May be a black-and-white image of nature

[Image: Peter Hujar, “Stromboli”; gelatin silver print (1963)]

මා සිතන්නේ අප ‘මිනිසා විසින් ඇති කරන ලද දේශගුණ විපර්යාස’ නිසා බිහිසුණු පරිසර අර්බුදයක් මුවදොරේ තිබෙනවා යන්න සම්බන්ධයෙන් එතරම් සැකයක් තවදුරටත් නොමැති බවයි. මේ අර්බුදය හමුවේ අප ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන න්‍යායික සංවාදයේ මූලික පාර්ශව දෙකක් හඳුනා ගත හැකිය. එක් පාර්ශවයක් යෝජනා කරන ආකාරයට මෙමගින් අප අධි පරිභෝජනවාදය ප්‍රතික්ෂේප කර එක්තරා පූර්ව-නූතන සංරක්ෂණවාදයක් වෙත යා යුතුය. අප අපේ පැවැත්මේ පරිමිතත්වය පිළිගෙන, මේ විශාල ලෝකයේ පුංචි කොටසක් පමණක් බව පිළිගෙන, සරල ජීවිතයක් වෙත යාමට පුරුදු විය යුතුය.

දෙවෙනි පාර්ශවයට අනුව අප අධි පරිභෝජනවාදය ප්‍රතික්ෂේප කිරීම මෙහිදී අනිවාර්යය බව සත්‍යයක් වුවත් මෙම අර්බුදයට කිසි සේත් හුදෙකලා පුද්ගල තලයේ විසඳුම් නොමැති වේ. ඒ වෙනුවට මෙහිදී අප කළ යුත්තේ පෘථිවියේ පරිපාලකයන් ලෙස අපට හිමි වගකීම විවෘතව පිළිගෙන මහා පරිමාන ප්‍රතිසංස්කරණ සිදු කිරීමයි. නමුත් එහිදී, න්‍යායික තලය තුළ, අපට අපගේ පැවැත්ම තවත් හුදු පරිමිත පැවැත්මක් ලෙස පමණක් අර්ථකථනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඒ වෙනුවට අප, ජෛවීය අර්ථයෙන් අනෙක් ජීවීන් හා සම ලෙස පරිමිත බව පැහැදිළි වුවත්, සිතන්නන් ලෙස මෙම ජෛවීය පරිමිතත්වය ඉක්මවා යන සදාකාලිකත්වයක් වටහා ගැනීමට විභවාත්මක ලෙස සමත් වන්නන් බවත් පැහැදිළි වේ.

අවම වශයෙන්, මෙම නිශ්චිත ගැටලුව හමුවේ නම් පරිමිතවාදීන් වෙනුවට අපරිමිතවාදීන් වඩා සාර්ථක බව පැහැදිළි වේ. නුදුරු අනාගතයේ දී පරිසර අර්බුදයක් ඇති විය හැකි නම් සහ එය අපට ඉක්මනින් ක්‍රියාත්මක වුවහොත් වැළක්විය හැකි නම්, එය තනි තනි පුද්ගලයන් ලෙස (ටොෆි කොළ පාරේ දමන්නේ නැතිව කුණු බක්කි වලට දමා ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන්) කළ නොහැකි වේ. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ හදිසි, තීරණාත්මක, දැවැන්ත ප්‍රතිපත්තිමය මැදිහත්වීම් ය.

නමුත් මේ විවාදයට අපට තවත් එක් කරුණක් එකතු කළ හැකිය කියා සිතමි. ඒ, අප වැනි රටවල් වල දේශපාලන ක්‍රියාකාරිත්වයේ සීමාකාරී බව පෙන්වීමයි. සත්‍ය වශයෙන්ම මෙවැනි විශාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී ලංකාව වැනි රටවල් වල ආණ්ඩුවට කළ හැකි දේ අතිශය සීමා සහිත වේ. නිදර්ශනයක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් රටවල් සියල්ල නිශ්චිත සහ විශාල පාරිසරික ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළහොත් ලංකාව වැනි රටවල් වල ආණ්ඩු වලට තිබෙන්නේ ඒවාට එකඟ වීම පමණි.

අනෙක් අතට මෙහි විලෝමයද මේ ලෙසම වලංගු වෙයි: මෙවැනි ප්‍රතිපත්තිමය තීරණ නොගන්නවා යනු ද තනි තනි ජාතීන් වශයෙන් නොව මානව වර්ගයා – සහ පොදුවේ ජෛවීය පැවැත්ම – ලෙස මුහුණ දිය ප්‍රශ්නයකට පැමිණෙනවා යන්නයි. ධනවත් ජාතියක් වූ පමණින් මෙවැනි ප්‍රශ්නයකින් කිසිවෙක්ට ගැලවීමක් ලැබෙන්නේ නැත (එන්නත් ගැසීමෙන් ‘තමන් බේරීමට’ උත්සාහ ගත් ඇමරිකාව ඇතුළු රටවල් වලට ඩෙල්ටා ප්‍රභේදය කියා දෙන බරපතල පාඩම වන්නේ ද මෙයයි).

මේ කරුණු දෙකින්ම – එනම්, කුඩා ජාතික රාජ්‍යයන්ට ජාතික තලයේ තීරණ ගැනීමේ නොහැකියාව සහ බලවත් ජාතික රාජ්‍යයන්ට පොදු යහපත සැලකිල්ලට ගැනීම අනිවාර්යය වීම යන කරුණු දෙකෙන්ම – පැහැදිළි වන්නේ දේශපාලනය අවසාන අර්ථයේදී ජාතිකවාදී නොව ජාත්‍යන්තරවාදී වීම අනිවාර්යය වන බවයි. ලොව පුරා ජාතිකවාදීන් යනු පරිසර අර්බුදය ප්‍රතික්ෂේප කරන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නන් වීම, මෙම නිසා, පුදුමයට කරුණක් නොවේ.

වංගීස සුමනසේකර