“විසම්මුතික චින්තනය” යනු පුද්ගලයා පවතින අධිපති සමාජ චින්තනවලට එරෙහි වීම, වෙනස් මතයක් හෝ මත දැරීම, වෙනස්ව සිතීම හෝ වෙනස් අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම සමාජ ව්‍යූහයන් තුළ මිනිසා පීඩාවට ලක්කරන යම් ප්‍රතෂ්තාපිත ‘සත්‍යන්ට‘ එරෙහිව වෙනස් චින්තන, අදහස් දැරීම හා ඒවා භාවිතයට ගැනීම යන්න අර්ත දැක්විය හැකිය. යම් යම් සමාජ සංස්ථා තුළ සංස්කෘතික සංදර්භ හෝ වෙනත් ජන කණ්ඩායම් තුළ පවතින අධිපතිවාදී සංකල්ප හෝ ප්‍රතිෂ්තාපිත අදහස් විසින් මිනිසාගේ විසම්මුතික චින්තනය වසා දාමා ඇති අතර පාරම්පරිකව පිළිගත් ඇදහිලි හා විශ්වාස හෝ සමාජමය ඉගැන්වීම් සමාජ කොන්දේසි මගින් මිනිසාගේ සැබෑ නිදහස අහෝසි කර ඇත. එමෙන්ම පවතින් දේශපලාන බල අරගල තුළ මෙම පාරම්පරික චින්තනය හුදු දේශපලාන වාසි උදෙසා මිනිසාට නොදැනුවත්වම භාවිතා කරයි. එයින් ඔවුන් නිරන්තරයෙන් තමා විසින් අත්පත් කර ගත යුතු සැබෑ නිදහස වෙනුවට හුදු මායාත්මක දේශපලාන ප්‍රබන්ධයක් තුළ හිරකර තබයි. මෙම පාරම්පරික චින්තනයට එරෙහිව විසම්මුතික චින්තනය නාට්‍යමය ක්‍රියාවලියක් තුළ ගොඩනැංවීමේ ශක්‍යතාවක් ඇති බව පෙන්වා දිය හැක. එමගින් සමාජ කොටස් තුළ පවත්නා පාරම්පරික චින්තනයේ සුපුරුදු හා අධිපති සිතීම්, සංකල්ප, ලෝක දෘෂ්ටි, විශ්වාස හා භාවිතයන් විසම්මුතික චින්තනය තුළ ප්‍රශ්න කිරීම, ප්‍රතික්ෂේප කිරීම ඔවුන් විසින් සිදු කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ජනරඟ ප්‍රේකෂා වේදිකා ක්‍රියාවලිය මගින් සිදුකළ හැකි බව අනාවරණය කිරීම මෙම ලිපියේ අරමුණයි.

ලාංකීය සමාජ සංදර්භය තුළ නිරන්තරයෙන් පීඩන කොන්දේසි වලින් වෙහෙසට පත් වූ ජන සමූහයන් දක්නට ලැබේ. ඔවුන් පශ්චාත් දේශපලානික රාමුව තුළ ප්‍රජාතන්ත්‍රීය දේශපාලන තීන්දු තීරණ ගැනීමේ අයිතිය හිමි ප්‍රජාවක් වූ නමුත් ඔවුන්ගේ පීඩන කොන්දේසි වලට එරෙහිව දේශපාලනිකව සක්‍රීය වූයේ කෙසේද යන්න පිළිබඳ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. මේ සමාජ සංදර්භය තුළ නොයෙක් දෘෂ්ටිවාද  මත බෙහෝ පීඩන කොන්දේස වලින් වැසී පවතින අතර සමාජ යථාර්තය පිළිබඳ විචාරශීලීත්වය දුබල කර ඇත. බෙහෝ ජන ප්‍රජාවන් ජාතිකවාදය ප්‍රමුඛ දේශපාලන අනන්‍යතාවය ලෙස සලකන අතර විඥානවාදී දෘෂ්ටිකෝනයකින් හා පාරම්පරික චින්තනය  තුළ තම ජීවිතය අර්තකතනය කර ගැනීම සිදුකරනු ලබයි. ඔවුන් ඕනෑම ප්‍රපංචයක් තේරුම් ගනු ලබන්නේ එම දෘෂ්ඨිවාද හරහාය. බොහෝ මිනිසුන් තම පීඩන තත්ත්වයන් සලකණු ලබන්නේ කර්මය වැනි ආගමික මූල ඔස්සේ වන අතර ඔවුන් වෙත පැමිණෙන ඕනෑම දේශපලනික බලවේගයක් තේරුම් ගැනීමේ ශක්‍යතාවය සෑදි ඇතතේ ද සීමා වූ දැනුම් පද්ධතියක් තූල පමණි. නව ලිබරල්වාදී ව්‍යාපෘති හරහා මෙම පුරවැසියා වෙත එල්ල කර ඇති පීඩන තත්ත්වයන් ද ඔවුන් තේරුම් ගනු ලබන්නේ පාරම්පරික චින්තනයෙන් හෝ ආගමික දෘෂ්ටිකෝණයන් හරහාය. ඔුවන්ගේ මානව අයිතිවාසිකම්, යුක්තිය සහ බලය සමාජ අයුක්තිය දේශපාලනික ආර්ථික ක්‍රියාවලීන් වල සබඳතාවන්  වල වටිනාකම් පිලිබඳ ඥානයේ සීමාසහිත බාවයක් දක්නට ලැබේ. මෙම දැනුම් පද්ධතිය විස්තාරණය කිරීම සඳහා පාවුලෝ ෆියරේ  විසින් අකුරු හැකියාව සහ සවිඥානිකත්වය වර්ධනය කිරීමේ වැඩසටහන් සංකෘතික අවකාශයක් තුළ සිදු කරනු ලැබීය. ඒ අනුව ලාංකීය ග්‍රාමීය ප්‍රජාවගේ අධ්‍යාපණය, විචාරාත්මක චින්තනය, සාමූහිකත්වයේ වටිනාකම් මානය අයිතීන් පීඩන තත්ත්වයන් මතුකර පෙන්වීම හා අපි කවුද? අපේ ඉතිහාසය මොකක්ද? ඉතිහාසය විසින් අපිට අත් කර දී ඇත්තේ කුමකද? වර්තමානය විසින් අපි හැඩගස්වා ඇත්තේ කෙසේද? අපේ වටිනාකම් මොනවාද, අපි සංවිධානය වීමේ ඵලවිපාක මොනවාද? යන්න විසම්මුතික චින්තනය හරහා ප්‍රශ්න කරවීම නාට්‍යමය ක්‍රියාවලියක් මගින් එනම් සම්මත වේදිකාවෙන් බැහැරව විවිධ ජනකොටස්  සමඟ වැඩබිම් ගත වන ජනරඟ ප්‍රෙක්ෂා වේදිකා ක්‍රියාවලිය මගින් සිදු කිරීමට ශක්‍යතාවක් පවතින බව පෙන්වා දිය හැකිය.

               ලාංකීය වාමාංශික දේශපාලන ක්‍රියාවලිය තුළ මෙවැනි විසම්මුතික චින්තනයක් ඇති කිරීමට උත්සහ කළේය. ඒ හරහා පීඩනයට එරෙහිව සංවිධානය කරවීමට උත්සහ ගත් නමුත් එය සැබෑ ලෙසෙම සාර්ථක කරගැනීමට හැකියාක් නොතිබුණු බව ඉතිහාසම හා වර්තමානය විමර්ශනය කිරීම මගින් නිගමනයකට එලඹිය හැක. ඔවුන් සැබෑ ලෙසම ඒ පිලිබඳ සවිඥානික වූවාදැයි ගැටළුවක් පවතී. එය ක්‍රමක්‍රමයෙන් නොවැදගත් අතුරු ප්‍රවාහයක් බවට පත් වන්නට විය. සමාජ ව්‍යපර්යාසයන් පිලිබඳ ගැටළුව, විසම්මුතික චින්තනයකින් සංවිධානය වූ පිරිසක් රාජ්‍ය බලය අල්ලා ගැනීම යන්නට වඩා බෙහෙවින් සංඛීරණ වූ ක්‍රියාදාමයකි. එය සමාජය තුළම තිබෙන විප්ලවීය විභවයන් මතකරගනිමින් සිදුවන, සිදු කෙරෙන ස්වයං විපර‍යාසාත්මක ක්‍රියාවලියක් විනා බාහිරින් හෝ සමාජයට ඉහලින් කෙරෙන ආඥාදායක ක්‍රියාලියක් නොවේ . ඔගොස්ටෝ බෝවාල්  නැමති නාට්‍ය කරුවාද තම වේදිකා නාට්‍ය භාවිතාව තූළ උත්සහ කරනු ලැබුවේ සමාජ පරිවර්තනය උදෙසා ස්වයංවිපරිවර්තනයක්ය. ෆාවුලෝ ෆියරේ පවසන්නේ පීඩිතියාගේ අධ්‍යාපණය යම් නායකත්වයක් විසින් ඉහළ සිට ආරෝපණය කළ හැකි දර්ශනයක් නොවන බවයි. නමුත් මෙම ක්‍රියාවලිය වේදිකාව හරහා වඩා බලාත්මකව සිදු කිරීමට ශක්‍යතායක් පවතින බව කිව හැකිය. ඒ සඳහා  මහජනතාව අසලට ගොස් ඔවුන් නාට්‍ය ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත්කරගනිමින් ඔවුන්ගේම ගැට`ඵ හා අදහස් නිර්මාණාත්මකව ඉදිරිපත්කරමින් විකල්ප රංභාවිතයක් මගින් වැඩබිම්ගත වන ජනරඟ ප්‍රේක්ෂා වේදිකාව උපයෝගී කරගත හැකි බව කිව හැකිය.

             යම් කණ්ඩායමක් විසින් සාම්ප්‍රදායිකව පුරුදු පුහුණු කරගත් නාට්‍යක් යම් ප්‍රේකෂක සමූහයක්, ජනකොටසක් වෙත ගොස් පෙන්වීම මගින් මෙම පරිවර්ථනය සිදු කළ නොහැක. එය හුදු රසවින්දනයක්, භාව විශොදනයක්, නැතිනම් යම් දෙයක දැනුවත් භාවයක් පමණක් ලබා ගන්නා අතර එය යම් දෙයක් ප්‍රශ්නකිරීමකට විසම්මුතියකට ගෙන යන්නේ නැත. එම රඟ දක්වන කාලය තුළ පමණක් ප්‍රෙක්ෂකයා එම ක්‍රියාවලිය (නාට්‍යම වින්‍යාසය) තුළ ජීවත් වන අතර ඉන්පසු සාමාන්‍ය ජනවිඥානය තුළම සිටී. මෙහිදී ඔහු හුදු ප්‍රෙක්ෂකයෙක් පමණක් වන අතර ප්‍රශ්න කරනු ලබන පුද්ගලයකු බවට පරිවර්තනය නොවේ. නමුත් ව්‍යහාරික නාට්‍යමය ක්‍රිවාවලියක් තූළ මෙම පරිවර්ථනය සිදු කිරීමට ශක්‍යතාවයක් පවතින බව පෙන්වා දිය යුතුය. මෙම නාට්‍යමය ක්‍රියාවලිය සඳහා ජනරඟ ප්‍රේක්ෂා නාට්‍ය වේදිකාව නිශ්චිත ජනකණ්ඩායමක් යොදාගන්නා අතර ඔවුන් සමඟ වැඩමුලුවක ආකාරයෙන් ඔවුන්ගේ අදහස් සමඟ නිර්මාණ ක්‍රියාවලියකට අවතීරණ වේ. ඔවුන්ට ඒ මොහොත වන විට මුහුණ දී ඇති සාමාජ දේශපාලනික ගැට`ඵ පිලිබඳ කතා බස් කරයි. ඉන්පසු මේ ගැටළු සියල්ලක්ම වසා ඇති ඔවුන්ගේ පාරම්පරික චින්තනය ප්‍රශ්න කරනු ලබන රංගමය අවස්තා නිර්මාණය කරනු ලබයි. මෙම නාට්‍යම ක්‍රයාවලිය උදෙසා ජනරඟ ප්‍රේක්ෂා නාට්‍ය වේදිකාව ඔගස්ටෝ බෝවල්ගේ නාට්‍ය භාවිතාව උපයෝගී කරගනී. මෙම නාට්‍ය භාවිතාවේ සුවිශේෂීතාවය වන්නේ සාම්ප්‍රදායික වේදිකා ආකෘතියෙන් බැහැරව නාට්‍ය කරුවාගේ වස්තුබීජ මගින් ප්‍රතිනිර්මාණය කෙරෙන නාට්‍ය මගහැර මිනිස් ප්‍රජාව එදිනෙදා මුහුණ දෙන ගැට`ඵ හා අදහස් ඔස්සේ නාට්‍ය ගොඩ නැගීමේ රැඩිකල්වාදී පරිවර්තනයක් වේදිකාව තුළ සිදු කරනු ලැබීමයි. මෙම වේදිකාව ජනතාවාදී වේදිකාව ලෙසද නම් කළ හැක. ප්‍රේකෂකයා හුදු ප්‍රෙක්ෂක රාමුවේ තබා රසයක් හෝ වින්දනයක් ලබා දීම ඉක්මවා ප්‍රෙක්ෂකයා දේශපාලනික වශයෙන් සක්‍රීය පුද්ගලයකු කිරීමට හැකි විභවතාවයන් මෙම රංග ක්‍රමවේදයේ ඇති හඳුනාගත හැක. ඒ සඳහා විවිධ වේදිකා අත්හදා බැලීම් හා පුහුණු ශිල්ප ක්‍රම ජනරඟ ප්‍රේක්ෂා වේදිකාව භාවිතා කරයි. මෙහිදී බුර්ෂුවා සෞන්දර්යාත්මක යථාර්තවාදී නාට්‍ය හැඩය බැහැර කොට නව දේශපාලනික මුහුණුවරක් වේදිකාවට එක් කිරීම හා තත්කාලීන සමාජයේ පීඩිත කොන්දේසි ජය ගැනීම සඳහා පීඩිතයාව පෙළඹවීම මෙන්ම ඒ පිලිබඳ සවිඥානික කිරීම සිදු කරයි. මේ සඳහා පාවුලෝ ෆියරේගේ සංවාදාත්මක අධ්‍යාපණ න්‍යාය උපයෝගී කරගනී. ෆියරේගේ දර්ශනය පුද්ගලික අන්තර්ජාතික නිර්ධන පංතියේම භාවිතාව තුළින් ගොඩනැගුණු අදින විමුක්ති දර්ශනයක් විය. ඔහු ආරම්භ කරන ප්‍රශ්නාභියෝගී අධ්‍යාපණය අවසන් වන්නේ පීඩිතයාට පීඩනය පිළිබඳ සවිඥානික අවබෝදයක් ලබා දෙමිනි. ලෝකයේ පීඩන කොන්දේසි ජය ගැනීම, ප්‍රේක්ෂකයා විසම්මුතියක් කරා ගෙන යාම සඳහා බොවාලියානු රංගක්‍රම භාවිතා කළ අවස්තා දක්නට ලැබේ. උදාහරණයක් ලෙස එංගලන්තයේ ඒඩිරියන් ජැක්සන් විසින් නිවාස අහිමි වූවන්ට කාඩ්බෝඩ් පුරවැසියන් නමින් රංග වැඩබිමක් ආරම්භ කරන ලදී. මේ සඳහා බෝවාල්ගේ මූලික රංග ක්‍රම (Forum theatre) උපයෝගී කරගනිමින් නිවාස අහිමි වූවන් සමඟ රංග වැඩමුළු පැවැත් වූහ. මෙම රංග විධික්‍රමය තුළ ප්‍රෙක්ෂකයා තම ගැටළුව පිලිබඳ විසම්මුතික චින්තනයක් ගොඩනැගීමේ මූලික විභවයන් හඳුනාගත හැකි විය. සංවාදයක් ගොඩනැගීම හා ප්‍රේක්ෂකයා නළුවකු බවට පරිවර්තනය කොට රංගනය සඳහා දායක කරගනිමින් ඔහුගේ යොජනා මත රංගයක් සිදු කිරීම හා මිනිසා සඳහා රංගය වෙනුවට මිනිසා විසින් රංගය මූලික සිද්ධාන්තය උපයෝගී කරගනිමින් රංගය බලාත්මක උපකරණයක් ලෙස භාවිතා කරමින් සාම්ප්‍රදායික සිතීමේ රටාව නිශ්ක්‍රීය කර විචාරාත්මක චින්තනය සක්‍රීය කිරීම හා ඔවුන්ගේ ච්න්තනය විසම්මුතක චිනතනයක් කරා ගෙන යාමේ ශක්‍යතාවක් මෙම විකල්ප නාට්‍ය භාවිතාවට හැකි බව පෙන්වා දිය හැක.

                 මේ සඳහා බර්ටොල්ට් බ්‍රෙෂ්ට්ගේ එපික් රංගක්‍රමය, බඩාල් සිර්කාර්ගේ තුන්වන වේදිකාව, ඒඩ්්‍රයන් ඩොෆ්මාන්ගේ කාඩ්බෝඩ් පුරවැසියන්ගේ රංග වැඩබිම, මෑතකාලයේ එංගලන්තයේ හා ඇමරිකාවේ වර්ධනය වූ වර්බටින් තියටර් පිලිබඳ හා ලාංකීය ජනකරලිය වේදිකාව විකල්පමය ජනමූල රංග ව්‍යාපාර හා පාවුලේ ෆියරේගේ නිර්ධන පංතිකයා දැනුවත් කිරීමේ සංවිධානාත්මක විමුක්ති අධ්‍යාපණ ශික්ෂණය වැනි විකල්ප ධාරාවන් භාවිතා කළ හැක.

                 අවසාන වශයෙන් සාම්ප්‍රදායික වේදිකාවේන බැහැරව සිදු කරනු ලබන වේදාක භාවිතයක් මගින් ප්‍රේක්ෂකයා නාට්‍යම ක්‍රියාවලියේ සාමාජිකයේක බවට පත් කරගනිමින් ඔවුන් සමග ගොඩනැගෙන නාට්‍යම ක්‍රියාවලියක් මගින් ගොඩනැගිය හැකි විසම්මුතික චින්තනය ඔවුන් සිටිනා යම් පීඩන තත්තවයන්ට එරෙහිව භාවිතා කළ හැකි බව පෙන්වා දිය හැක.

මධුරංග ජයවර්ධන