නේ නම් පමණි. නමුත්, අනෙක් අතට, මෙය අවසානයේ දී අපට ගණනය කළ හැකි වන්නේ හුවමාරුවේදී පමණි. එසේත් නැතිනම් මේ ඌණනය කිරීම් වලට අනුව භාණ්ඩයකට හිමි වන වටිනාකම කුමක්ද කියා අපට හෙළි කරන්නේ හුවමාරුවයි. එතැනදී අපට එහි හුවමාරු වටිනාකම කුමක්ද කියා නිරාවරණය වෙයි.

නමුත් මේ සමගම අපට තරමක් සංකීර්ණ අර්ථකථන ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. පාරිභෝගික භාන්ඩ වලට වටිනාකමක් ලැබෙන්නේ ඒවා නිෂ්පාදනය කිරීමට යොදා ගත් සංයුක්ත ශ්‍රමය අනුව නොව ඒ වෙනුවට ඒවායේ අඩංගු වියුක්ත ශ්‍රමයේ අගය අනුවයි. නමුත්, අප දැන් පැහැදිළි කරගත් ආකාරයට, වියුක්ත ශ්‍රමය යනු හුවමාරුවේදී පමණක් පැවතිය හැකි සමජීය වලංගු බවකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අප තරමක් අමුතු නිගමනයක් වෙත පැමිණිය යුතු බව පැහැදිළි වේ: ශ්‍රමයේ නිෂ්පාදිතයක් සඳහා වටිනාකමක් ලැබෙන්නේ එය තවත් එවැනි නිෂ්පාදිතයක් සමග හුවමාරු වන අවස්ථාවකදී පමණි. පාරිභෝගික භාණ්ඩයේ ඇති අවතාරමය වාස්තවිකත්වය පිළිබඳව අදහස අපට දැන් තවදුරටත් ඉදිරියට ගෙන යා හැකිය.

එක්තරා අර්ථයකින් මෙය මෙසේ වනවා කියා පිළිගැනීම අපට දැන් කිසිසේත් අපහසු නොවේ. අප දැන් දන්නා පරිදි වටිනාකම මැන ගන්නේ සංයුක්ත ශ්‍රමය අනුව නොව වියුක්ත ශ්‍රමය අනුවයි. නමුත් වියුක්ත ශ්‍රමය යනු වස්තුව තුළ අන්තර්ගත වන තවත් ලක්ෂණයක් නොවේ. අප එය හඳුනා ගත්තේ සැබෑ වියුක්තකරණයක් ලෙසයි. එම නිසාම අප දැන් පැමිණිය යුතු එකම නිගමනය වන්නේ පාරිභෝගික භාණ්ඩයක් යනු එය හුවමාරු කරගන්නා පද්ධතියෙන් බාහිරව වටිනාකමක් නොමැති වන්නා වූ දෙයක් යන්නයි.

නමුත් මෙමගින් අදහස් වන්නේ වටිනාකමේ අගය යනු හුවමාරුව මගින් අහඹු ලෙස ඇති වන්නක් නොවන බවත් අප මතක තබා ගැනීම වැදගත් වේ. අප දුටු පරිදි වියුක්ත ශ්‍රමයේ අගය තීරණය වන සාධක තුනක් තිබේ. එනම්, සමාජීයව අනිවාර්යය වන ශ්‍රම කාලය, අනෙකුන්ගේ ප්‍රයෝජ්‍ය වටිනාකම් මගින් ඇති වන ඉල්ලුම සහ ශ්‍රම බලකායේ ගුණාත්මක බෙදීම් යන සාධක අනුව අප වියුක්ත ශ්‍රමය සඳහා ලබා දෙන අගය වෙනස් වෙයි. මෙම අර්ථයෙන් ගත්විට අප කිව යුත්තේ වටිනාකම යනු කිසියම් නිෂ්පාදිතයක් සහ එය නිපදවූ ශ්‍රමිකයා අතර ඇති සම්බන්ධයක් නොව කිසියම් භාණ්ඩයක් නිපදවූ ශ්‍රමිකයා සහ එම සමාජයේ සමස්ත ශ්‍රමය සමග අතර ඇති සම්බන්ධයක් වන බවයි.

නමුත් වටිනාකම සහ හුවමාරුව සම්බන්ධ අපගේ විශ්ලේෂණය තවමත් තිබෙන්නේ බරපතල අසම්පූර්ණත්වයක කියා තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ අප තවමත් මෙවැනි හුවමාරුවකදී අතිශය කේන්ද්‍රීය භූමිකාවක් අත්පත් කරගන්නවා කියා සිතෙනේ ‘මුදල්’ වල භූමිකාව හඳුන්වා නොදීමයි. අපි එතැනින් සංවාදය ඉදිරියට ගෙන යමු.

වංගීස සුමනසේකර