කණාගාටුවෙන් වුවද ජෙහාන් අප්පුහාමිගේ අව්‍යාජ අභිවහන ක්‍රියාවලියේ අවසානය සනිටුහන් කරන මොහොතේ එම ස්ථානයේ සිටීමට නොහැකි වීම අරගලය තුළ ලැබිය හැකි අත්දැකීම් අතරින් ඉතාම වටිනා කොටසක් අහිමි වීමකි. අපගේ ජීවිතවල සිතිජය අර්ථවිරහිතත්වය වන විට මෙවැනි ආකාරයේ අභිවහන ක්‍රියා මගින් එදිනෙදා ජීවිතයේ බොළඳ කතාවෙන් වැසී පවතින මෙම සිතිජිය අපට නිරාවරණය කරයි. එම අර්ථයෙන් ජෙහාන්ගේ මෙම වෑයම අතිශය ආකර්ෂණීය වන වා සේම එමගින් ශිෂ්ටත්වයේ සහ ආචාර්ධාර්මිකත්වයේ පාරිශුද්ධ මොහොතක් පිළිබඳ අපට ඉගි කරයි. ඒ ලෙසම පාස්කු ඉරිදා දින සිදු වූ මෙම ම්ලේජ්ච ප්‍රහාරයේ චූදිතයන්ට එහි වරදකාරීත්වය තියුණු ලෙස අභිමුඛ කරවීමටත්, එමගින් පීඩාවට පත් වින්දිතයන්ට කුමන හෝ දුරකින් වුව තිබෙනා බලාපොරොත්තුවේ මොහොතක් අභිමුඛ කිරීමත් තිබේ.

මේ සියල්ලට වඩා අපට විශේෂයෙන් වැදගත් වන දෙයක් ද තිබේ. ඒ ජෙහාන් මෙතනදී නැවත විවෘත කරන මරණයට පත් වූවන්ට යුක්තිය ඉටු කිරීමේ අරමුණ සම්බන්ධ ගැටලුවයි. සම්ප්‍රදායික ඒකදේවවාදයන්ගෙන් කිතු දහම වෙන් වන්නේ එමගින් ‘අමුතු සෙල්ලමක්’ කරනා නිසා බව අපි දනිමු. ලෝකයේ තිබෙනා අනේකවිධ අයුක්තිසහගත දේ දෙවියන් ඉවසන්නේ ඇයිද යන ප්‍රශ්නයට ක්‍රිස්තියානිය දෙන පිළිතුර වන්නේ දෙවියන් ද එම අයුක්තියට අප හා සම ලෙස මුහුණ දෙනවා කියා ප්‍රකාශ කිරීමයි. සරල අර්ථයෙන්, සර්ව බලධාරී දෙවියන්ට ද එහිදී අපට වගේම ‘කෙලවෙනවා’ කියා ක්‍රිස්තියානිය යෝජනා කරයි. එනිසා දෙවියන් ද මහා දුකක් විඳ දරා අප ඉදිරියේ මිය යයි. එනිසා අපට ද දෙවියන් වගේ අපා දුක් විඳ කවදා හෝ ස්වර්ගයට යාමට හැකිය කියා නැවත බලාපොරොත්තුවක් ලැබෙයි. අප සැවොම ‘කුරුසය කර තබා’ යා යුතුය. දෙවියන්ද යටත් වූ දෙවියන්ගේ නීතිය වන්නේ මෙයයි.

එම දෙවියන්ගෙන් අප යුක්තිය බලාපොරොත්තු වන්නේ කෙසේද? කිතු දහම අපට යෝජනා කරන්නේ විශ්වාස කිරීම පමණි. අප දෙවියන් දුක් විඳ අවසානයේ දී මරණයෙන් නැගී සිටියා කියා විශ්වාස කළ යුතුය. එම විශ්වාස කරන්නන් ලෙස අපට ද සාමූහිකව එකතු විය හැකිය. වසර දෙදහසක් පමණක් පසුවත් අපි තවමත් කුරුසය කර තබා යමු.

නමුත් මේ ‘සැලැස්ම’ විශ්වාස කළ හැකිද? එසේත් නැතිනම් අප එකතු වී – නොබියව – අනාගතය සැලසුම් කළ යුතු ද? අපට තිබෙන්නේ දෙවැනි තෝරා ගැනීම බව එන්න එන්නම පැහැදිළි වෙයි. ‘සැලැස්ම’ අප සෑදිය යුතුය. නමුත් මෙම සැලැස්ම පදනම් විය හැක්කේ ‘මරණයට පත් වූවන්’ හට යුක්තිය ඉටු වන්නේ නම් පමණි. කාදිනල් තුමන්ට ද මෙහිදී දෙවියන්ගේ යුක්තිය පිළිබඳව විශ්වාසය එතරම් නිරවුල් නොවන නිසාදෝ ලෞකික යුක්තියක් වෙනුවෙන් සටන් කළ යුතු බව කියයි. යා යුතු දුර බොහෝ ය. ජෙහාන් පෙන්වන්නේ මෙය ද?