
Getty Images / skynesher: https://www.rt.com/op-ed/542968-western-freedom-is-a-lie/?fbclid=IwAR2lRfVAHYUMsZeoIGFgaYIiv0bnRIs_Fe0m6-izx2YPxHuOUZRqDT19beA
පහතින් තිබෙන්නේ දිනකට පැය 12ක් වැඩ කරන චෙන් සී නම් සංක්‍රමණික චීන කම්කරුවෙක් රිචඩ් පෝල්ගේ “Heidegger: An Introduction” කෘතිය පරිවර්තනය කිරීම පිළිබඳ ස්ලැවෝයි ජිජැක් රචනා කළ ලිපියකි.
***
20 වැනි සියවසේ ජර්මානු දාර්ශනිකයෙකු වූ මාර්ටින් හෛඩගර් පිළිබඳ පොතක් ඉංග්‍රීසි භාෂාවෙන් මැන්ඩරින් භාෂාවට පරිවර්තනය කළ චීන සංක්‍රමණික සේවකයෙකුගේ කතාව පසුගිය මාසයේ ප්‍රචලිත විය. දර්ශනය හදාරන සාමාන්‍ය මිනිසුන්ට ලෝකය බේරා ගත හැකිද?
චෙන් සී 1990 අග්නිදිග චීනයේ ජිඇන්සිවල උපත ලැබීය. 2008 දී විභාගය අසමත් වීම නිසා ඔහු ගණිතය හදාරමින් සිටි විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී, වසර 10 කට වඩා වැඩි කාලයක් රට පුරා සැරිසැරමින්, ජීවත් වීම සඳහා මූලික වශයෙන් කර්මාන්තශාලාවල වැඩ කළේය.
තමන් දුර්වල කරන, යළි යළිත් නොනවත්වා වෙහෙසකාරී පැය 12 ක සේවා කාලයක් රැකියා කිරීමට තිබියදීත් එය නොසළකා, හැමදාමත් සිය සැබෑ අනුරාගය දර්ශනය වූ චෙන් ඉගෙනගෙන හෛඩගර් කියවන්න ආරම්භ කිරීමට සමත් විය. මේ වසරේ සියැයිමන්වල කර්මාන්තශාලාවක රැකියා කරමින් සිටින අතරතුර, මාස හතරකදී, ඔහු, ඇමරිකානු දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන රිචඩ් පෝල්ට්ගෙ “Heidegger: An Introduction” [‘හෛඩගර්: හැඳින්වීමක්’] කෘතිය චීන භාෂාවට පරිවර්තනය කර අවසන් කළේය. ඒ වන විටත් වෙනත් පරිවර්තන සම්පූර්ණ කර තිබුණු චෙන්, ප්‍රකාශකයෙකු සොයා ගැනීමේ අවස්ථාව ඉතා අඩු බව පවසා, අනතර්ජාලයේ, මෙය ප්‍රකාශයට පත් කිරීමට උදව් කළ හැකි අයෙක් සිටීදැයි විමසීය. ජනමාධ්‍ය තුළින් ඔහුගේ මෙම අදහස අනාවරණය වීමත් සමග අන්තර්ජාලය තුළ උණුසුම් මාතෘකාවක් බවට ඔහු පත් විය.
හෛඩගර් වෙනුවෙන් කරන ලද මෙම කැපවීම තුළ කිසියම් ආකාරයක විමුක්තියක් පිළිබඳව අදහසක් තිබේද? නැතහොත් එය ව්‍යාජ මාර්ගයක්ද? අපට පහසුවෙන් ඒ සඳහා ගතානුගතික මාක්ස්වාදී පිළිතුරක් සිතා ගත හැකිය: කර්මාන්ත ශාලා වල කම්කරුවන්ට විසඳුමක් ලෙස හෛඩගර් වැදගත් වන්නේ නැත; ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන් පෙලන සේවා කොන්දේසි වෙනස් කිරීමයි.
වඩා පැහැදිලි හේතු තිබෙනා නිසා චෙන් වෙනුවෙන් හෛඩගර් යනු එතරම් යහපත් තෝරා ගැනීමක් නොවේ. 2017 දී පළ වූ ‘Black Notebooks‘ හි හෛඩගර්ගේ පුද්ගලික සටහන් – ඔහුගේ මරණින් පසු – ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඔහුගේ යුදෙව් විරෝධී සහ නට්සි සබඳතා හේතුවෙන් සංකීර්ණ ලෙස සළකන දාර්ශනිකයන් ලැයිස්තුවෙන් ඔහුව ඉවත් කිරීමේ උත්සාහයන් බහුල විය.
කෙසේවුවත්, මෙම හේතුව නිසා ම හෛඩගර් වැදගත් වන බව අප අවධාරණය කළ යුතුය: මන්ද ඔහු නරකම තත්ත්වයේ සිටින විට පවා අනපේක්ෂිත බුද්ධිමය සබඳතා විවර කිරීමට සමත් වෙයි. 1930 දශකයේ මැද භාගයේ, ඔහු මෙසේ පැවසීය: ‘‘ඉතිහාසයක් නොමැති මේ මිනිසුන් සහ මිනිස් කණ්ඩායම් (නීග්‍රෝ වැනි, උදාහරණයක් ලෙස: කාපරි)… කෙසේවුවත්, සතුන්ට සහ ශාකවලට අවුරුදු දහස් ගණනක දිගු සිදුවීම් සහිත ඉතිහාසයක් ඇත… මානව කලාපය තුළ නීග්‍රෝවරුන් මෙන් ඉතිහාසය අතුරුදහන් විය හැකිය.” (‘‘කෆීර්‘‘ – කාපරි යනු වර්ණභේදය පැවති කාලයේදී, දකුණු අප්‍රිකාව තුළ කළු අප්‍රිකානුවන් හැඳින්වීමට භාවිතා කළ වාර්ගික අපවාදයකි). හෛඩගර්ගේ සාමාන්‍ය මට්ටමින් ගත්ත ද මෙම උපුටනයේ අමුත්තක් තිබේ: එනම් සතුන්ට සහ ශාකවලට ඉතිහාසයක් තිබේ, නමුත් ‘‘නීග්‍රෝවරුන්ට“ ඉතිහාසයක් නැත? ‘‘සතුන්ට සහ ගස්වලට අවුරුදු දහස් ගණනක සහ සිදුවීම් සහිත ඉතිහාසයක් තිබේ‘‘ – නමුත්, කිසිසේත්ම, පැවැත්මේ යුගකාරක නිරාවරණයවීම් පිළිබඳව හෛඩගර්ගේ නිශ්චිත තාක්ෂණික අර්ථයෙන් නොවේ. අනෙක් පසින්, චීනය හෝ ඉන්දියාව වැනි රටවල් හෛඩගර්ගේ නිශ්චිත අර්ථයෙන් ඓතිහාසික නොවන බැවින්, ඔවුන් සිටින්නේ කොතැනද?
එසේ නම් මේ තිබෙන්නේ පරම සාක්ෂිය ද? එසේ නම් නිව්යෝක් හි ඉතකාවල කොනෙල් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් සිදු කරන දකුණු අප්‍රිකාවේ උපත ලැබූ සමකාලීන කළු ජාතික දාර්ශනික ග්‍රාන්ට් ෆැරඩ්ගේ සිදුවීම, වැරදි අවබෝධයක සරල සිදුවීමක් ලෙස බැහැර කළ යුතුද?
ෆැරඩ්ගේ කුඩ පොත් පිංච ‘Martin Heidegger Saved My Life’ ඔහු රචනා කළේ වර්ගවාදී හමුවීමකට ප්‍රතිචාරයක් වශයෙනි. 2013 අගභාගයේදී, ඔහුගේ නිවසෙහි එළිමහනේ රේක්කයකින් තණකොළ ඉවත් කරමින් සිටින විට, සුදු ජාතික කාන්තාවක් නතර වී ඔහුගෙන් මෙසේ ඇසුවාය, “ඔයා කැමතිද තවත් වැඩ බාර ගන්න” ඇත්තෙන්ම ඇය, ඔහු එම නිවසේ වැඩ කරන වතු සේවකයෙක් ලෙස වරදවා වටහාගෙන තිබුණි. ෆැරඩ් සමච්චලයට මෙන් උත්තර දුන්නේය: ‘‘මගේ කොනෙල් පීඨයේ පඩිය සමග ගලපන්න ඔබට පුලුවන් නම් විතරක්”. සිදු වූයේ කුමක්දැයි වටහා ගැනීම පිණිස, ෆැරඩ් හෛඩගර් වෙත හැරුණි: ‘‘හෛඩගර් මා බේරාගත්තේ මා මීට පෙර කවදාවත් ලියා නැති ආකාරයට වර්ගය (race) ගැන ලිවීමට අවශ්‍ය භාෂාව ලබා දුන් නිසාය. හෛඩගර් මට මේ ආකාරයෙන් ලිවීමට හැකියාව ලබා දුන්නේ ඔහු සිතන්නේ කෙසේද යන්න ගැන මා හට සිතීමට සැලැස්වූ බැවිනි.‘‘
හෛඩගර් තුළ ඔහුට වඩාත් ප්‍රයෝජනවත් වූයේ භාෂාව යන්න ‘‘පැවැත්මේ නිවහන (“house of being”) වනවා යන සංකල්පයයි. එය විද්‍යාව සහ රාජ්‍ය පරිපාලනයට අයත් වූ වියුක්ත-විශ්වීය භාෂාව නොව සුවිශේෂ ජීවන රටාවකට මුල් බැස ඇති භාෂාවයි. එය ඓතිහාසික වශයෙන් සුවිශේෂ ආකාරයකින් යථාර්තය අපට නිරාවරණය කරන අද්විතීය ජීවන අත්දැකිමක මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි.
තාක්ෂණික ආධිපත්‍යයේ ගෝලීය විශ්වයක් තුළට ගිල ගැනීමට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීමට එවැනි ආස්ථානයක් පුද්ගලයා ට ඉඩ දෙන්නේ කෙසේදැයි සිතීම පහසුය. කෙසේවුවත් බොහෝවිට අප නිතරම පවසන අපගේ ජීවිතවල ‘ඇමරිකානුකරණය‘ වීම සමග සටන් කරනා මාර්ගය මෙයද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා, අප සිතිය යුතුය. ෆැරඩ් යළි යළිත් පෙන්වා දුන් පරිදි, මෙය තමයි ඔහු හෛඩගර්ගෙන් ඉගෙන ගත් දෙය – අප නිකන්ම සිතිය යුතු වනවා නොව අප සිතීම ගැන සිතිය යුතු වේ.
පැහැදිලිව පවසන්නේ නම් මම හෛඩගරියානුවෙක් නොවෙමි. එහෙත් මා දන්නා දෙය නම් අප ජීවත් වන්නේ සිතීම හදිසි අවශ්‍යතාවක් බවට පත්ව ඇති සුවිශේෂ මොහොතක බවයි. මෙය ලෝකය පිළිබඳ ආවර්ජනය කිරීමට සුවපහසුව ලෙස නිවාඩුවක් ගත කිරීමට ඉඩ සලසන සාමකාමී වෙලාවක් නොවේ. ඒ වෙනුවට මේ තිබෙන්නේ මනුෂ්‍යයින් ලෙස අපගේ පැවැත්ම විවිධ පැති වලින් තර්ජනයට ලක් වී ඇති කාලයකි: අපගේ මනසම ආක්‍රමණය කිරීමට සැලසුම් කරන ඩිජිටල් පාලනයේ අපේක්ෂාව (වයර් සවි කළ මොළය), පාලනයෙන් තොර වෛරස ආසාදන, ගෝලීය උණුසුමේ බලපෑම. අප සියලුදෙනා ම මෙම තර්ජනවලින් පීඩාවට ලක් වී ඇත – සහ අනෙක් අයටත් වඩා ඊනියා ‘සාමාන්‍ය මිනිසුන්‘.
එම නිසා අප චෙන් සී වැනි අයගේ මෙවැනි මැදිහත්වීම් වැනි ආශ්චර්යන් සැමරිය යුතුය. දර්ශනය ශාස්ත්‍රාලයීය ශීක්ෂණයකට වඩා බොහෝ වැඩි දෙයක් බව ඔවුන් පෙන්නුම් කරයි – එය හදිසියේම, අපගේ දෛනික ජීවිතයට බාධා කරන අපව ව්‍යාකූල කළ හැකි දෙයකි.
ප්‍රංශ දාර්ශනික ඇලේන් බදියු ‘The True Life’ [‘සැබෑ ජීවිතය’] නම් ඔහුගේ කෘතිය ආරම්භ කරන්නේ සොක්‍රටීස්ගෙ සිට, දර්ශනයේ කාර්යභාරය වන්නේ ‘තාරුණයන්ගේ සිත් දූෂණය කිරීම’, අධිපති දේශපාලන දෘශ්ටිවාදාත්මක පර්යායෙන් ඔවුන් ඈත් කිරීම යන ප්‍රකෝපකාරී ප්‍රකාශයත් සමගිනි. මෙවැනි ‘දූෂණ කිරීම්’ අද විශේෂයෙන්ම නිදහස්, ඕනෑම දෙයකට ඉඩ ඇති ඔවුන් නිදහස් යැයි සිතන විටම සංස්ථාපිතය ඔවුන්ට නිශ්චිතව පාලනය කරන ආකාරය කුමක්ද කියා බහුතරයක් දෙනා නොදන්නා බටහිර රටවල දී අවශ්‍ය වේ. සැකයකින් තොරවම, වඩා භයානක නොනිදහස වන්නේ නිදහස ලෙස අප අත්දකිනා නොනිදහසයි.
මුල් බැසගත් සිරිත් විරිත් විනාශ කරන ‘නිදහස්’ ජනප්‍රියවාදියෙක් සැබැවින්ම නිදහස්ද? 1950 දශකයේදී මාවෝ සේතුංගෙ ජනප්‍රිය ප්‍රකාශයක් ‘සියයක් මල් පිපේවා. සියයක් ගුරුකුල ගැටේවා’ අද අප කිව යුත්තේ: ‘සිය ගණන් චෙන් සීල දර්ශනය අධ්‍යයන කරත්වා‘ – අපගේ මෙම දුක්ඛිත ඓතිහාසිකත්වයෙන් මිදීමට මාර්ගයක් සොයාගත හැකි වන්නේ මේ ආකාරයෙන් පමණි.
ස්ලැවෝයි ජිජැක්
පරි. රංග මනුප්‍රිය