No description available.

Cecily Brown, “Service de Luxe”; oil on linen (1999)

මෙයසූගේ දර්ශනයේ දේශපාලන විභවය පිළිබඳව උනන්දු වන හිතවතුන් වෙනුවෙන් මේ සටහන දමමි. මෙය තරමක් දිගු කාලීන ව්‍යාපෘතියක් වන හෙයින් මෙය කිසි සේත් ‘ෆේස්බුක් කාලිකත්වයට’ අනුව කළ නොහැක. අපට කළ හැක්කේ සෙමින් මේ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම පමණි. මෙහිදී අර්න්ස්ට් බ්ලොක් (Ernest Bloch) සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් ඇති වීම අනිවාර්යය වේ. මේ තිබෙන්නේ එම සාකච්ඡාව නොවේ. මේ තිබෙන්නේ අනාගතයේදී එම සාකච්ඡාව ඇති වීම වෙනුවෙන් බ්ලොක් වෙනුවෙන් ලියනා ඉතාම සරල හැඳින්වීමකි. බ්ලොක් ගැන සිංහලෙන් මෙයට පෙර ලියා තිබෙනවාද කියා අප දන්නේ නැත (බ්ලොක් ගැන ‘පළමුවෙන් ලිවීමේ ගෞරවය’ නම් කිසි සේත් මෙහිදී අවශ්‍ය නොවේ!). නමුත් ඔහු මෙම සංවාදයේ තීරණාත්මක සම්පත් දායකයකු වනු ඇත. එනිසා ඒ ගැන ඉගෙන ගැනීමට උනන්දු කෙනෙකුට ඉතාම සරල ප්‍රවේශයක් ලබා දීම මෙහි අරමුණයි. මෙයට පෙර ද යෝජනා කළ ලෙස මේ ගැන වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා ස්ලැවෝයි ජිජැක් සහ පීටර් තොම්සන් විසින් සංස්කරණය කරන ලද “The Privatization of Hope – Ernst Bloch and the Future of Utopia” නම් කෘතිය බලන්න.

මෙම සටහන සඳහා මූලික වී තිබෙන්නේ බ්ලොක් ගේ ‘The Principle of Hope’ නම් කෘතියයි. සංක්ෂිප්තව ගත්විට බ්ලොක් ගේ ‘බලාපොරොත්තුවේ මූලධර්මය’ මගින් උත්සාහ කරන්නේ සමාජීය විමුක්තියේ භාවිතයක් ලෙස සැලකිය හැකි මාක්ස්වාදය සඳහා අවශ්‍ය විප්ලවවාදී සිතීමකට සත්භාවවේදී පදනමක් ලබා දීමටයි. එය පදනම් වන්නේ මිනිස් වර්ගයාගේ පැවැත්ම මෙම ලෝකයේදීම පරිපූර්ණ වන අනාගතයක් පිළිබඳව බලාපොරොත්තුවකිනි. නමුත් මෙහිදී වැදගත් වන්නේ මෙම බලාපොරොත්තුව සත්භාවවේදී අර්තකයකින් තේරුම් ගැනීමයි. බ්ලොක් විසින් මෙය නාමකරණය කරන්නේ තවම-නැති-පැවැත්ම (Not-Yet-Become) එසේත් නැතිනම් ‘තවම-නොපැවත්මේ සත්භාවවේදය’ (‘ontology of the not-yet’). අනාගතය සමග මිනිසාට ඇති සම්බන්ධයෙ වැදගත් මානයක් වන්නේ අනාගතය යනු රැඩිකල් නවීනත්වයක් දරා සිටිනා දෙයක් ලෙස අපට තේරුම් ගත හැකි වීමයි. අපගේ වර්තමානයේ සිට මෙම නවීනත්වය පූර්වාපේක්‍ෂ කළ හැකි බව ද පැහැදිළි වේ. අපට එම අනාගතය ගැන දැනුවත් සිහින මැවීමට හැකියාවක් තිබෙනවා යනු අපේ වර්තමානයෙන් පලා යාමක් නොව වර්තමානයේ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රවේශයක් ලෙස සැලකිය යුතු වන්නේ මෙම නිසාය. බ්ලොක් ගේ පර්යේෂණයේ කේන්ද්‍රීය ගැටලුව වන්නේ මෙලෙස පූර්වාපේක්ෂා කරනා අනාගතය යුතෝපියාවට අනුව මිනිසා සිටිය යුතු ආකාරය සහ එමගින් මිනිසාගේ වර්තමාන පැවැත්ම සම්බන්ධයෙන් කිව හැකි දේ අතර ඇති දයලෙක්තික සම්බන්ධයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්ලොක් ගේ ව්‍යාපෘතිය මාක්ස්වාදී සම්ප්‍රදායේ තරමක් අමුතු එකක් බව පැහැදිළි වේ. සම්ප්‍රදායිකව අප පුරුදු වී සිටින්නේ මාක්ස්වාදය යනු යුතෝපියානු සමාජවාදයන් ට එරෙහිව විද්‍යාත්මක සමාජවාදය වෙත යාමට තිබෙනා දේශපාලන සිතීම ලෙස සැලකීමයි. නමුත් බ්ලොක් යෝජනා කරන්නේ මාක්ස්වාදයෙන් අපේක්ෂිත පරාරෝපනයෙන් මිදුණු සමාජයක් පිළිබඳව අදහස අප අනාගත යුතොපියාවක් පිළිබඳව අදහස සමග එකතු කළ යුතු බවයි.

බ්ලොක් පෙන්වා දෙන ආකාරයට අපට මෙම නිශ්චිත දෘශ්‍ය ලක්ෂ්‍යයේ සිට මිත්‍යාමතික පුරාකතා සහ මෙතෙක් පැවති සබුද්ධික දර්ශවාදයන් අතර සමානත්වයක් ගොඩ නැගිය හැකිය. මේ දෙක තුළම සිදු වන්නේ වර්තමානය යනු අතීතයේ පුනරාවර්තනය වීමක් කියා යෝජනා වීමයි. මිත්‍යාමතික පුරාකතා සම්බන්ධයෙන් මෙය හොඳින් පැහැදිළි වේ. එහිදී සිදු වන්නේ දැනටමත් සිදු වී ඇති දෙය වර්තමානය වඩා ශ්‍රේෂ්ඨ වනවා කියා සැලකීමයි. ජාතිකවාදය ඇතුළු සකලවිධ සම්ප්‍රදායවාදයන් සහ සංරක්ෂණවාදයන් වල මෙම ලක්ෂණය හොඳින් විද්‍යාමාන වේ. ඒවා පදනම් වන්නේ අතීත ශ්‍රේෂ්ඨත්වය, අතීත නිර්මලත්වය පිළිබඳව වූ කතිකාවක් මතයි. නමුත් බ්ලොක්ට අනුව මෙම චෝදනාව අපට ප්ලේටෝ ගේ සිට හේගල් දක්වා දර්ශන සම්ප්‍රදායට ද කළ හැකිය. පොදුවේ ගත්විට දර්ශනය සෑම විටම ආරම්භ වන්නේ පවත්නා දෙය කුමක්ද කියා ස්ථාපිත කිරීමෙන් පසුවයි. ප්ලේටෝ ගේ ‘අදහස්’ නැතිනම් ‘ආකෘති’ යනු මෙහි පරමාදර්ශී නිදර්ශනය කියා කිව හැකිය. මෙහිදී සිදු වන්නේ කාලක්‍රමිකව පළමුවෙන් තිබෙනා දෙයෙහි උත්තරීතරත්වය ස්ථාපිත කිරීමයි. එයට සාපේක්ෂව ගත්විට වර්තමානය යනු අසම්පූර්ණ පිටපතක් පමණි. නමුත් මේ අදහස අපට හේගලියානු දයලෙක්තිකය දක්වාම දිගු කළ හැකිය. දයලෙක්තික වර්ධනයක් යනුද අතීතයේ දී ඒ වනවිටත් ‘ඡායාමය’ වශයෙන් තිබෙනා දෙය එහි පරිසමාප්තියට පත්වීමේ ක්‍රියාවලියයි. අපගේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ අදහස, සිතුවිලි, විඥානය, මනස – පොදුවේ ගත්විට විඥානවාදය – යන්නද, එසේත් නැතිනම්, අප ආරම්භ කරන්නේ සාරය, පදාර්ථය, ද්‍රව්‍යය – පොදුවේ ගත්විට භෞතිකවාදය – යන්නද මෙහිදී තීරණාත්මක නොවේ. කුමන ආරම්භයක් අප ගත්ත ද අවසානයේ දී වර්තමානය යනු අතීතයේ දිගුවක්, එහි අකණ්ඩතාවයක්, එහි වර්ධනයක් පමණි. මේ සියල්ල මගින් අපට අමතක කරවන්නේ අනාගතය යන්නෙහි භූමිකාවයි. මෙයට පරස්පරව බලාපොරොත්තුවේ මූලධර්මය අපට බල කර සිටින්නේ ‘තවමත් නොපැවත්මේ’ ප්‍රවර්ගය ඇසුරින් අපගේ වර්තමානය තුළ සැඟවී තිබෙන්නේ වුවත් තවමත් මූලධාර්මික ලෙස අසම්පූර්ණ වන මිනිස් වර්ගයාගේ විභවතාවයක් ස්ථාපිත කිරීමයි. එය කිසිදු ආකාරයකින් අතීතය මත පදනම් නොවිය යුතු අතර ඒ වෙනුවට එය අතීතයෙන් කණ්ඩනය වීමක් ලෙස ගත යුතුය.

බ්ලොක් ට අනුව මේ මගින් අපට මිනිසා සෑම දා සිය වර්තමානය ප්‍රායෝගිකව වෙනස් කළ ආකාරය සිතා ගැනීමට අවස්ථාව ලැබේ. පොදු මානව ඉතිහාසයේ සමස්ත කලාව, දේශපාලනය ආදියේ සිදු වූ වෙනස්කම් අප බලාපොරොත්තුවේ මූලධර්මය ඇසුරින් නැවත සලකා බැලිය යුතුය කියා බ්ලොක් යෝජනා කරන්නේ මෙම නිසාය. නිදර්ශනයක් ලෙස බ්ලොක් යෝජනා කරන ලෙස ගොතික් ගෘහනිර්මාණ ශිල්පය පදනම් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගේ අනුශාකා (vine of Jesus) වීමටයි. එය අවසානයේ බලාපොරොත්තු වන්නේ ඊඩන් උයනේ ජීවයේ ගස (tree of life) බවට පත්වීමටයි. මේ ආකාරයට මානව ඉතිහාසයේ සෑම අව්‍යාජ කලා ව්‍යාපාරයක් මෙන්ම අව්‍යාජ විමුක්ති ව්‍යාපාරයක්ම බලාපොරොත්තුවේ මූලධර්මය විසින් අපට හෙළි කරනා සත්භාවවේදය ඔස්සේ නැවත අර්ථකථනය කළ යුතු බව බ්ලොක් යෝජනා කරයි. එහිදී අප උත්සාහ කළ යුත්තේ මෙවැනි ව්‍යාපාර විසින් පූර්වාපේක්ෂා කළ අනාගතය කුමක්ද කියා තේරුම ගැනීමටයි.

කෙසේ වුවත් මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙයයි. බ්ලොක් විසින් යෝජනා කරන සත්භාවවේදය පදනම් වන්නේ නිශ්චිත හඳුනා ගත හැකි පැවැත්මක් මතයි. සංක්ෂිප්ත වශයෙන් මෙමගින් යෝජනා කරන්නේ මිනිසා වෙත තවමත් නොමැති පරිපූර්ණත්වයකි. නමුත් මෙම පරිපූර්ණත්වය වෙත මිනිසා ළඟා වීමේ ප්‍රවණතාවයක් තිබේ. එක්තරා අර්ථයකින්, බ්ලොක්ට අනුව, මිනිසත් බව යනුම මෙම ප්‍රවණතාවයයි. මෙමගින් අනිවාර්යයෙන් ගම්‍ය වන්නේ මෙම පරිපූර්ණත්වය, අඩුවක් ලෙස හෝ, මේ වනවිටත් පවත්නා බවයි. එම අර්ථයෙන් ගත්විට එමගින් නියෝජනය කරන්නේ මිනිසාගේ අතිසමීප ආශාවකි. තරමක් දාර්ශනික බසකින් අපට මෙම ප්‍රවාදය අවසානවාදය (teleology) ලෙස නම් කළ හැකිය. එම අර්ථයෙන් ගත්විට බ්ලොක් ගේ තිසීසය අපට මෙලෙස සාරාංශ කළ හැක: මිනිසාට සිටිය හැකි සහ මිනිසා සිටිය යුතු ආකාරයට තවමත් ඔහු පැවැත නැති අතර එය බවට ඔහු අනාගතයේදී පමණක් පත්විය යුතුය.

නමුත් මෙහිදී අප බ්ලොක් ගේ මෙම අවසානවාදය සම්භාව්‍ය ඇරිස්ටෝටලියානු අවසානවාදයෙන් තේරුම් ගත යුතු නොවේ. මෙහි තිබෙනා කේන්ද්‍රීය වෙනස වන්නේ ඇරිස්ටෝටලියානු ආකෘතිය තුළ භෞතික පැවැත්මවල් විසින් යථාභූත කරගන්නේ ඒවා වෙත ඒ වනවිටත් විභවතාවයන් ලෙස තිබෙනා දේ වීමයි. එම අර්ථයෙන් එහිදී යථාභූත කර ගැනීම යනු එහි සමාරම්භක පරිපූර්ණත්වය වෙත යාමයි. එම නිසාම එහි අවසානය යනු ඒ වනවිටත් එක්තරා ආකාරයකට යථාභූත වී ඇති අවසානයකි. එහි සැබෑ, ප්‍රායෝගික යථාභූත වීම යනු එක්තරා ආකාරයකට ඒ වනවිටත් තිබෙනා තත්වයකට නැවත යාම පමණි. එම නිසාම මෙම ඇරිස්ටෝටලියානු සංකල්පනය දේවධාර්මික ලෙස අර්ථකථනය කිරීම ඉතාම පහසු බව පැහැදිළි වේ. මෙයට පරස්පරව බ්ලොක් විසින් යෝජනා කරන අවසාන දිශානතවීමක් සඳහා අපට දිව්‍යමය ආරම්භයක් සිතීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැත. ඒ වෙනුවට මෙහිදී යෝජනා කරන්නේ අපගේ වර්තමාන ක්‍රියාකාරකම් මෙන්ම අතීතය අර්ථකථනය කිරීම සහ යළි ගොඩ ගැනීම අනාගතය විසින් නීර්ණය කරනු ඇති බවයි.

අනෙක් අතට බ්ලොකියානු බලාපොරොත්තුවේ මූලධර්මය මගින් මිනිසාගේ ස්වභාවයේ වෙනසක් යෝජනා කරන්නේ ද නැත. ඒ වෙනුවට මෙහිදී යෝජනා කෙරෙන්නේ මිනිසාගේ පැවැත්ම සඳහා අනිවාර්යය වන සාමූහික ආයතන සහ සාමූහික උපකරණ ලෝකයේ සිදුවන අනාගත පරිවර්තනයකි. බ්ලොක් විසින් පෙන්වා දෙන ආකාරයට එකිනෙකට වෙනස් වූ බොහෝ සංස්කෘති වල එකම ආකාරයේ පරිපූර්ණත්වයක් සිහින දකිනා බව පැහැදිළි වේ. එම නිසා මේ මගින් සෑම ආකාරයකම වෙනස්කමක පැහැදිළි කිරීමට සමත්වන අවසානවාදයක් යෝජනා කරන්නේ නැත. මෙයට හේතුව වන්නේ සෑම වෙනස්කමක්ම මිනිසත් බව සතු මෙම පරිපූර්ණත්වය වෙත ගමන් කරනා වෙනස්කමක් ලෙස නම් කළ නොහැකි වීමයි. නිදර්ශනයක් ලෙස මරණයට පත්වීම යනු එක්තරා ආකාරයක ජෛවීය විභවයක යථාභූත වීමක් වුවත් එය මිනිසාගේ පරිපූර්ණත්වයේ අරමුණක් ලෙස නම් කළ නොහැකි වේ.

අනෙක් අතට මේ මගින් යෝජනා කරන්නේ ශිෂ්ඨාචාරය අකණ්ඩව ප්‍රගතිය වෙත යන ප්‍රගතිවාදයක් හෝ පරිනාමවාදයක් හෝ නොවේ. මෙයට හේතුව වන්නේ මෙමගින් විප්ලවවාදී ක්‍රියාවලියක් යෝජනා කිරීමයි. සංක්ෂිප්ත වශයෙන් මෙමගින් යෝජනා කරන්නේ අතීතයෙන් රැඩිකල් ලෙස වෙන් වන අතර නවීනත්වයක් උත්පාද කිරීමකි. එම නිසා මෙමගින් පෙන්වා දෙන්නේ කිසිදු බාධාවකින් තොරව නෛසර්ගිකව සහ රේඛීයව සිදුවන වර්ධනයක් නොවේ. ඒ වෙනුවට එමගින් යෝජිත අවසානයට එරෙහිව දැන් පවත්නා ආධිපත්‍යයේ තර්කණයන් ක්‍රියාත්මක වේ. එම නිසා මෙමගින් යෝජිත අනාගතය යනු සමාජ ගැටුම් ඔස්සේ පමණක් ඇති විය හැකි ආකාරයේ අනාගතයකි.

පොදුවේ ගත්විට අපට බ්ලොක් විසින් බලාපොරොත්තුවේ සත්භාවවේදයක් අපට සිතිය හැකි කොන්දේසි මොනවාද කියා නිර්ණය කරන්න උත්සාහ කරනා බව කිව හැකිය. බලාපොරොත්තුව සම්බන්ධයෙන් අප විසින් පොදුවේ හඳුනා ගත හැකි මූලික ලක්ෂණ එහි ඇතුලත් වේ. එමගින් බලාපොරොත්තු විය යුත්තේ වියහැකි දෙයකි. එමෙන්ම එය අපගේ ක්‍රියාකාරිත්වය පණ ගැන්වීම සඳහා ප්‍රමාණවත් විය යුතුය. මෙය අපට වියහැකිබවේ සත්භාවවේදය සතු දේශපාලන විභවය සිතීමේදී තීරණාත්මක වේ.

වංගීස සුමනසේකර