Image: Jagath Weerasinghe, “Yantra Gala and the round pilgrimage”; installation comprising oil on canvas with collage, wood, resin, unfired clay, gold leaf, wheat, earth (1999)

(1) ජාතිය සම්බන්ධ අදහස සම්බන්ධයෙන් අපේ රටේ සාමාජීය විද්‍යාවන් හී ආධිපත්‍යධාරී තිසීසය වන්නේ එය 19 වැනි සියවසේ ගොඩනැංවීමක් බවයි. මෙම ගොඩනැංවීම්වාදය 80 දශකයේ නැග ආ පශ්චාත්නූතනවාදයන් වල දාර්ශනික අර්ථකථය සම්බන්ධ තරමක් ඌණිත කියවීමක් මත පදනම් වනවා කියා අපි සිතමු.

(2) ජාතිය පිළිබඳව අපගේ වර්තමාන අර්ථය යටත්විජිතවාදය, මුද්‍රණ තාක්ෂණයේ වර්ධනය, යටත්විජිත අධ්‍යාපනය සහ සාක්ෂරතාවය වැඩි වීම, ඒ මත පදනම් වූ පියදාස සිරිසේන වැනි අයගේ සාහිත්‍යය, අනගාරික ධර්මපාල ගේ ප්‍රකාශන, ජෝන් ද සිල්වා ගේ නාට්‍ය, යටත්විජිත ප්‍රතිසංස්කරණ හමුවේ ජන සංගණන සහ ප්‍රජා වර්ගීකරණයන් ඇති වීම ආදිය තීරණාත්මක සාධක බව අවිවාදිත වුවත් මෙය මුළුමනින් ‘සම්ප්‍රදායක් අලුතෙන් සොයා ගැනීම’ (‘invention of tradition’) යන අර්ථයෙන් තේරුම් ගත හැකි වනවා කියා අප සිතන්නේ නැත.

(3) නිරා වික්‍රමසිංහ වැනි කෙනෙක් ගේ ලිවීම් වල මෙම ගොඩනැංවීම්වාදයේ සීමාවන් හඳුනා ගන්නේ වුවත් මෙහි මූලයන් සහ අකණ්ඩතාවය පිළිබඳව අදහස තරමක් අඩු අවධානමක් ලබනවා කියා කිව හැකිය. සමහරවිට මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රයෝජනවත් දත්ත තිබෙන්නේ මයිකල් රොබට්ස් ගේ ලිවීම් වල විය හැකිය (ඔහුගේ නිගමන වලට එකඟ නොවූවද). එහිදී විශේෂයෙන් වැදගත් වන්නේ ජාතිය පිළිබඳව අදහස විසින් ගලවුම්කරණවාදී කාලයක් (messianic time) යෝජනා කරනවා කියා මයිකල් රොබට්ස් සිදු කරන යෝජනාවයි (මෙය ඔහු ගන්නේ බෙනඩික්ට් ඇන්ඩර්සන් ගෙනි – ඇන්ඩර්සන් ගේ මූලාශ්‍රය ලෙස වෝල්ටර් බෙන්ජමින් සැලකිය හැක).

(4) යටත්විජිත සන්දර්භය තුළ ජාතිකවාදය විසින් ප්‍රගතශීලී භූමිකාවක් ඉටු කරන ලද්දේ නම් ඒ සඳහා ජාතිය පිළිබඳව මෙම ගලවුම්කරණවාදී අදහස තීරණාත්මක වනවා කියා අපි සිතමු. සරල අර්ථයෙන් මෙමගින් අදහස් වන්නේ සිංහලයා යනු බුදු දහම ආරක්ෂා කරන සහ ඒ වෙනුවෙන් මෙම භූමිය ආරකෂා කරන ඓතිහාසික තෝරා ගත් ප්‍රජාවක් වන බවත්, කාලයෙන් කාලයට එයට මුහුණ දීමට සිදුවන්නේ එකම ව්‍යුහාත්මක ප්‍රතිවාදියෙක්ට බවත් ය (මෙය තව පැහැදිළි කළ යුතුය – කටු සටහනක් ලෙස මෙය සලකන්න).

(5) මාක්ස්වාදය යනු ද මේ ආකාරයේ මෙසායනික කාලයක් පිළිබඳව නමුත් මුළුමනින් ලෞකිකවාදී වන සිතීමක් සහ ව්‍යවහාරයක් ගොනු කිරීමට ගත් උත්සාහයකි. එම අර්ථයෙන් ගත්විට එමගින් සිදු කළේ ජාතිකවාදය ප්‍රතික්ෂේප කිරීම නොව එය තවත් ඉදිරියට ගෙන යාම කියා අපි කියමු. යටත්විජිත විරෝධී ජාතිකවාදී අරගලය නම් සුවිශේෂ ඓතිහාසික සන්දර්භයෙන් තොරව ජාතිකවාදයට ප්‍රගතශීලී දේශපාලනික භූමිකාවක් නැති බව පැහැදිළි වේ. ඉන් පසුව එයට උරුම වන්නේ පාලක දෘෂ්ඨිවාදයක් වීමට පමණි. නමුත් යටත්විජිත අනෙකා ගේ ‘ව්‍යාජ දෙවියන්ට’ එරෙහිව අප ගේ ‘සැබෑ ගැලවුම’ පිළිබඳව අදහස වෙත දේශපාලනිකව ප්‍රගතශීලී භූමිකාවක් ලැබෙන්නේ යටත් විජිත පාලනය විසින් යටපත් කරන ලද පීඩිත ප්‍රජාවක් ලෙස සිංහලයා සැලකිය හැකි නිසාය. නමුත් මෙම සැබෑ දේශපාලන අභිලාශ සමග ජාතිකවාදයේ සම්බන්ධය ගොඩනැගීමට එහි මෙසායනිකවාදය තීරණාත්මක වූවා කියා අපි කියමු (මෙතනදී මයිකල් රොබට්ස්ට එරෙහිව අප සිතන්නේ මෙය හොඳ දෙයක් බවයි).

(6) නමුත් එය මාක්ස්වාදය මෙන් නොව මුළුමනින් ආගමික වූ සහ එනිසාම පූර්ව-නූතන වූ මෙසායනිකවාදයකි. පරණ වචන වලින් කියන්නේ නම්, එය ආගමික භක්තිය මත පදනම් වූ දෘෂ්ඨිවාදයක් මිස විද්‍යාත්මක දර්ශනයක් නොවේ (මෙහිදී ‘විද්‍යාව’ යන්න ස්වභාවික විද්‍යාවක් ලෙස නොව එම වචනය ජර්මන් විඥානවාදීන් විසින් භාවිතා කළ Wissenschaftslehre යන අර්ථයෙන් යොදා ගැනෙයි). එම නිසා එය යටත්විජිතවාදයේ දේශපාලන පීඩනය ඉවත් කළ සැනින් නැවත ඉතා පහසුවෙන් එය පෙර තිබූ ආකාරයට පාලක දෘෂ්ඨිවාදය බවට පත්වෙයි.

(7) නමුත් මාක්ස්වාදයේ අවසානයට පසු ජාතිකවාදයේ මෙසායනිකවාදය සඳහා විකල්පයක් නිර්මාණය කිරීමට අපට හැකි වී නැත. ජාතිකවාදයේ මෙසායනිකවාදය විශේෂයෙන් බෞද්ධ ආගමික සංස්ථාවන් ආදිය සමග රාජ්‍ය දෘෂ්ඨිවාදයක් ලෙස අකණ්ඩව පවතියි. නමුත් එයට සාර්ථක ලෙස ජනයා මොබිලයිස් කළ හැකි වන්නේ සැබෑ ප්‍රතිවාදියෙක් ගේ භෞතික තර්ජනයක් හමුවේ පමණි (එල්ටීටීඊ සංවිධානයට එරෙහිව මෙරට වර්ධනය වූ ජාතිකවාදය මෙහි දැනට හමුවන අවසාන ප්‍රකාශමානවීමයි. එවැන්නක් නොමැති විට මෙය ශාෆි ගේ වඳ සැත්කම් වැනි ලෝක විහිළු බවට පහසුවෙන් පත්වෙයි).

(8) ජාතිකවාදයේ මෙසායනිකවාදය නියෝජනය කරන්න උත්සාහ කළ අවසාන චින්තකයා වන්නේ නලින් ද සිල්වා ය. අප ඔහු සම්බන්ධයෙන් විශේෂයෙන් උනන්දු වූයේ එම ආගමික මෙසායනිකවාදය වෙත ඔහු තල්ලු වීම පශ්චාත්-පොපරියානු විද්‍යාවේ දර්ශනයේ ඥානවිභාගාත්මක සිතාබැලීම් ඔස්සේ සිදු වීමයි. එනිසා ඥානවිභාගාත්මක ප්‍රශ්න කිරීම් සහ ආගමික භක්තියේ දේශපාලනය අතර සුවිශේෂ ඓතිහාසික නිදර්ශනයක් ලෙස ඔහු සැලකිය හැක. නමුත් මේ මෙසායනිකවාදය රාජ්‍ය දෘෂ්ඨිවාදයක් බවට පත්වූ සැනින් දේශපාලනිකව විමුක්තිවාදී වන්නේ නැත. එනිසාම ඉතා පහසුවෙන් එහි තිබූ ඓතිහාසික ප්‍රගතශීලී ස්වරූපය අහිමි කර ගනියි. නලින් ද සිල්වා තවමත් මේ වෙනුවෙන් පෙනී සිටියත් එයට ඍජුව පෙනී සිටින ඔහුගේ අනුගාමිකයන් ප්‍රමාණය ඉතාම අඩු වෙයි. ශිරන්ත චාමර වැනි අය – එයට තරමක් අඩුවෙන් තමලු සහ අනුජ – තවමත් මේ වෙනුවෙන් පෙනී සිටිනවා කියා අපි සිතමු.

(9) නමුත් බහුතරය සිටින්නේ චරිත කාරියවසම් වැනි ඩොලර් බිලියනපතියන් බිහිවන සමාජයක් වෙනුවෙන් දේශපාලනිකව එකඟ අනුගාමිකයන් ය. ජාතිකවාදයේ මෙසායනිකවාදය ඉතා පහසුවෙන් ලිබරල් එකඟතාවයේ අභ්‍යන්තර මොහොතක් බවට පත් කරගත හැකි වන්නේ මෙම නිසාය. එම නිසා එය කිසිදා ලිබරල්වාදයට සැබෑ විකල්පයක් වන්නේ නැත.

(10) පියදාස සිරිසේන වෙනුවට මාටින් වික්‍රමසිංහ වෙත ද ජෝන් ද සිල්වා වෙනුවට එදිරිවීර සරච්චන්ද්‍ර වෙත ද අප යා යුතුය. නමුත් මේ සඳහා අපට නව ලෞකිකවාදී මෙසායනික අදහසක් අවශ්‍ය වෙයි.

(11) …. [11 දැනට හිස් තියමු]