ඡායාරූපය නලින් ද සිල්වා මහතා ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී

‘පාරභෞතික විද්‍යාව’ ලෙස සිංහලට දැමිය හැකි metaphysics යන වචනය ලංකාවේ බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගන්නා වචනයකි. මේ සඳහා තිබුණු ඉතාම නරක ආකාරයේ පරිවර්තනයක් වූයේ මෙය ‘මනස්ගාත’ වනවා යන්නයි. එයට අනුව භෞතික ලෝකය (physical world) ගැන මනසින් සිතා ගන්නා දේ පාරභෞතිකවේදය (metaphysics) වෙයි.

නමුත් metaphysics යන්න සඳහා තිබෙනා මේ ව්‍යාකූල අවබෝධය ලංකාවේ වරදක් පමණක් නොවේ. සමහරවිට, සත්‍ය වශයෙන්ම, මෙය දර්ශනයේ ඉතිහාසයේ එන වඩාත්ම ව්‍යාකූල වචනය වීමට ද ඉඩ තිබේ. මෙයට හේතුව වන්නේ මෙය දාර්ශනිකයෙක් විසින් නිර්මාණය කළ සංකල්පයක් නොව සංස්කාරකවරයෙක් විසින් නිර්මාණය කළ වචනයක් වීමයි. ජනප්‍රිය කතාවට අනුව මෙම වචනය ආරම්භ වන්නේ රෝඩ්ස් හී ඇන්ඩ්රෝනිකස් (Andronicus of Rhodes) විසින් ක්‍රි.පූ. 60 දී පමණ සිදු කරන ඇරිස්ටෝටල්ගේ කෘති වල නව සංස්කරණයක් සමගිනි (අද අපි බහුලව යොදා ගන්නා ඇරිස්ටෝටල් ගේ කෘති එකතුව වන්නේ මෙයයි). එහිදී ඔහු විසින් එයට පෙර අප්‍රකාශිතව තිබූ ඇරිස්ටෝටල්ගේ ලිවීම් ‘Metaphysics’ (ග්‍රීක යෙදුම: τὰ μετὰ τὰ φυσικά ) යන හිසින්, පොතක් වශයෙන් එකතු කරයි. එම පොත සඳහා ඔහු ලබා දෙන සරල අර්ථය වන්නේ ‘භෞතික ලෝකය ගැන ලිවීම් වලට පසුව එන’ යන අර්ථයයි.

මේ අනුව metaphysics යනු සිය දර්ශනය හැඳින්වීම සඳහා ඇරිස්ටෝටල් යොදා ගත් නාමකරණයක් නොවේ. ඔහු ගේ දර්ශනය හෝ, එයට පෙර ප්ලේටෝ ගේ නැතිනම් පාමනයිඩීස් ගේ දර්ශනය අප metaphysics යනුවෙන් හඳුන්වන බව ඔවුන් කිසිවෙක් දැන සිටියේ නැත.

අනෙක් අතට ඇරිස්ටෝටලියානුවාදය කේන්ද්‍රීය දර්ශනවාදය ලෙස ස්ථාපිත වීමත් සමග මේ වචනය අර්ථකථනය කිරීම අතිශය සංකීර්ණ ගැටලුවක් බවට පත්වෙයි. මෙහි මූලික ගැටලුව වන්නේ meta යන වචනය මගින් අදහස් වන්නේ ‘පසුව පැමිණෙන’, ‘දෙවැනියට පැමිණෙන’ යන්න වීමයි. නමුත් metaphysics යන්න මූලික වශයෙන් යොදා ගත්තේ ඇරිස්ටෝටල් විසින් first philosophy (මුල් දර්ශනය) ලෙස නම් කළ දර්ශනය හැඳින්වීමටයි. එමගින් අදහස් කළේ, පුළුල් අර්ථයෙන් ගත්විට, සදාකාලික සහ අනිවාර්යය මූලධර්ම යන්නයි. ඇරිස්ටෝටල්ට අනුව ‘දෙවියන්’ පිළිබඳව සිතීම අයත් වූයේ මේ වෙතයි. මෙයට පරස්පරව second philosophy ලෙස නම් කළේ අපේ චලනය වන වස්තු සහිත සංවේදනීය භෞතික ලෝකයයි. පළමු දර්ශනය මගින් කරන්නේ දෙවැනි දර්ශනය මගින් අධ්‍යයනය කරනා වස්තු හැසිරෙන මූලික මූලධර්ම සහ ඒවායේ සැබෑ පදනම කුමක්ද කියා සොයා ගැනීමයි.

මේ අනුව අපට ඇරිස්ටෝටලියානුවාදයේ සංකීර්ණතම ගැටලුව කුමක්ද කියා පැහැදිළි වෙයි: ‘පළමු දර්ශනය’, ‘දෙවැනි දර්ශනයට’ පසුව පැමිණෙනවා යන විකාරරූපී අදහස අප තේරුම් ගන්නේ කෙසේ ද? Metaphysics යන වචනය අතිශය අමුතු ඓතිහාසික පදනම මෙයයි. ඇරිස්ටෝටල් ගේ දෙවැනි පරම්පරාවේ අනුගාමිකයන් මේ සඳහා ඇරිස්ටෝටලියානු ඥානවිභාගයේ ඇති විවිධ විභේදන යොදා ගැනීමට උත්සාහ කරයි. ඉන් පසුව, ඇක්වයිනාස් මෙන්ම කාන්ට් ද උත්සාහ කරන්නේ, meta යන වචනයේ ද්වී අරුත වන ‘පසුව’ (‘after’) සහ ‘ඔබ්බෙහි’ (beyond) යන්න එක් කිරීමටයි.

ඇරිස්ටෝටල්ගේ දර්ශනය සම්බන්ධයෙන් මෙය සාධාරණ අර්ථකථනයක් ද යන්න තීරණය කිරීම සංකීර්ණ අර්ථකථන ගැටලුවකි. විවිධ ඇරිස්ටෝටල් විශේෂඥයන් මේ ගැන විවිධ මත දරයි. සමහරුන්ට අනුව metaphysics යන අදහස ඇරිස්ටෝටල් විසින් ද යොදා ගත්තා කියා සිතීමට සාධාරණ සාක්ෂි තිබේ. සමහරුන්ට අනුව මෙයට කිසිදු ඉඩක් තිබිය නොහැකි වේ.

මේ අර්ථකථන ගැටලුව කෙසේ විසඳුවත් අපට එක් කරුණක් පැහැදිළි වෙයි. දර්ශනයේ කේන්ද්‍රීය බෙදීම ලෙස අපට metaphysics සහ non-metaphysics යන්න හඳුන්වා දිය හැකිය. ඇරිස්ටෝටල්ට – සහ ඔහුට පෙර ප්ලේටෝට සහ පාමනයිඩීස්ට – සමාන්තරව සහ ඔවුන්ට මුළුමනින් පරස්පර ලෙස ග්‍රීක සංශයවාදය විසින් ප්‍රතික්ෂේප කරන්නේ මෙලෙස භෞතික ලෝකයට ඔබ්බෙන් වූ අනිවාර්යය සහ සදාකාලික මූලධර්ම වෙත ළඟා වීමට ඇති හැකියාවයි. අප දන්නා දේ හරි වීම ද වැරදි වීම ද, හරි සහ වැරදි වීම ද, හරි ද නොවී වැරදිද නොවී තිබීමට හැකි බව පයිරෝ විසින් කියා සිටියේ ඇරිස්ටෝටල්ට ද පෙරයි. දර්ශනයේ ඉතිහාසය යනු මෙම දැනුමේ හැකියාව සහ දැනුමේ නොහැකියාව අතර සිදු වූ අකණ්ඩ අරගලයකි.

සරදම්කාරී ලෙස metaphysics යන අහඹු නම වෙනුවෙන් පෙනී සිටියේ අනිවාර්යයතාවයන් වෙත දැනුමින් ළඟා විය හැකිය කියා ප්‍රකාශ කරනා පාර්ශවයයි. එනිසා metaphysics යනු මනස්ගාත නොවනවා මෙන්ම එය කිසි සේත්ම එය කිසි සේත්ම භෞතිකය ගැන සිතීම ද නොවේ. ඒ වෙනුවට එය භෞතික, සංවේදී ලෝකයට ඔබ්බෙන් ඇති සදාකාලිකත්වය සහ අනිවාර්යයතාවයන් පිළිබඳව සිතීමයි. එම නිසාම දර්ශනයේ ඉතිහාසය පුරා දැනුමේ හැකියාව සැක කළ, දැනුම බොරු කියා තහවුරු කරන්න උත්සාහ කරනා සංශයවාදීන්ට පාරභෞතික විද්‍යාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා වැටහෙන්නේ නැත.

එම නිසාම අද දවසේ අපගේ දාර්ශනික සටන්පාඨය ලෙස අපි මෙය යෝජනා කරමු: පාරභෞතික විද්‍යාවේ උරුමය වෙනුවෙන් සකලවිධ සංශයවාදීන්ට එරෙහිව පෙනී සිටීමු!

ප. ලි. දේශපාලනය සංශයවාදී විය යුතුය කියා අප කියනා බව අපට අමතක වූයේ හෝ මෙයට පරස්පර වන්නේ හෝ නැති බව සලකන්න.