No description available.

Jukka Siikala, ‘Soya Sausages’, oil on canvas, 62 x 62 cm, 2012 – 2014

පහතින් තිබෙන්නේ චූලානන්ද සමරනායක සහෝදරයා සිය උපන්දිනය වෙනුවෙන් තැබූ ෆේස්බුක් සටහනකි. එය මෙසේ බෙදා ගන්නේ ‘බව’ කියවන හිතවතුන්ට ප්‍රයෝජනවත් වනවා කියා අප සිතු නිසා සහ බ්ලොග් අවකාශයේ එය ඉතිරි කිරීම ප්‍රයෝජනවත් කියා සිතු නිසාය.

***

ගෙවූ කාලය වැඩි ය. ගෙවන්නට ඇති කාලය සීමිතය. එසේම එය අවිනිශ්චිත ය. 1989 දෙසැම්බර් මස 09 වන දින මහරගම එවක තිබූ මානෙල් හෝටලය ඉදිරිපිට මිනිසුන් බලා සිටියදී හිසට පිස්තෝලයක් එල්ල කර සුදු පැහැ ටොයෝටා වැගනයකට තල්ලු කරනු ලදුව, කොළඹ ‘බෞද්ධාලෝක මාවතේ’ රජයේ නිල නිවාසයක පවත්වාගෙන යනු ලැබූ වධකාගාරයක බිත්ති මුල්ලකට හේත්තු කර හිසට පිස්තෝලයක සීතල කොන තබා ‘මරණයට සූදානම් වෙයං’ යනුවෙන් කියූ ඒ අඳුරු නිමේෂයට පසු ගෙවෙන සෑම දිනයක්ම අතිරික්ත කාලයකි. ඒ අතිරික්ත කාලය ඇරඹෙනුයේ ‘නවත්තපං, නවත්තපං ඕඩරේ වෙනස් වුනා.’ යනුවෙන් එහි දිව ආ තවත් අයෙක් විසින් පිස්තෝලය දැරූ අත ඉවත ඇදීමත් සමගිනි. ඉදින් මේ මුලු දිවියෙහි පනස් හය වසරක් සපිරුණු අවස්ථාවයි. අතිරික්ත දිවියෙහි වසර තිස් දෙකක් දෙසැම්බර් 09ට සම්පූර්ණ වනු ඇත. ඊයේට යෙදුන උපන් දිනයට සුහද සිතින් සුබ පැතූ සියලුම සහෘදයන්ට ස්තුතියි.

ගෙවී ගිය මුළු කාලය පුරාම මා දුටුවේ පඩියෙන් පඩිය ඉහලට ඇදෙනා රටක් නොව පඩියෙන් පඩිය පහලට ඇදෙනා රටකි. නිදහස ලබන විට ජපානයට පමණක් දෙවෙනි වන තත්වයක සිටි රටක් වූ අපි දැන් අභිමානවත් ලෙස බංග්ලාදේශයෙන්ද ණය ලබා ගන්නා සාඩම්බර වර්තමානයක හිමිකරුවන්ව සිටිමු. මේ නිදහසින් පසු දශක හතකට අධික අපේ ඉතිහාසයෙහි ශේෂ පත්රමයයි. එදා සිට අද දක්වා අප පාලනය කළේ සහ කරන්නේ යයි කියනා දේශපාලකයන්ගේ කෙරුවාවෙහි තරමයි. එසේම එය ඡන්දදායකයා යයි කියනා පුරවැසියාගේ දේශපාලන අඥානභාවයෙහි තරම කියාපානා මිණුම් දණ්ඩද වෙයි.දැන් ඉතිං ජීවත් වන්නට වෙන රටක් සොයා ගැනීමට කාලය හරි යයි කියනා කතාවල් වැඩි වැඩියෙන් ඇසෙනා වර්තමානයක් අපට උරුමව තිබේ. අපොස උසස් පෙල හමාර කරනා සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් කල්පනා කරනුයේ කෙසේ හෝ සංවර්ධිත යයි සැලකෙන රටකට සංක්රතමණය වීමක් පිලිබඳවය. දෙමවුපියන්ගේ දෛනික උදාන පාඨය වෙමින් තිබෙනුයේද අපිට නොහොම වුනත් දරුවන්ටවත් යා ගන්න ලැබුනොත් යන්නයි. ඒ අතර මීට පෙර එසේ සංවර්ධිත යයි කියූ රටවලට යා ගත් බහුතරයක් එහි සිට ලෝකෙන් උතුම් රට ලංකාව යයි කියමින් නිවාඩුවට පමණක් මෙහි එමින් මේ රට සංවර්ධනය කරන්නට ආර්ථික ඝාතකයන්ට සහය පල කරන්නැයි අපට උපදෙස් දෙති.

අප හරියට උස පැනීමේ තරගයකට සහභාගි වන්නන් මෙනි. උස තීරණය කරනා කනු දෙකෙහි එක පදෙක චීනය සිටගෙන සිටියි. අනෙක් කනුව අසල ඇමරිකාව ඉන්දියාව ඇතුළු බටහිර ලෝකය සිටියි. ඔවුහු අප පැනිය යුතු උස තීරණය කරමින් හරස් දණ්ඩ ඉහලට ඉහලටම දමති. අපි දිව විත් උඩ පැන එහි හැපී හොම්බ කට සමතලා කරගනිමින් සිටිමු. ඒ අතර කනු දෙක පාලනය කරනා දෙපාර්ශවයට දේශපාලකයෝ තට්ටු මාරුවට තේ පැනින් සලකමින් හයියෙන් හයියෙන් තව සැරයක් තව සැරයක් වීරිය කරපාං යයි කියමින් අප ඇදවැටෙන සෑම වාරයක් පාසා අත්පොලසන් දෙති.උපයා ගත් ආකාරය හෙලි කළ නොහැකි මුදල් සාධාරණ කාසි බවට පත් කිරීමට සියයට එකක ‘ඉතා අධික බද්දක්’ නියම කරනා පාලනයක කෙරුමෙක් වන බන්දුල ඇමති රුපියල් ලක්ෂයකට වඩා උපයන අයහට මාසයකට සියයට පහක ‘සුළු බද්දක්’ පැනවිය යුතු යයි යෝජනා කරයි. ඒ අතර තවත් කෙරුමෙක් අපට වේල් දෙකක් කා පටි තද කරගන්නය යෝජනා කරයි. ඒ අප කන වේලද වේල් කාලකටත් වඩා පහල මට්ටමක පවතින විටය. බඩු තොග සඟවනා මුදලාලිලාගේ බඩු තොග මුදල් ගෙවා ගනිමින් ඔවුන්ට දඬුවම් කරන ආකාරයද අපි දැන් අත් දකිමින් සිටිමු. මෙයට කියන්නෙ සංවර්ධනය සඳහා වන ආර්ථික විද්යාවව කියාය.

කොළඹ සිට ගාල්ලට යන්නෙකුට දෙහිවල පසු කර මදක් ඉදිරියට යද්දී පාරේ දකුණු පස සුන්දර බිම් කඩක් දැකිය හැකිය. ඒ බිම් කඩ ඉදිරිපිට අභිරමණීය ප්රඇවේශ ද්වාරයකි. පසෙක එහි නම දිදුලන අකුරින් දක්නට ලැබෙයි. බිම් කඩ ඇතුලෙහි විවිධ නම් වග වාසගම් සහිත සොහොන් කොත් ය. බිම් කඩෙහි නම බෙහෙවින් සංකේතාත්තමකය. ‘නිසල සෙවණ’පසුගිය කාලය පුරා අපේ පලාත් පාලන ආයතන විසින් කරන ලද මහඟුම සේවය මෙය ලෙස සැලකිය හැකිය. ඔවුහු අපට අවම තරමින් මරණය සුන්දර බව පසක් කරමින් සිටිති. සෑම සුසාන භූමියකම පාහේ ඉදිවෙන ආදාහනාගාර මරණය කෙතරම් සුන්දරද යනුවෙන් අපට පවසයි. පුරවැසියාට ජීවිතය දීමට අසමත් දේශපාලකයන් අවම තරමින් අපට සුන්දර ආදාහනයකට හෝ ඉඩ සැලසීම ගැන අප කෘතඥ විය යුතුය. ජීවිතය අසුන්දර වනවිට අවම තරමින් මරණයවත් ආකර්ශණීය කිරීම කෙතරම් වටනේද. හිට්ලර් තිරශ්චීනයෙකු වන්නේ මරණයද අසුන්දර කිරීම හේතුවෙනි. ඉදින් නිදහසින් පසු අප ලබා ඇති සංවර්ධනය ගැන අපට සතුටු විය නොහැකිද?

මම වරෙක මෙසේ ලිවීමි.’Sri Lanka is a bunEaten by everyone.’

සහෘදයිනි, සුබ පැතුම් වලට යළිත් තුති. ජීවිතය නරකාදියක් නොවන වග විටින් විට සිහිපත් වනුයේ සුහද මිනිසුන්ගේ ඇසුර විසිනි. අවම කොන්දේසි යටතේ ඉදිරියට එක් පියවරක් හෝ තබමු. ඒ පියවර ඉක්මනින්ම වල් පඳුරින් වැසී යා හැකි වුවද අපට පියවරක් ඉදිරියට නොතබා සිටින්නට එය නිදහසට හේතුවක් නොවේ. ඔවුන්ට විනාශ කරන්නට හැකියාව තිබේ. එහෙත් එක්සත් වන්නේ නම් ගොඩනැගීමට අපට ඊටත් වඩා හැකියාව තිබේ.

චූලානන්ද සමරනායක