No description available.

[Image: Dhamma Jagoda and Vijaya Nandasiri in “Maname”, (1956 – year of first production) Director Ediriweera Sarachchandra]

පහතින් පළ වන්නේ මාටින් වික්‍රමසිංහ විසින් සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාට්‍යය හඳුන්වා දීම වෙනුවෙන් ලියූ කෙටි ලිපියක මාගේ සිංහල පරිවර්තනයි. මුල් රචනය 1956 ඔක්තෝබර් 30 වෙනිදා ‘Ceylon Daily News’ පුවත් පතේ ‘An Intensified Folk Play: Maname Nadagama’ යන හිසින් පළ විය.

***

නාඩගම්වල එන සම්ප්‍රදායික චරිත සියල්ල ඉවත් කිරීමෙන් පැය දෙකහමාරක් තුළ රඟ දැක්විය හැකි වඩාත් තීව්‍ර කරන ලද ජන නාට්‍යයක් නිර්මාණය කිරීමට ආචාර්ය සරච්චන්ද්‍ර සමත් වී තිබේ.

මා මෙහි එක් පුහුණුවීමක් (වස්ත්‍රාභරණ රහිත පුහුණු වීමක්) දැක තිබේ. මේ සටහන තබන්නේ නාඩගම් පිළිබඳව – එහි ආකෘතිය සහ ශිල්පීය විධික්‍රම පිළිබඳව – අවබෝධයක් නැති නගරයේ ජනයා වෙත මෙම ජන නාටකයා හඳුන්වා දීම වෙනුවෙනි.

මනමේ නාඩගම යනු කෝලම් නැටුම යනුවෙන් සිංහලෙන් හැඳින්වෙන ප්‍රාථමික ගැමි නාටකයකින් උපුටා ගත් කොටසක අනුවර්තනයකි. මා සිතනා ආකාරයට නාඩගම් යනු කෝලම් වලින් ඍජුව ප්‍රභවය වූවකි. කෝලම් වල එන සම්ප්‍රදායික චරිත සියල්ල ඉවත් කර ඉතිරි වන රජු සහ ඔහුගේ පිරිවර මනමේ කතාව සඳහා නාටකීය ලෙස යොදා ගන්නේ නම් අපට නාඩගම නම් ඔපෙරා ආකෘතියේ ජන නාටකය ලැබෙයි.

වේදිකා අනුවර්තනයක් (adaptation).

සඳකිඳුරු ජාතකයේ සහ මනමේ කතාවේ සහතික කරන ලද පිටපත් සෑම විටම එකට කුඩා පොත් පිංචක් ලෙස මුද්‍රණය වෙයි. මනමේ කතාව හදිසියේ ආරම්භ වන්නේ මනමේ කුමරා හඳුන්වා දීමෙනි. මෙම ආරම්භය සහ එහි පළමු කවියේ අවසන් පේලියේ එන ‘මනමේ කුමරු වේදිකාවට එන අයුරු බලන්’ යන වැකිය මගින් පැහැදිළි වන්නේ මෙය කෝලමක කොටසක් වන බවයි.

විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය විසින් නුදුරු දිනකදී වේදිකාගත කිරීමට සැලසුම් කර තිබෙන මනමේ නාඩගම යනු කෝලම් සම්ප්‍රදායේ කවියන් විසින් නාටකීයකරණය කළ කතාවේ එක් ආකෘතියක් ඇසුරින් නිර්මාණය වූවකි. එහි තිබෙනා අනවශ්‍ය දේ සහ පිරිපහදු නොකරන ලද අංග සියල්ල ඉවත් කර ඇති මෙම නව නිර්මාණය ගොඩ නැගී තිබෙන්නේ නාඩගම් වල ශිල්පයට සහ ශෛලියට ගැලපෙන ලෙසයි.

නාඩගම යනු එක් දිනක නොව දින කීපයක රාත්‍රී කාලයේ එක දිගට රඟ දැක්වූ සම්ප්‍රදායික ආකෘතියේ නාට්‍යයකි. රාත්‍රී කීපයක් පෙන්විය හැකි ලෙස නාට්‍යය දිගු කිරීමට හැකි වන්නේ කෝලම් සම්ප්‍රදායේ එන වට්ටෝරු චරිත එයට ඇතුලත් වන නිසාය. මෙලෙස ඇතුලත් කරනා චරිත විසින් නියෝජනය කළේ නාට්‍යයෙන් බාහිර වූ රජු සහ ඔහුගේ පිරිවරයි. මේ චරිත යුගල වශයෙන් වේදිකාවට පැමිණ ගීත ගයා, නර්තනයේ යෙදී, පිටව යයි. ඉන් පසුව ඔවුන් සියලු දෙනා නැවත වේදිකාවට එන්නේ පෝලිමක් ලෙසයි. මුලින් පිරිවර පැමිණ අවසානයේ රජු එයි. සෑම රාත්‍රියකම සැබෑ නාට්‍යය ආරම්භ වන්නේ මේ වට්ටෝරු චරිත හඳුන්වා දීමෙන් පසුවයි. එනිසා සෑම දිනකම රඟ දැක්විය හැක්කේ නාට්‍යයෙන් කොටසක් පමණි. නාඩගම යනු වේදිකාව මත කොටස් වශයෙන් පෙන්විය යුතු නාට්‍යයක් බව පැහැදිළි වනු ඇත. කෝලම් සම්ප්‍රදායෙන් ගත් වට්ටෝරු චරිත විසින් මෙලෙස කොටස් වශයෙන් මෙය පෙන්වීමට උපකාර කරයි.

නාටකීය ජන කවිය

මනමේ රජුගේ කතාව නාඩගම් සම්ප්‍රදායේ ශිල්පීය සහ කලාත්මක මැදිහත්වීමෙන් මනබඳිනා නාටකීය ජනකවියක් බවට පරිවර්තනය කර තිබේ. සංස්කෘත සාහිත්‍යය විචාරයේ නාට්‍යය හඳුන්වන්නේ ‘ද්රිස්ය කාව්‍ය’ (drisya kavya) යනුවෙනි. ද්රිස්ය කාව්‍ය යනු ඇසට පෙනෙන කවි යන්නයි. නාඩගම් ශෛලිය චරිතාංග-රංගනය (character-acting) සහ අර්ථකථන වලට යාමට උත්සාහ කරන්නේ නැත. රංගනය සීමා වන්නේ වචන වල රිද්මය, සංගීත සහ කතාවේ පසුබිම සමග ගැලපෙන ශෛලිගත පියවර තැබීම්, චලනයන් සහ මුද්‍රාවන් වලටයි. ශබ්දයේ රිද්මය, චලනය, නාටකීය රංගනය ආදිය ශෛලිගත වුවත් එමගින් කතාව තීව්‍ර කරන ලද නාටකීය ආකෘතියකින් රසවිඳීමට නරඹන්නන් හට අවස්ථාවක් ලබා දෙයි. සිංහල ගැමි කලාව ජාතක කතා වර්ණ ගැන්වීම සඳහා ශෛලියක් සහ ආකෘතියක් ගොඩ නගා තිබේ. වේදිකාව මත ජාතක කතාවක් නාටකීය ලෙස ඉදිරිපත් කරනා නාඩගම් සම්ප්‍රදායට ජාතක කතා වර්ණ ගන්වන චිත්‍ර ශිල්පය සමග සම්බන්ධයක් තිබේ.

මනමේ කතාව මෙසේය:

මනමේ කුමරා තක්ෂිලාවට අධ්‍යයන කටයුතු වෙනුවෙන් යයි. හොඳම ශිෂ්‍යයා ලෙස ඔහුට ගුරුවරයාගේ දියණිය විවාහ කර දෙයි. ඔවුන් ආපසු පැමිණෙන අතර මැද වනාන්තරයකදී ඔවුන්ට දඩයම්කාර රජෙක් සහ ඔහුගේගේ පිරිවක් මුණ ගැසෙයි. දඩයක්කාර රජු කුමරිය සමග ප්‍රේමයෙන් බැඳේ. කුමරිය දඩයක්කරුවන්ගෙන් මාංශ ටිකක් රැගෙන සිය ස්වාමියාට ලබා දෙයි. නමුත් එය පිස නොමැති වන නිසා ආහාරයට ගැනීමට ඔහුට නොහැකි වෙයි. මාංශ දඩයක්කරුවන් වෙත නැවත විසි කරනු ලබයි. දඩයක්කරුවන් මෙම අපහාසයෙන් කෝප වී කුමරාට සටනකට අභියෝග කරයි. මනමේ කුමරා සියලු දඩයක්කරුවන් පරාජය කර අවසානයේදී දඩයක්කාර රජු සමග සටනට සැරසෙයි.

පාවා දීම

එම සටනේ දී කුමරාගේ කඩුව ඔහු අතින් ගිලිහී යන අතර කුමරිය කඩුව අහුලාගෙන දඩයක්කාර රජුට දෙයි. දඩයක්කාර රජු කුමරාට කඩුවෙන් ඇන ඔහු මරා දමයි. දඩයක්කාර රජු කුමරියට ඇයගේ ආභරණ ඉවත් කරන්න කියා කියයි. ඒවා එහා ඉවුරේ තබා ඇයව රැගෙන යාමට පැමිණෙන බව ඔහු කියයි. නමුත් දඩයක්කාර රජු ඇයගේ ආභරණ රැගෙන ඇයට මෙතරම් ආදරය කර සිය සැමියා මරා දමන්න තමන්ට උපකාර කළේ නම්, තමන්ගේ දෛවය ද මෙයට වෙනස් නොවන බව පවසා පිටව යයි. කුමරිය ඇයගේ දෛවය වෙනුවෙන් හඬා වැටෙන විට ශක්‍ර දෙවියා හිවල් වෙසක් ගෙන ගං ඉවුරට පැමිණෙන්නේ කටේ මස් කැබැල්ලක් ද සහිතවයි. හිවලා ගඟේ සිටිනා මාලුවෙක් දැක එයට ලොල් වී කටේ තිබෙනා මස් කැබැල්ල ගඟ අයිනේ තබා ගඟට පැන මාළුවා අල්වන්න යයි. මේ අතරතුර උකුස්සෙක් පැමිණ මස් කැබැල්ල ඩැහැ ගන්නා අතර මාළුවා ගඟ දිගේ පීනා යයි. මෙය දකිනා කුමරිය පහත කවියෙන් හිවලා අමතයි:

ගඟ අසල ඇවිද යන විට දුටු මාළුවාට ගිජු වී
සිය කටේ තිබුණු මස් කැබැල්ල හිවලා අත්හැර දමයි
පියාසර කරනා උකුස්ස එසැනින් පැමිණ මස් කැබැල්ල රැගෙන යයි
මෙලෙස මෝඩ ලෙස ක්‍රියා කරන්නේ නැතිව සිටින්නට ඌ දැන සිටිය යුතුය

මෙයට හිවලා මෙසේ පිළිතුරැ දෙයි:
ඇය මනමේ රජුගේ අග බිසව වුවද
ඇය කැලයේ ඉපදී හැදී වැඩුණු වන රජෙකුට ප්‍රේම කරයි
ඇයගේ වටිනා ආභරණ ගඟෙන් එතෙර වීමට ගොස් නැති කර ගනියි
මට වඩා මෝඩ වැඩකි කුමරිය කළේ

මෙම කතාවේ අවසාන හැරවුම සහ දෙවියන් හා කුමරිය අතර සංවාදය මගින් පැහැදිළි වන්නේ ජීවිතය පිළිබඳව උපේක්ෂාවෙන් බැලීමට ඇති බෞද්ධ ජනයාගේ ආකල්පයයි. කුමරිය විසින් බියෙන් සලිත වී සිය ස්වාමියා පාවා දීම දෙවියන් ‘වැරදි තීරණයක්’ (indiscretion) ලෙස නම් කර මිය ගිය ස්වාමියා ට යළි පණ ලබා දෙයි. ගැමි නාට්‍යයක්, එහි අනවශ්‍ය අංග ඉවත් කර, ඉදිරිපත් කිරීමට විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ගන්නා මෙම උත්සාහය සිංහල වේදිකාව සිනමාව අනුකරණය කිරීමෙන් පාදඩකරණය කිරීමට උත්සාහ කරන සමහර නිෂ්පාදකවරුන්ගෙන් ගැලවීමට සමත් වනු ඇත.

මාටින් වික්‍රමසිංහ


සිංහල පරිවර්තනය: වංගීස සුමනසේකර