[ඡායාරූපය ගෝඨාගෝගම පරිශ්‍රයේ මුල්ලිවයික්කාල් සැමරුමේ මොහොතකි – ෆේස්බුක් හී පල වී තිබුණි.]

මෙවැනි දේ දැන් පවත්නා දේශපාලන සාකච්ඡාව සඳහා ඍජුව අදාළ වනවා කියා එක්වරම නොපෙනී ගිය ද සමහර සරල කරුණු මෙවැනි සන්දර්භයක සටහන් කර තිබීම වැදගත් වෙයි. දැවැන්ත දේශපාලන මොහොතක් අප පසුකරමින් සිටිනා නිසා මෙවැනි අවස්ථාවන් වලින් පසුවා මේවා දෙස පසුවිපරමක් කිරීමට සමහර මූලික සංකල්ප වැදගත් වෙයි.

ආත්මය යන සංකල්පය මෙලෙස වැදගත් වන එක් අදහසකි. මෙම සංකල්පය තේරුම් ගැනීමේ සරලම ආකෘතිය වන්නේ පූජකයා යන්නයි. මනුෂ්‍යයෙක් පූජකයෙක් වන්නේ ඇයි? මෙයට සරල පිළිතුර වන්නේ ඔහුට හෝ ඇයට හෝ අනුව කිසියම් නිශ්චිත ආගමික කතිකාවක් මගින් මානව විමුක්තිය යෝජනා කිරීමයි. මානව විමුක්තියට වඩා උත්තරීතර වූ කිසිවක් තිබිය නොහැකි වන හෙයින් ඒ වෙනුවෙන් ‘සාමාන්‍ය ජීවිතය’ අත්හැරීමට එකඟ වීම අපට තේරුම් ගත හැක.

සාමාන්‍යයෙන් දේශපාලනය කරන චරිත අප මේ ආකාරයට හඳුනා ගන්නේ නැත. විශේෂයෙන් වෘත්තීය දේශපාලනඥයන් අප මෙවැනි ආකෘතියකින් හඳුනා ගන්නේ නැත. නමුත් ප්‍රංශ විප්ලවයෙන් පසුව ගත වූ සියවස් දෙකකට වැඩි කාලය තුළ අප ආගමේ පූජකයා නොවන තවත් මෙවැනි ආකාරයේ චරිතයක් අපට ඓතිහාසිකව හමුවෙයි. එම චරිතය වන්නේ දේශපාලන සටන්කාමියා (political militant) යන්නයි. මාක්ස්වාදය යනු මෙම දේශපාලන සටන්කාමීත්වයේ චරිතය දරා සිටි ඓතිහාසික කතිකාවේ ප්‍රමුඛ අඩංගුවයි. නමුත් මෙහි මූලික ආකෘතිය ඉහත පූජකයා සමග දක්වන සමානාත්වයක් තිබේ. ඒ මේ චරිත දෙකම ‘මානව විමුක්තිය’ වෙනුවෙන් පෙනී සිටීමයි. පූජකයා හා සම ලෙස ‘පූර්ණ-කාලීනයකු’ බිහි කිරීමට නූතන දේශපාලනය සමත් වෙයි. එම චරිතය ද සාමාන්‍ය ජීවිතය කැප කරන්නේ මානව විමුක්තියේ – මෙවර එය දේශපාලනය තුළ පරිසමාප්ත වන්නක් ලෙස තෙරුන් ගනියි – අවසානය ළඟා වන තුරුය.

මෙම චරිතය සාමාන්‍යයෙන් දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිනා මිනිසාගෙන් වෙනස් වන බව ද පැහැදිළි විය යුතුය. එවැනි චරිත අපට මානව ඉතිහාසය පුරා දැක ගත හැකි වන්නේ මිනිසුන් දේශපාලනිකව සටන් කිරීම මානව ඉතිහාසය පුරා දැක ගත හැකි නිසාය. නමුත් නූතන දේශපාලන සටන්කාමියා යන චරිතය මෙයින් වෙනස් වන්නේ එය එලෙස ඉඳ හිට සිදුකරන අරගලයක් වෙනුවෙන් සිටිනා චරිතයක් නොවන නිසාය. ඒ වෙනුවට මේ සිටින්නේ ද පූජකයා හා සම ලෙස සාමාන්‍ය ජීවිතය ‘අභිනිෂ්ක්‍රමණය’ කළ චරිතයකි. එහිදී මේ චරිතය සහ සාමාන්‍ය මිනිසා අතර සම්බන්ධය ද පූජකයා සහ ආගමේ ලෞකික භක්තිවන්තයා අතර සම්බන්ධය හා සම කළ හැක. සාමාන්‍ය මිනිසුන් දේශපාලනිකව නැගී සිටි විට එයට නායකත්වය දෙන්නේ මේ ‘පෙරටුගාමී’ චරිතයයි. නැවතත් මේ සමානත්වය තිබෙන්නේ දෙකම මානව විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනා නිසාය.

මානව විමුක්තිය පිළිබඳව දැක්වෙන මෙවැනි අදහස් අපට සාර්වාත්‍රිකයන් (universals) ලෙස නම් කළ හැක. එය සාර්වාත්‍රික වන්නේ ඒවා මගින් පොදුවේ මිනිස් වර්ගයාට විමුක්තිය පොරොන්දු වන නිසාය. මේ අනුව අපට මෙවැනි නිගමනයකට ද පැමිණිය හැකිය: ආත්මයන් ඇති වීම සඳහා සාර්වාත්‍රිකයක් අවශ්‍ය වෙයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් ආත්මයන් බිහි වන්නේ සාර්වාත්‍රිකයක් තුළ කෙනෙක් සිතන මොහොතක දී පමණි.

මෙහිදී අපට මෙවැනි ප්‍රශ්න ටිකක් ඉතිරි වෙයි. ආගමික සාර්වත්‍රිකය මගින් විමුක්තිය පොරොන්දු වන්නේ එම ආගමේ මිනිසුන්ට පමණි. වෙනත් ආකාරයකට කියන්නේ නම් එමගින් විමුක්තිය ලැබීමට නම් කෙනෙක් දෙවියන් හෝ නිවන හෝ වැනි අදහසක් පළමුවෙන් විශ්වාස කළ යුතුය. ඉන් පසුව එමගින් යෝජිත විමුක්තිය අපට ළඟා කරගත හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම විමුක්තිය ලැබීම සඳහා කෙනෙක් පළමුවෙන් භක්තිවන්තයන්ගේ ප්‍රජාවට ඇතුලත් විය යුතුය.

අනෙක් අතට දේශපාලන සාර්වත්‍රිකය මගින් සියලු මිනිසුන්ට විමුක්තිය පොරොන්දු වෙයි. මේ සඳහා කෙනෙක් පළමුවෙන් පක්ෂ සාමාජිකත්වය ගැනීම අනිවාර්යය නොවේ. පක්ෂ සාමාජිකත්වය ගත්ත ද නැති වුව ද එමගින් උත්පාද කරන විමුක්තිය පොදුවේ මානව වර්ගයාට උරුම වෙයි. නමුත් මෙහි තිබෙනා සීමාව වන්නේ මෙය සෑම විටම දැනට ජීවත් වන මිනිසුන්ට පමණක් සීමා වන විමුක්තියක් වීමයි. අතීතයේ මිය ගිය මිනිසුන්, විශේෂයෙන් ඉතාම අසාධාරණ ලෙස ජීවිතය අහිමි වූ මිනිසුන් ලෙස අප හඳුනා ගන්නා මිනිසුන් සඳහා දේශපාලන සාර්වත්‍රිකයට විමුක්තිය ලබා දිය නොහැක. අපට අතීත මිනිසුන් සැමරීම කළ හැකි වුවත් ඒ වෙනුවෙන් කණගාටු වීම, ශෝකය පළ කිරීම, ඔවුන්ගේ මතකය ඉතිරි කිරීම, ඔවුන්ගේ බිහිසුණු ඉරණම ගැන සංවාදයක් ඇති කිරීම, නැවත කිසිදා මෙවැනි දෙයක් නොවීමට වග බලා ගැනීම ආදිය කළ හැකි වුවත් මේ සියල්ල අදාළ වන්නේ වර්තමානයේ තවදුරටත් ජීවත් වන මිනිසුන්ට මිස අතීතයේ මිය ගිය මිනිසුන්ට නොවේ. ඔවුන් වෙනුවෙන් සත්‍යය වශයෙන්ම දේශපාලන සාර්වත්‍රිකය තුළ කළ හැකි දෙයක් නැත. ඔවුන්ට යුක්තිය ඉටු කර දීම දේශපාලන ආත්මයේ ශක්‍යතාවයෙන් ඔබ්බෙහි තිබේ.

මෙය ආගමික සාර්වත්‍රිකය තුළ මෙසේ නොවන බව මතක තබා ගැනීම වැදගත් වෙයි. ආගමික සාර්වත්‍රිකය තුළ මිය ගිය මිනිසුන් හට යුක්තිය ඉටු වීමට ඉඩ ඉතිරි වෙයි. ඔවුන්ට තවත් අවස්ථාවක් සහ අවසානයේ විමුක්තියක් තවමත් උරුම වෙයි. නමුත්, අනෙක් අතට, ආගමික සාර්වත්‍රිකය මගින් විමුක්තිය ලැබිය හැක්කේ කෙනෙක් එම විමුක්ති මග විශ්වාස කරන්නට එකඟ වන්නේ නම් පමණි. එනිසා එහි මගහැරිය නොහැකි වාර්ගික පක්ෂපාතීත්වයක් තිබේ. එනිසාම එය සැබෑ සාර්වත්‍රිකයක් ලෙස අපට සිතිය නොහැක. අනෙක් අතට, දේශපාලන සාර්වත්‍රිකය මගින් සියලු මිනිසුන්ට විමුක්තිය පොරොන්දු වේ. සියලු මිනිසුන් සමානයෝ වෙති යන්න නූතන දේශපාලන සාර්වත්‍රිකයේ සමාරම්භක ප්‍රස්තූතයයි. නමුත් මෙය සෑම විටම අදාළ වන්නේ දැනටමත් ජීවත් වන මිනිසුන්ට සහ අනාගතයේ ඉපදෙන මිනිසුන්ට පමණි. එම අර්ථයෙන් දේශපාලන සාර්වත්‍රිකය ද සීමා සහිත බව අපට පෙනී යයි. ආගමික සාර්වත්‍රිකයට සාපේක්ෂව දේශපාලන සාර්වත්‍රිකයේ ආවරණ කලාපය කුඩා වෙයි.

ආත්මයක් යනු සාර්වත්‍රිකයක් තුළ සිතීම යන ඉහත ස්ථාවරය අනුව ගත්විට අපට තවමත් සැබෑ ආත්මයක්, සත්‍ය ආත්මයක් ගොඩ නැගීමට නොහැකි වී තිබෙනවා කියා මේ මගින් නිගමනය කිරීම අපහසු නොවේ. නමුත් මේ මොහොතේ අපට තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙයයි: දේශපාලනික විමුක්තිය පිළිබඳව අදහස පරිපූර්ණ නොවනා බව අප පිළිගන්නේ නම්, ‘පරිසමාප්ත සමාජයක්’ වෙනුවට දේශපාලනය නෛසර්ගිකව අසම්පූර්ණ වනවා කියා අප පිළිගන්නේ නම්, මෙවැනි දේශපාලනයක් සඳහා සාර්වත්‍රිකවාදයක් අවශ්‍ය වූයේ ඇයි?

මෙයට තිබෙනා එක් – තරමක් උද්දච්ච – පිළිතුරක් වන්නේ මාක්ස් ගේ සිතීම විසිවෙනි සියවසේ ‘පශ්චාත්-පදනම්කාරී’ දර්ශනවාදයන් තරම් වර්ධිත මට්ටමකට පැමිණි නැති බවයි.

නමුත් මෙයට තිබෙනා වඩාත් වැදගත් පිළිතුරක් වන්නේ මෙවැනි විමුක්තිවාදයක සහසම්බන්ධිතයක් නොවන ලෙස අපට (පරිමිත) ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පමණක් හුදෙකලා කොට සිතිය නොහැකි බවයි. ‘බටහිර ඉවුරේ දර්ශනය’ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ පිරිස සිදු කරන පොදු දාර්ශනික අධ්‍යයනයන් දිශානත වන්නේ මේ දෙවැනි පිළිතුර වටාය. මේ සටහන තැබුවේ එම අධ්‍යයනයන් අනාගතයේ එළි දක්නා විට, මෙම අරගලය වෙත ඒවා සම්බන්ධ වන ආකාරය දැනට ලකුණු කර තැබීම වෙනුවෙනි.