No description available.

Image: Uditha Chirantha Ekanayake, Untitled, 2021

ඡායාරූපයක් කියන්නේ ඉක්මනින් වෙනස් වෙන, වෙනස් වීමට හැකි පවත්නා ලෝකය එක මොහොතකට නතර කරන එක. අවම වශයෙන් පවත්නා ලෝකය අපට දෘශ්‍යමාන වෙන විදියෙන් ඒක මොහොතකට නතර කරන එක. වෙනස් වීමේ හැකියාව සහිත ලෝකයේ වෙනස් වීමේ හැකියාව මොහොතකට නතර කරනවා. පැවැත්ම කියන්නේ වෙනස් වීමේ හැකියාව කියන මෙයසියානු අර්ථයෙන් ගත්තොත් ඡායාරූපය කරන්නේ ලෝකයෙන් එම පැවැත්ම ඉවත් කිරීම කියල අපිට කියන්න පුළුවන්. ඡායාරූපයේ තියෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියල අපි දන්නවා. ඡායාරූපය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල ඡායාරූපය කියන පැවැත්මට අයිති වෙන දේවල්. නමුත් එම පැවැත්ම මගින් ආරම්භයේ දී අපට පෙන්වන නිශ්චිත මොහොත අපිට හමුවන්නේ එහි පැවැත්ම අහිමි කරගෙන, තවදුරටත් වෙනස් වීමේ හැකියාව අහිමි මොහොතක රූපයක් විදියට.

නමුත් ඒ නිසාම අපිට ඡායාරූපයක පැවැත්ම පුරෝකථනය කරන්න පුළුවන්. මේ මොහොතට පෙර ලෝකය සහ මේ මොහොතට පසු ලෝකය වියහැකිව තිබුනේ කෙසේ ද? මිනිස්සු ඉන්න ඡායාරූප වල මේක බොහොම පහසුවෙන් හඳුන ගන්න පුළුවන්. ‘මේ කොයි කාලේද? මේ කොහෙද?’ අපි බොහෝ වෙලාවට යාලුවන්ගෙන් මෙහෙම අහනවා. අපි උත්සාහ කරන්නේ එම නිශ්චිත මොහොත ලෙස ගොඩනැගුනු අතීතය සහ එම මොහොතින් පසුව ගොඩ නැගුනු අනාගතය ගැන හිතන්න. මේ නිසාම ඡායාරූප ඉතිහාසය එක්ක සමීපව බැඳිලා තියෙනවා කියලත් අපිට මේකෙන් කියන්න පුළුවන්. ඡායාරූපය කියන්නේ ඉතිහාසය ගලා ගිය ආකාරය අපට සමපේක්ෂණය කරන්න තියෙන සාක්ෂියක්. එතකොට අපට වෙනස් වීමේ හැකියාව ක්‍රියාත්මක වූ ආකාරය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. නමුත් මේකෙන් අපට අනාගතය ගැන ඉගෙන ගැනීමට අවසාන සහතිකයක් දෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් ඡායාරූපයක් අපේ වර්තමාන සමග දැඩි සම්බන්ධයක් හදනවා. එමගින් අප ඉදිරියේ තබන මොහොත, එයට පෙර කාලය සහ එයට පසු කාලය ලෙස අප සිදු කරන සමපේක්ෂණය, සියල්ල අයිති වෙන්නේ අපේ වර්තමානයේ සිට අතීතයටයි. එම අර්ථයෙන් ඡායාරූපය පවතින්නේ එහි අහිමි කරන ලද පැවැත්මක් සහිත මොහොතේ රූපය වර්තමානයක අතීතයට සම්බන්ධ කිරීමයි. එමගින් එය අපේ අතීතයේ කොටසක් බවට පත් වී විකල්ප පැවැත්මක් ලෙස පරීක්ෂාවට ලක් වේ. එම අතීතය මගේ අතීතය හා සමපාත වන්නේ කෙසේද කියා අප විමසා බලයි – එය අපට සමීපද? එය අපට දුරස්ද? එමගින් අප දුකට පත් කරන්නේ නම් එම අතීතය අප හා සම්බන්ධ වන්නේ කෙසේද? සතුටට පත් කරන්නේ නම් එය වන්නේ කෙසේද? ඡායාරූපයක පැවැත්ම මූලික වශයෙන් සකස් වන්නේ මෙම සංකීර්ණ කාලික සම්බන්ධතා ජාලය ලෙසයි. එය අපට අතීතයක පැවැත්ම අපගේ පැවැත්මේ කාලික අතීතයේ ලෝකය සමග එකතු වී අපේ වර්තමානය සමග අර්ථකථන සම්බන්ධයකට යයි.

එකම සීමාව වන්නේ මෙමගින් අපට අනාගතය ගැන ස්ථිර නිගමනයක් ලබා නොදීමයි. අපට අතීතය පරීක්ෂා කර බැලීමෙන්, අපේ අතීතය මෙන්ම ඡායාරූපය මගින් පෙන්වන කාලයේ මොහොතට පෙර අතීතය සහ එයට පසු අතීතය පරීක්ෂා කර බැලීමෙන් අනාගතය සම්බන්ධයෙන් නිශ්චිත දෙයක් කියනෙන් නැහැ. යම් යම් දේවල් කියන්න පුළුවන්. අපේ අනාගතය ගැන ඉඟි දෙන්න පුළුවන්. නමුත් ඡායාරූපයකට අනාගතය කවදාවත් ග්‍රහණය කර ගන්න බැහැ. ඒ නිසාම ඒ මගින් අපිට අනාගතය ගැන බොහෝ දේවල් කියන්න ඉඩ දෙන්නේ නැහැ.

නමුත් ඡායාරූපය කියන පැවැත්ම අනාගතය සමග දක්වන සම්බන්ධය මේකට සීමා කරන්න බැරි නිශ්චිත හේතුවක් තියෙනවා. ඒ තමයි ඡායාරූපයේ පැවැත්ම ගැන අපට තවත් එකතු කිරීමක් කළ හැකි වීම. ඒ තමයි ඡායාරූපයකට සෞන්දර්යාත්මක ගුණයක් එකතු කළ හැකි වීම. එහිදී අප උත්සාහ කරන්නේ අප විසින් නතර කරනු ලබන පැවැත්මේ මොහොත අතිරික්ත සුන්දරත්වයක් ජනනය කිරීමටයි. එහිදී එක අතකින් අප ඡායාරූප මාධ්‍යයේ ආකෘතික විභවතා පරීක්ෂා කර බැලිය යුතුය. එම අර්ථයෙන් අපට එය ලෝකය දෙස බැලීමට නව මානයක් විවර කර දෙයි. එම මානය ඔස්සේ, අනෙක් අතට, අපට හමුවන්නේ පවත්නා ලෝකයේ අනපේක්ෂිත සුන්දරත්වයකි. එම අර්ථයෙන් අපට එය ලෝකය තුළ තිබෙනා විස්මිත විශාලත්වය පෙන්වා දෙයි. මින් අදහස් වන්නේ මෙය අනිවාර්යයෙන් සෞන්දර්යවාදී සීමාවක සිරවිය යුතු බව නොවේ. මෙම ව්‍යුහාත්මක කරුණම අපට පවත්නා දෙයෙහි ඇති සුන්දරත්වය නිසා වැසී තිබෙන අසුන්දරත්වයකට වුවද අදාළ කරගත හැක. එහිදී ඡායාරූපය දැනුවත්ව සිදු කරන්නේ අතිරික්ත අසුන්දරත්වයක් ජනනය කිරීමටයි. එමගින් අපට ලෝකයේ අනපේක්ෂිත අසුන්දරත්වයක්, ගැටලුවක්, අසාධාරණයක් පෙන්විය හැකිය. මේ කුමන අර්ථයෙන් ගත්ත ද එහි තිබෙන්නේ ඡායාරූප මාධ්‍යයේ ආකෘතික ගවේෂණයක් ඔස්සේ පවත්නා ලෝකය විශාලනය කර පෙන්වීමකි.

පොදුවේ ඡායාරූපයක පැවැත්ම හා සම්බන්ධ ඉහත කාලික සම්බන්ධතා ජාලය මෙවැනි හැකියාවක් සමග සම්බන්ධ කළ විට සංකීර්ණ පරීක්ෂණ කළ හැකි බව පැහැදිළි වෙයි. එහිදී එක් ඡායාරූපයක් වර්තමානයන් බොහෝ ගණනක් සමග, පුද්ගලික අතීතයන් බොහෝ ගණනක් සමග කාලයේ මොහොතක් සම්බන්ධ කළ හැකිය. එය සාමූහිකත්වයේ මානයක් අප අතර ඇති කරයි. සමාජ මාධ්‍ය වල පොදුවේ බෙදා ගැනෙන ඡායාරූප මගින් අපට හෙළි කරන්නේ මෙම හැකියාවයි. දින කීපයකට වරක් ජනප්‍රිය ලෝකයේ මිනිසුන්, විශේෂයෙන් දේශපාලකයන් සම්බන්ධයෙන් අදාළ වන විවිධ ඡායාරූප මෙසේ සංසරණය වෙයි. ඒ මගින් අප පොදු ලෝකයක්, අලුත් දෘශ්‍යමානයන් රැසක් ගොඩ නගා ගනියි. මෙම ප්‍රායෝගික ගුණයේ කලාත්මක මෙන්ම දේශපාලනික විභවයන් තිබේ ද? මේ අපට ඡායාරූපයේ පැවැත්ම පිළිබඳව සාකච්ඡාවක් ඔස්සේ මතු කළ හැකි එක් ප්‍රශ්නයකි. සමහරවිට ඡායාරූපය කියන පැවැත්ම අනාගතය සමග පැවැත්විය හැකි සම්බන්ධය නිවැරදිව වටහා ගන්න අපට තීරණාත්මක වෙන්නේ මේ ප්‍රශ්නයට උත්තරයක් දීම විය හැකියි.

වංගීස සුමනසේකර