අප සිතනා ආකාරයට මෙය 90 දශකයේ රොහානියානු සහ X දේශපාලන කතිකාවේ හානිකර උරුමයකි. ‘ආදරය’ මිනිසාගේ පැවැත්ම සම්බන්ධයෙන් අතිශයින් කේන්ද්‍රීය ප්‍රපංචයක් කියා පිළිගැනීමේ කිසිදු අපහසුවක් නොමැති වුවත් එය දේශපාලනය සම්බන්ධයෙන් අදාළ වන ප්‍රවර්ගයක් නොවේ. එහිදී, සැකයකින් තොරවම, කේන්ද්‍රීය වන්නේ ‘යුක්තිය’ යන ප්‍රවර්ගයයි.

අපට අවශ්‍ය වන්නේ හැමෝටම ආදරය කරන ලෝකයක් නොවේ. සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ සෑම කෙනෙකුටම ආදරය කරනවා යනු විකාර සහගත අදහසකි. අප අසල සිටිනා මුස්ලිම් මිනිසාට අප ‘ආදරය’ කළ යුතු නැත. අවශ්‍ය වන්නේ ඔහුට ‘තම්බියා’, ‘මරක්කලයා’ කියා අපහාස නොකරමින්, ඔහුට සමානයෙක් සේ ජීවත් විය හැකි අවකාශයක් නිර්මාණය කිරීමයි. ඔහු සමග ගෞරවනීය දුරස්ථ බවක් තබා ගත හැකි අවකාශයක් නිර්මාණය කිරීමයි.

සත්‍ය වශයෙන්ම දේශපාලනයට ආදරය බාධාවක් ද විය හැක. මිනිසුන් ආදරය නිසා රටවල්, විප්ලව, දේශපාලන සංවිධාන පාවා දිය හැක. ආදරය පිළිබඳව රෝහානියානු-X කතිකාව පසුකාලීනව කරගසාගෙන ගිය චින්තන ධර්මදාස වැනි අයගේ දේශපාලන දැක්ම දැන් හොඳින් හෙළිදරව් වී තිබෙනා නිසා මෙය දැන් අනුභූතිකව ද පරාජය වී ඇති සටන් පාඨයකි. රනිල් වික්‍රමසිංහ වැනි රාජ්‍ය යන්ත්‍රණයේ දිග පළල ගැන මනා අවබෝධයක් ඇති ප්‍රතිවාදියෙක් සමග සටන් කරන විට මේ දේශපාලන ලොලිපොප් කාරයන් දේශපාලනය දන්නවා කියා විශ්වාස කිරීම අතිශය භයානක විය හැකිය.