No description available.

[Image: “Romeo + Juliet” (1996) dir. Baz Luhrmann]

මේ ලිපි පෙළ ආරම්භ කරන්නේ ලෝක ප්‍රකට නාට්‍ය පිළිබඳ යම් සාරංශයක් සැපයීම උදෙසා ය. එහිදී නිශ්චිත නාට්‍යයක් පිළිබඳ විස්තර කෙරෙන අතර, මූලික වශයෙන් එහි කතා සාරාංශය, හැකි පමණින් සමකාලීන විචාරක අදහස් පිළිබඳ සාහිත්‍ය විමර්ශනයක් හා ඒ පිළිබඳ විචාරාත්මක අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ ගැනේ. ඊට අමතර එම නාට්‍ය මෙරට නිෂ්පාදනය වී ඇති ආකාරයත්, මෙරට සමාජ, දේශපාලන හා සංස්කෘතියට එම නාට්‍ය දක්වන සම්බන්ධය පිළිබඳ කතාබහක්ද මෙහි ඇතළත් කරමි. මේ මගින් නාට්‍ය හා රංග කලාව පිළිබඳ උනන්දුවක් ඇති කියවන්නියන් තුළ යම් උද්යෝගයක් හා සංවාදයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙමි.

‘රෝමියෝ සහ ජුලියට්’ (1595) නාට්‍යය ෂේක්ස්පියර්ගේ නාට්‍ය අතර සාපේක්ෂව සරල නාට්‍යයක් බව එය කියවන්නියකට හෝ එහි නිෂ්පාදනයක් දැක ගන්නා කෙනෙකුට පහසුවෙන් නීර්ණය කළ හැකි ය. එහෙත් නාට්‍යයේ ගලා යෑම හා ගැටුම වර්ධනය වන ආකාරය ඉතා ආකර්ෂණීය ලෙස වින්‍යාසගත කර අතර එහි ඇත්තේ සූක්ෂම ලෙස නිමවන ලද නිරායාස ගුණයකි. ආදරය සම්බන්ධයෙන් එහි ඇති අර්ථකථන, යෙදුම් ලෝක ඉතිහාසයේ ආදරය සම්බන්ධයෙන් ලිය වී ඇති කෘති අතරේ ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර එය පරයා යන වෙනත් කෘතියක් පෙන්වා දීමද කෙනෙකුට ඉතා අපහසු විය හැකි ය. එහෙත් තවත් කෙනෙකුට එය ෂේක්ස්පියර්ගේම ‘ඇන්ටනී සහ ක්ලියෝපැට්රා’ නාට්‍යය පසු කර නො යනවා යැයි නම් කිව හැකිය. කෙසේවෙතත් ‘රෝමියෝ සහ ජුලියට්’ යනු ෂේක්ස්පියර්ගේ ජනප්‍රියම නාට්‍යයක් මෙන්ම ලෝක ඉතිහාසයේ ආදරවන්තයින් වෙත උපමා කිරීමට සමත් මෙම නම් දෙක (රෝමියෝ සහ ජුලියට්) පරයා යන වෙනත් යෙදුමක් මෙතෙක් ඉදිරිපත් වී නොමැත. ෂේක්ස්පියර්ගේ අනෙක් නාට්‍යවලට වඩා – රජ පවුලක් මූලික කර නොගෙන වංශවත් පවුල් දෙකක් මූලික කරගත් නාට්‍යක් ලෙස ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍යය අපට හැඳින්විය හැකිය. එම පවුල් දෙකට වඩා ඉහළින් සිටිනා කුමාරයෙක් වෙයි. මේ පවුල් දෙක හා සමකාලීන අර්ථයෙන් යෞවනයන් අතර ඇති වන ආදරය සබඳතා සම්බන්ධයෙන් කුටුම්භ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය අතර සැලකිය යුතු තරමේ අසමානකම් දැකිය නො හැකිය.

 ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍යයේ කතා සාරාංශය මෙසේය: කැපියුලට් සහ මොන්ටෙගියූ නම් පරම්පරා දෙකක පවුල් දෙකක් වෙරෝනා නගරයේ වාසය කරයි. මෙම පවුල් දෙක එකිනෙකා කෙරෙහි දැරිය නොහැකි තරමේ වෛරයකින් පසු වෙයි. රෝමියෝ මොන්ටෙගියූ පවුලේ පිරිමි දරුවකු වන අතර ජුලියට් කැපියුලට් පවුලේ දියණියයි. ජුලියට්ගේ නිවසේ පැවැත්වෙන සාදයකට වෙස්වලාගෙන ගොස් සහභාගී වන රෝමියෝ, ජුලියට් දැක ඇය කෙරෙහි ආදරයෙක් හටගනියි. නමුත් ඊට ප්‍රථම ඔහු රොසලින් නම් කාන්තාවක් වෙත ආසක්තව සිටියේය. ඒ අතර වැඩිහිටියන්ගේ උනන්දුව මත ජුලියට්ටද එහි වංශවත් කුමාරවරයෙක් වන පැරිස් කුමරු සමග විවාහ වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබුණි. එහෙත් ජුලියට් දැකීමෙන් පසුව රෝමියෝගේ සමස්ත ජීවිතය වෙන් වන්නේ ජුලියට් කෙරෙහි ඇතිවන ආදරය වෙනුවෙනි. ඉන්පසුව ඔවුන් ගෞරවයෙන් පිදුම්ලත් කතෝලික පූජකතුමකු වන ලෝරන්ස් පියතුමා වෙත ගොස් ඔවුන්ගේ ආදරය පිළිබඳ කරුණු හෙළි කර, ඔවුන්ට විවාහ වීමට අවශ්‍ය බව දන්වයි. මේ සඳහා ජුලියට්ගේ නිවසේ සේවය කරන මෙහෙකාරියද උපකාර කරයි. පසුව ඔවුන් රහසිතගතව විවාහ වෙයි. ඒ අතර ජුලියට්ගේ ඥාති සොහොයුරා වන ටයිබෝල්ට් මෙම පවුල් දෙක අතර ඇති වන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස රෝමියෝ අතින් මිය යයි. ඊට දඩුවම් ලෙස රෝමියෝ වෙරෝනා නගරයෙන් පිටුවහල් කිරීමට තීරණය කරයි, නමුත් රෝමියෝ ඊට ප්‍රථම නරගයෙන් පලා යයි. ඉන්පසු කලෙක දී ජුලියට්‌ගේ දෙමව්පියන් ඇයට විවාහ වන ලෙස බල කරයි. යළිත් ඇයට උපකාර කරන මෙන් ජුලියට් ඉහත පූජකවරයාගෙන් ඉල්ලා සිටින අතර ඔහු ඒ සඳහා උපක්‍රමයක් යොදමින් දෙදෙනාටම ව්‍යාජ ලෙස මියයෑම සඳහා ඖෂධයක් ලබා දෙයි. මෙම උපක්‍රමය රෝමියෝට ලිපියකින් දැන්වීමට පූජකවරයා කටයුතු කළත් එය රෝමියෝ අතට එම ලිපිය පත් වන්නේ නැත. නමුත් එය රෝමියෝ අතට පත්වෙතැයි සිතා සිටි ජුලියට් නියමිත වේලාවට යළිත් අවදි විය හැකි ලෙස ඉහත ඖෂධය ලබා ගනිමින් නිද්‍රාශීලී වෙයි. ඇය මිය ගිය පුවත සැල වී කලබලයට පත් වූ රෝමියෝ වෙරෝනා වෙත පැමිණෙයි. ජුලියට් වළ දමා තිබෙන සොහොනට එකම වේලාවක පැමිණෙන පැරිස් සහ රෝමියෝ අතර ගැටුමක් ඇති වෙයි. එහිදී පැරිස් මිය යන අතර, ජුලියට්ගේ මිනී පෙට්ටිය විවෘත කර ඇය මිය ගොස් ඇතැයි සිතා රෝමියෝ එම මොහොතේ සියදිව නසා ගනියි. යළිත් සුළු මොහොතකින් අවදි වන ජුලියට් රෝමියෝගේ වියෝව දැක ඇයද සියදිව නසා ගනියි. මෙම සිදුවීම් පෙළින් පසුව යළිත් මෙවැනි ගැටුම්වලට නොයන්නට සහ සාමයෙන් කල් ගෙවන්නට මෙම පවුල් දෙක එකග වෙයි.

ඉහත කතා සාරාංශයෙන් පසුව දැන් අප ‘රෝමියෝ සහ ජුලියට් නාට්‍ය සම්බන්ධයෙන් පළ කර ඇති ශාස්ත්‍රාලයීය අදහස් කිහිපයක් සැලකිල්ලට ගනිමු. ආරම්භයේදී අප මෙහි සාහිත්‍ය විමර්ශනයක් පිළිබඳ සඳහන් කළද, මෙය පර්යේෂණ ක්‍රමවිද්‍යාව අර්ථයෙන් විධිමත් සාහිත්‍ය විමර්ශනයක් නොවේ. මන්ද එය මෙම රචනාව නිශ්චිත පර්යේෂණයක් ලෙස හෝ එහි ක්‍රමවේදය හා පර්යේෂණ සීමාව තීරණය කර නොමැති නිසාය. එඩ්වින් කේන්ගේ “ROMEO AND JULIET”: A REINTERPRETATION රචනාවෙහි තෝමස් ක්‍රෝවල්ව උපුටමින් ඔහු සඳහන් කරන ආකාරයට, “මැක්බත් හා හැම්ලට් හි මෙන් මෙහි අධ්‍යාත්මික පණිවුඩයක් නැත, මානසික අරගල නැත, වෙහෙසකර චිත්තවේග ගුප්ත විද්‍යාවේ මට්ටම් කරා ළඟා නොවේ.” ඇත්තෙන්ම ෂේක්ස්පියර්ගේ ඉහත නාට්‍ය දෙකද ඇතුළත් ව ඔහුගේ ප්‍රධාන පෙළේ ශෝකාත්ම නාට්‍ය රචනා කරන්නේ ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍ය රචනා කිරීමෙන් පසුවයි. ඔහුගේ අනෙක් ශෝකාත්ම අතර ‘ඇන්ටනී සහ ක්ලියෝපැට්රා’ ට අමතරව ආදරය ප්‍රමුඛ වන නාට්‍යවලට වඩා වෙනත් ආකාරයකට දාර්ශනික සහ දේශපාලනික ප්‍රවේශයක් එම නාට්‍යවල තිබේ. ෂේක්ස්පියර් ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍ය රචනා කිරීමට පෙර රචනා කර තිබුණේ බොහොමයක් සරල හාස්‍ය රැගත් කොමඩි වර්ගයේ නාට්‍ය වේ. එහෙත් ඔහුගේ නාට්‍යවල විවිධ දාර්ශනික දේශපාලනික සංකල්පවල වෙනස් කම් පැවැතියද ඒවා අතර ෂේක්ස්පියර්ගේ කවීත්වයේ උස් පහත්වීම් දැකීම අතිශය අපහසුය. ක්‍රෝවල් අනුව යමින් එඩ්වඩ් සඳහන් කරන ආකාරයට මෙහි එක්තරා අර්ථයකින් දෛවයේ අනිවාර්යතාවක් ඊඩිපස් නාට්‍යයේ මෙන් රෝමියෝ තුළද ක්‍රියාකරයි. එලෙසම රෝමියෝගේ චරිතය හැම්ලට් සමග සමකරන විට රෝමියෝ ඔහුගේ ජීවිතය එතරම් සංකීර්ණතාවලට මුහුණ දෙද්දී ‘හැම්ලට්’ මෙන් යම් කිසි කාංසාභරිත – දාර්ශනික – අර්ථයෙන් ඔහුගේ ස්වාත්මය පිළිබඳ ස්වයං කථනයක් කරනු අපට දැකිය නොහැකි ය. ෂේක්ස්පියර් එවැනි දෑ ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍යයේ මඟහරින්නේ ඔහුට මෙම නාට්‍යයේ සරල බව මත ජනප්‍රියත්වය ඇති කිරීමේ උනන්දුවක් නිසාදැයි සිතිය හැකි ය. නැතිනම් මෙහි වඩා ප්‍රමුඛ වන්නේ ආදරය හා ඒ වටා ගොඩ නැගෙන කතා වින්‍යාසයේ පවතින නෛසර්ගික කුතුහලය නිසා වන්නටද පුළුවන.  

            පෝල් ඒ. කොට්මාන්ගේ Defying the Stars: Tragic Love as the Struggle for Freedom in “Romeo and Juliet” රචනාවේ සඳහන් කරන ආකාරයට රෝමියෝ ග්‍රීක සම්භාව්‍ය වීරයා මෙන් ඔහුගේ ස්වකීයත්වය මුහුණ දෙන අර්බුදකාරී අවසානය – සදාචාරය ගැටලුවක් සමග සම්බන්ධ නොකරයි. උදාහරණයක් ලෙස ‘ඊඩිපස්, ඇන්ටිගනී, ක්‍රියෝන් වැනි චරිත හඳුන්වා දිය හැකි ය. එම චරිත මුහුණපාන ඛේදජනක ඉරණම රැඳී තිබෙන්නේ දැරිය නොහැකි තරමේ සාදාචාරාත්මක උභතෝකෝටිකයක් තුළ ය. මෙහිදී කොට්මාන් මෙම නාට්‍ය අනුව යමින් මතු කරන තවත් වැදගත් කරුණක් වන්නේ පෙම්වතුන්ගේ ලෝකය යනු පවුල, සමාජය, සංස්කෘතිය වැනි දෑ වෙත ඌනනය කිරීම හෝ එම කොන්දේසි මත පවතින යමක් නොවනා බවයි. ඔවුන් වසන්තයේදී ම එම බලවේග නිවා දැමිය යුතුය. සැබැවින්ම ‘රෝමියෝ සහ ජුලියට්’ හි ප්‍රකාශ වන්නේ එවැනි රැඩිකල් තෝරාගැනීමකි. කොට්මාන්ගේ අරමුණ වන්නේ මෙම නාට්‍යයේ ක්‍රියාවලිය නිදහස වෙනුවෙන් වූවක් වෙත දිශානත කිරීමටයි. මේ ආකාරයට ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍ය සම්බන්ධයෙන් දහස් ගණනින් පර්යේෂණ, රචනා හා ලිපි ලියවී ඇති අතර ඒවා විවිධ ප්‍රවේශ ඔස්සේ මේ නාට්‍ය පිළිබඳ සංවාදයට ලක් කර ඇත. ඒ සෑම එකකම නවීනත්වයෙන් හා විවිධත්වයෙන් යුතු අදහස් දක්නට ලැබේ. ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍ය සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නියන් හට කිසිදු අඩුවකින් තොර වූ සාරගර්භ සාහිත්‍යයක් මේ වන විට ලෝකය පුරා පවතින බව කිව හැකි ය.

‘රෝමියෝ සහ ජුලියට්’ හි කිසිසේත් ඛේදයකට ලක් නොවිය යුතු පුද්ගලයින් ඛේදය වෙත ලගා කරවන අපගේ මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක අදිසි බලයක් පිළිබඳ භීතියක් ජනිත කරයි. එම මොහොත අපට පසුකර යා නොහැකි අප ඉක්මවා යන තරමේ බලවේගයක් මත ක්‍රියාත්මක වන්නක් බව අපට ඉඟි කරයි. ‘ඊඩිපස්’ හි සදාචාර ගැටලුව අපගේ මානව ශිෂ්ටාචාරය තුළ අභියෝගයට ලක් කිරීමට ඇති ඓතිහාසියක අපොහොසත්භාවය මත ඊඩිපස් ඛේදයට ලක් වන බව අවසාන අර්ථයෙන් අපට පෙන්වා දිය හැකි වුවත් රෝමියෝ හා ජුලියට් කිනම් ගැටලුවක් මත මේ ඉරණමට මුහුණ දෙන්නේද යන්න පිළිබඳ අපගේ සිත් කම්පා කරවයි. මෙහි පූර්වයෙන් ඇත්තේ අතිශය වෛරී සහගත ලෙස ක්‍රියාත්මක වූ පරම්පරා ගත එදිරිවාදිකමක ප්‍රතිඵලයක් බව අයෙකුට තර්ක කළ හැකි වුවද මේ සිද්ධි දාමය ගලා යන ආකාරය අනුව එම සිදුවීම්වල අහඹුභාවය එම පූර්ව කරුණු සියල්ල ගණනකට ගත නොහැකි තරමේ හේතු බවට පත් කරයි. රෝමියෝගේ හා ජුලියට්ගේ එමෙන්ම පැරිස් කුමරුගේ අභාවයන් වෙත ඔවුන්ගේ පැවැත්ම වෙත එල්ල වන සත්භාවවේදී අනිවාර්යතාව, අහඹුව ලෙස නම් කළ හැක්කේ ඒ නිසා ය. තවත් ආකාරයකට කියන්නේ නම් මෙම සිදුවීම් පිළිවෙල ග්‍රීක ට්‍රැජඩියට අනුව තමුන් විසින් තමුන්ටම පමුණුවා ගන්නා හදිසි, අත්තනෝමතික, ප්‍රමාද දෝෂයක ප්‍රතිඵලයක් නොව, අපගේ ජීවිතය ඉක්මවා යන තරමේ බලවේගයක එනම් සත්භාවවේදී අනිවාර්යතාවක ප්‍රතිඵලයක් බව අපට පෙන්වා දෙයි.

තවත් වැදගත් කරුණක් ලෙස – බ්‍රෙෂ්ට්ට අනුව ෂේක්ස්පියර්ගේ වඩා යථාර්ථවාදී නාට්‍ය වන්නේ ‘රෝමියෝ සහ ජුලියට්ය’. ඊට ප්‍රධාන හේතුවක් ලෙස එහි මායාකාරී, අත්භූත චරිත දක්නට නැත, මනෝ ව්‍යකූලත්වය මත ඇති වන සාංදෘෂ්ටික අරගලයන් නැත. එය අපගේ දෛනික ජීවිතයේ යථාර්ථයට සමීපත්වයක් උසුලන අයුරින් ගලාගෙන යයි.   

බදියුගේ ආදරය සම්බන්ධයෙන් අදහස්වලට අනුව රෝමියෝ, ජුලියට් කෙරෙහි ප්‍රේමයෙන් බැඳීම ‘සිදුවීමක්’ ලෙස පහසුවෙන් පෙන්වා දිය හැකි ය. සිදුවීමක් යනු ඉතාම සරල අර්ථයෙන් යම් තීරණාත්මක සිදුවීමකින් පසුව එම සිදුවීමට පෙර පැවති කොන්දේසි අපට සිතා ගත නොහැකි ලෙස යළි අර්ථකථනය වීමයි. තවත් ආකාරයකට කියන්නේ නම් සිදුවීම ක්‍රියාත්මක වන්නේ මේ ලෝකය තුළයි, නමුත් එම සිදුවීම ඊට පෙර පැවති නීති හා අර්ථකථනවලට නම්‍යශීලී වන්නේ නැත. ප්‍රේමයේදී එවැනි කොන්දේසි පාලනයෙන් තොර වෙයි. රෝමියෝ පළමුව රොසලින් නම් තරුණියක් කෙරෙහි ප්‍රේමයෙන් පසුවන අතර පසුව ඔහු ජුලියට් දැකීමෙන් තමුන්ගේ ජීවිතයේ සියලුම තත්ත්වයන් යළි සකස් කරගන්නා තත්ත්වයට පත් වෙයි. මෙහිදී රොසලින්ගේ චරිතය සමග පවතින්නේ කුමන ආකාරයක ආශාවක්ද – එය ආදරයක් ලෙස හැඳින්වීමට අපහසු වන ආකාරයේ දෙයක් – යන්න ජුලියට් හමුවීමෙන් පසු රෝමියෝගේ චරිතය වෙනස් වන ආකාරයෙන් අපට පැහැදිලි වේ. මන්ද එය කිසිවිටකත් මෙවැනි ආකාරයේ ‘අනතුරකට’ මුහුණ දෙන අභිමුඛ වීමක් නොව යම් ආශාවක් මත පමණක් පවතින දෙයක් බවට මෙම සිදුවීම තුළින් පෙන්වා දෙයි. එමගින් ජුලියට්ගේ ජීවිතයේදී සිදුවීමක් සිදුවන බව අපට පෙනෙයි. ඔවුන්ගේ අර්ථකථන රාමුව තුළ තම පවුල් දෙකෙහි විරසකය ඔවුන්ට අදාළ වන්නේ නැත. එලෙසම ජනප්‍රිය අර්ථයෙන් ආගමික යථාර්ථයද ඊට පක්ෂව කටයුතු නොකරන නමුත් එම සහයෝගය – පවතින නීතිවලට අවනත නොවී – ඔවුන්ගේ ලෝකය තුළ යළි ගොඩ නගා ගනියි. මෙහි තවත් සුවිශේෂ හේතුවක් වන්නේ ක්‍රිස්තියානි ආගමේ නියෝජනය මෙම ප්‍රේමය වෙත කටයුතු කරන ආකාරය යි. එහිදී ආදරය වෙනුවෙන් රෝමියෝ විසින් ටයිබෝල්ට්ව මැරීම, දෙමව්පියන් මුලා කිරීම, දෙමව්පියන්ගෙන් තොරව විවාහ ගිවිස ගැනීම වැනි ආකාරයේ කටයුතු යුක්ති යුක්ත කරයි. යුක්තිය යනු කුමක්ද? යන ප්‍රශ්නය මෙහිදී තීරණය වන්නේ අව්‍යාජ ආදරය මත පිහිටාය. ආදරය සියල්ලට ඉහළින් තිබෙනා දෙයයි. කථා වින්‍යාසය දිගහැරෙන්නේද රෝමියෝ හා ජුලියට්ගේ එකතු වීම සාක්ෂාත් කරනා අර්ථයෙනි. තවත් ආකාරයකට කියන්නේ නම් මෙම ආදර කතාන්දරය තුළ රෝමියෝ සහ ජුලියට් ඇතුළුව පස් දෙනෙකු මිය යයි. මෙම මිය ගිය පස්දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම යනු මෙම ප්‍රේමනීය කතා පුවත විසින් ඉල්ලා සිටින ආදරය පිළිබඳ අදහස උත්කර්ෂයට නැංවීම පමණක් බව කෙනෙකු පැවසිය හැකිය. තවත් ආකාරයකට කියන්නේ නම් අපට බදියූගේ අදහසක් එයට අනුව මෙසේ ලිවිය හැකිය: බදියානු අර්ථයෙන් – රිම්බෝර්ඩ් කවියා අනුව යමින් – ඔවුන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ප්‍රේමය යළි නිපද විය යුතුය.

                 මෙහිදී බදියූගේ ‘ප්‍රේමය පසසනු වස්’ (පරි. කෞෂල්‍ය කුමාරසිංහ සහ විදුර මුණසිංහ (2013) සංහිඳ ප්‍රකාශන) කෘතියෙහි ‘රෝමියෝ සහ ජුලියට්’ පිළිබඳ විශේෂයෙන් සඳහන් වේ. ඒ බදියූගේ ‘දෙක’ නම් සංකල්පය පැහැදිලි කිරීමේදීය. එමගින් උත්සාහ කරන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙකක (දෙක) අභිමුඛ වීම ප්‍රේමයේ අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එනම් ප්‍රේමය මගින් අතිශය බලසම්පන්න, විසම්බන්ධිත ප්‍රවේශ දෙකක් එකක් ලෙස නියෝජනය වීම නම් රැඩිකල් පෙරළිය සිදු කරයි.

            මේ තිබෙන්නේ රෝමියෝ, ජුලියට්ව දකින පළමු මොහොතේ ඔහුගේ මුවට ෂේක්ස්පියර් නැංවූ වදන් පෙළයි.

O, she doth teach the torches to burn bright!

It seems she hangs upon the cheek of night

As a rich jewel in an Ethiop’s ear—

Beauty too rich for use, for Earth too dear.

So shows a snowy dove trooping with crows

As yonder lady o’er her fellows shows.

The measure done, I’ll watch her place of stand

And, touching hers, make blessèd my rude hand.

Did my heart love till now? Forswear it, sight,

For I ne’er saw true beauty till this night. (1.5. 50 – 60)

            බදියුට අනුව ‘ප්‍රේමය පසසනු වස් හි ඉහත සඳහන් කළ පරිවර්තනය’: “ජීවිතය යළි නිපදවීම සඳහා වන පොරොන්දුව තෘප්ත කරනු ඇති ය යන අදහස මුලින් ම සන්නිවේදනය කරනු ලබන්නේ ශරීරය මගිනි. සිය වියරු විභ්‍රාන්තීන්හි දී පවා සිය ශරීරයන්හි ආරක්ෂක දේවදූතයා ලෙස ප්‍රේමය පවතින බව ප්‍රේමවන්තයින් දැනගන්නේ ඔවුන් උදෑසන අවදි වන විට, ප්‍රේමය ප්‍රකාශයට පත්වීම ඔවුන්ගේ ශරීර විසින් ග්‍රහණය කරගත් බවට සාක්ෂි මතින් ශාන්ත බව ගලා බසින විටය.”

            ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍ය මෙරට මෑතකදී ප්‍රසිද්ධ වේදිකාවේ නිෂ්පාදනය වූයේ නැත. ඉංග්‍රීසි වේදිකාව හා පාසල් නාට්‍ය තරගවල විටින් විට රඟදැක්වූවද මෙරට රංග කලා ඉතිහාසය තුළ එය අනෙක් පරිවර්තන නාට්‍ය තරම් ජනප්‍රිය නිෂ්පාදන අපට දැකගන්නට ලැබෙන්නේ නැත. මෙහි සිංහල පරිවර්තනයක් ලෙස දැනට හමුවන්නේ බන්ධුල විතානගේ පරිවර්තනයයි. (තවත් පරිවර්තන තිබිය හැකිය) එහෙත් ලෝක ප්‍රකට නාට්‍ය සමාගම් මීට වසර සිය ගණනකට පෙර සිටම නොවනවත්වා මෙම නාට්‍ය ඔවුන්ගේ රංග ශාලා තුළ රංගගත කරයි. ඉතාම මෑතකදී පවා ලෝක ප්‍රකට නාට්‍ය සමාගම් කිහිපයක් ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍යයේ නිෂ්පාදන කිහිපයක් සිදු කළෝය. ඒ අතර ඉතා කැපී පෙනෙන නිෂ්පාදන සංකල්පයක් වූයේ (මෙහි නිෂ්පාදන සංකල්පය පමණක් සොයාගත හැකි වූ අතර නිෂ්පාදනයක් සිදු වී ඇතිද යන්න සොයාගැනීමට අපහසුය https://akromeoandjulietconcept.weebly.com/index.html) එහිදී කැපියුලට් සහ මොන්ටෙගියූ පවුල් දෙක ඊශ්‍රායලය හා පලස්තීනයට සමාන කරමින්; රෝමියෝ පලස්තීන පුරවැසියෙක් ලෙස හඳුනා ගනිමින් දක්වා තිබූ නිෂ්පාදන සංකල්පයයි. එහි රෝමියෝ පිටුවහල් කරන්නේ සවුදි අරාබියේ පිහිටි සංක්‍රමණික කඳුවරුකටය. නාට්‍ය රංගගත වන්නේ ජෙරුසෙලමේ වීදියකය. මේ ආකාරයට මෙම රටවල් දෙක අතර පවතින ඓතිහාසික ගැටුම ‘රෝමියෝ සහ ජුලියට්’ වෙත මනාව ආරෝපණය කර, සංකල්ප ගත කර තිබේ. 

            මේ අර්ථයෙන් විලියම් ෂේක්ස්පියර්ගේ ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍යය පිළිබඳ අපට ආදරය සම්බන්ධයෙන් කරනා සංවාදයක් ඔස්සේ ඉදිරියට ගෙන යා හැකි ය. එහෙත් ඒ සමගම එය දේශපාලනය, සමාජ සංස්කෘතිය, මනෝවිද්‍යාව, රංග කලාව, සාහිත්‍ය, ආගම, සදාචාරය වැනි බොහෝ ප්‍රවේශ ඔස්සේ නවීන අර්ථකථන සැපයිය හැකි මූලාශ්‍රයක් ලෙස පෙන්වා දිය හැකි ය. මෙරට ජනප්‍රිය සංස්කෘතිය මගින් ගොඩනගා ඇති ආදරය පිළිබඳ සංවාදයකට අභියෝගාත්මක අව්‍යාජ ප්‍රතිචාරයක් ලෙස ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍ය හැඳින්විය හැකි ය. එම නිසා එම සංවාදය ඉදිරියට ගෙන යාම සැබැවින්ම මෙරට ආදරය පිළිබඳ සංවාදය තව දුරටත් වර්ධනය කිරීමට සුවිශේෂ බලපෑමක් සිදු කරනු ඇත.

රංග මනුප්‍රිය