May be an image of 1 person and blonde hair

සිනමාව තේරෙන්නේ නැති අය විසින් සිනමාව සම්බන්ධයෙන් – සහ පොදුවේ කලාව සම්බන්ධයෙන් – ලියන විකාර අදහස් ෆේස්බුක් එකේ පසුගිය කාලයේ තරමක් ජනප්‍රිය විය. මෙහි හානිය වන්නේ සිනමාව අභිමුඛ වීමේ විභවාත්මක හැකියාවක් තිබෙන කෙනෙක් මේ නන් දෙඩවිලි නිසා සිනමාව පරීක්ෂා කර බැලීමට අධෛර්යයට පත් විය හැකි වීමයි. එම නිසා මෙවැනි නන් දෙඩවිලි වලින් සිනමාව ආරක්ෂා කරගත යුතුය. සිනමාව වැනි කලා මාධ්‍යයක විපර්යාසකාරී විභවය අතිශය ප්‍රභල වෙයි. එම නිසා එය සමාජයේ පුනරුද යුගයක් ඇති කිරීමේ දී අතිශය ප්‍රයෝජනවත් විය හැක.

සිනමාව යනු එක් කලා ආකෘතියකි (සාහිත්‍යය, චිත්‍රය වැනි දේ වෙනත් කලා ආකෘති වෙයි). කලා ආකෘතියක් ලෙස එහි තිබෙනා ‘දෙය’ වචනයෙන් විස්තර කළ හැකි නොවේ. එසේ කළ හැකි නම් අප චිත්‍රපටි සෑදිය යුතු නොවේ. ඒ වෙනුවට චිත්‍රපටියේ තිබෙනා ‘දෙය’ ලියා තැබුවා නම් ප්‍රමාණවත් ය. නමුත් අප චිත්‍රපටි හදන්නේ එහි වචනයට පරිපූර්ණ ලෙස ගොනු කළ නොහැකි අතිරික්ත අත්දැකීමක් තිබෙන නිසාය (අනෙක් කලා මාධ්‍යයන් සම්බන්ධයෙන් ද මෙය පොදු වෙයි). එම නිසා පළමු පියවර වන්නේ චිත්‍රපට බැලීමයි.

නමුත් මෙහිදී හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපටි තාවකාලිකව අත් හරින්න කියා අපි කියමු. මෙය ප්‍රායෝගික මග පෙන්වීමක් නිසා මෙවැනි දේ සම්බන්ධයෙන් ඥානවිභාගාත්මක ප්‍රශ්න (‘ජනප්‍රිය’ සහ ‘සම්භාව්‍ය’ බෙදීම තීරණය කරන්නේ කවුද වැනි ප්‍රශ්න) අපෙන් නොඅසන්න. එවැනි ප්‍රශ්න තිබෙනා අය කරුණාකර මෙය කියවන්න එපා. මෙය ලියන්නේ ඔබට නොවේ. මෙය සලකා බලන්න කැමති කෙනෙක් සිටින්නේ නම් කළ යුත්තේ අබ්බාස් කියෝරස්තාමි (ඔහුගේ 80 දශකයේ සහ 90 දශකයේ නිර්මාණ), ඩේවිඩ් ලින්ච්, සයි මින්-ලිආන්, අපිචත්පොන් වීරසේතුකල් වැනි අයගේ චිත්‍රපට කීපයක් ඩවුන්ලෝඩ් කර ගැනීමයි (අවශ්‍ය අයට අපට චිත්‍රපට නිර්දේශ කළ හැක). (අනවශ්‍ය ප්‍රශ්න වලක්වා ගැනීම සඳහා ශ්‍රී ලාංකික සිනමාකරුවන්ගේ නම් ඇතුලත් කළේ නැත).

මේ ආකාරයේ චිත්‍රපටි බැලීම බහුතරයකට එතරම් පහසු නොවිය හැක. තත්පර 30 ටික් ටොක් වීඩියෝ බලන පරම්පරාවට මෙය විශේෂයෙන් අපහසු විය හැක. එම නිසා මෙමගින් එක්තරා ශික්ෂණයක් ඉල්ලා සිටියි. සමහරුන්ට මෙය පහසුවෙන් ලැබෙයි. සමහරුන්ට එයට තරමක් කල් ගත විය හැක. නමුත් අවසානයේ දී ඔබට චිත්‍රපටිය තුළින් ‘යමක් දැනෙනු’ ඇත. මෙහිදී තීරණාත්මක දෙයක් වන්නේ චිත්‍රපටිය අවසාන වන තුරු නොනවත්වා නැරඹීමයි. තැනින් තැන නවත්වා ෆේස්බුක් එකට ගොස් නැවත ආපසු චිත්‍රපටිය නරඹන්න ගියහොත් වැඩේ සිදු වන්නේ නැත. මෙයට එක් විසඳුමක් වන්නේ දෙතුන් දෙනෙක් එකතු වී පොදුවේ චිත්‍රපටි නැරඹීමයි. එසේ කළ නොහැකි නම් කෙසේ හෝ හිත හදාගෙන පැය දෙකක් එක දිගට මෙය නැරඹිය යුතු වේ. මේ පියවර අතිශය වැදගත් බව සලකන්න. ගීතයක් අසන විට අප එය මැදින් නවත්වා, නැවැත්වූ තැනින් නැවත ආරම්භ කර අසන්නේ නැත. මෙය සිනමාවට ද එක ලෙස අදාළ වෙයි. සිනමාව ‘වැඩ කරන්නේ’ එහි කාලාන්තරය (duration) එයට ලබා දෙන්නේ නම් පමණි. මෙයට ආරම්භයේ දී ශික්ෂණයක් අවශ්‍ය වන්නේ මේ නිසාය.

මෙම පියවර තබන්නේ නම් බොහෝ දෙනෙකුට මෙය ‘වැඩ කරනු’ ඇත. මෙය තේරුම් ගත හැකි නිර්ණායකය වන්නේ ඔබට ඉහත ආකාරයේ සිනමාකරුවෙකුගේ චිත්‍රපටියක් අවංකව ආසාවෙන් – නැවතත් අවධාරණය කරමු ‘අවංක ආසාවෙන්’ – පැය දෙකක් එක දිගට නැරඹිය හැකි ද කියා බැලීමයි. එය කළ හැකි වනවා යනු ඔබට දැන් සිනමාව ‘අභිමුඛ වී’ තිබෙනවා යන්නයි. තීරණාත්මක පියවර වන්නේ මෙයයි. එම පියවර තැබූ විට ඔබට චිත්‍රපටියක් සාර්ථක වන ආකාරය හොඳින් පැහැදිළි වෙයි.

එතනින් පසු අවශ්‍ය වන්නේ මෙම පුරුද්ද අත්හරින්නේ නොමැතිව ආරක්ෂා කර ගැනීමයි. මේ සඳහා වඩ වඩා චිත්‍රපට නැරඹීම හැර වෙනත් විසඳුමක් නැත. එවිට මෙම ‘සිනමාව නම් දෙයෙහි’ විවිධ මානයන් ඔබට හසු වෙයි. විවධ අත්හදාබැලීම් හමු වෙයි. නමුත් මේ සියල්ල අවසානයේ දී ‘සිනමාව’ ලෙස එකම අත්දැකීමක් නිරාවරණය කරන බවත් පැහැදිළි වෙයි.

චිත්‍රපටිය ගැන කතා කිරීම ප්‍රයෝජනවත් වන්නේ ඉන් පසුවයි. එහි තේමාවන්, එමගින් නිරාවරණය කරන අදහස් වැනි දේ ඔබට සිතා බැලිය හැකිය. සිනමාකරුවා ‘අරමුණු කළේ කුමක්ද’ වැනි සම්ප්‍රදායික ප්‍රශ්න අසන්න කිසි සේත් බිය වන්න එපා. පශ්චාත්නූතනවාදී මනස්ගාත වලින් මේවා හෑල්ලුවට ලක් වුවත් එවැනි ප්‍රශ්න චිත්‍රපටියක් වඩා ගැඹුරට රස විඳිමේ දී වැදගත් වෙයි. චිත්‍රපටය ගැන වෙනත් අය ලියා තිබෙන දේ කියවීම ද ප්‍රයෝජනවත් වෙයි. ඔබට නිරීක්ෂණය නොවන දෙයක් තව කෙනෙකුට නිරීක්ෂණය වනු ඇත. ඒ මගින් සිනමාව සම්බන්ධයෙන් අපේ අර්ථ ලෝකය වඩා පුළුල් වෙයි.

ඉන් පසුව ඔබට විවිධ ආකෘති වලින් මෙය වර්ධනය කළ හැක. ඔබ කැමති සිනමාකරුවෙක් හසු වුවහොත් ඔහුගේ අනෙක් චිත්‍රපටි ඔබට දැන් පරීක්ෂා කළ බැලිය හැක. ඔබට 60, 70, 80 දශක වල සම්භාව්‍ය සිනමාකරුවන් දැන් නැවතත් නැරඹිය හැක. නමුත් මේ අයගෙන් ඔබේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අප යෝජනා නොකරන්නේ කාලික දුරස්ථ බව සමාරම්හක ශික්ෂණයට අතිරේක බාධාවක් විය හැකි නිසාය. නමුත් ඔබට සිනමාව ‘හසු වූ’ විට එම පැරණි නිර්මාණ වලද එම අත්දැකීම පහසුවෙන් නිරාවරණය වනු ඇත.

සිනමාව ‘අල්වා ගත්’ විශාල පිරිසක් සිටින සමාජයක් බොහෝ අර්ථ වලින් යහපත් සමාජයක් වනු ඇත. අප ඉදිරි කාලයේ දී මේ වෙනුවෙන් අපට කළ හැකි මැදිහත්වීමක් කරන්න උත්සාහ කරමු. නමුත් මෙය කිසිසේත් ‘අපේ’ වැඩක් නොවේ. මෙය අප සියලු දෙනාට එක ලෙස වැදගත් නිසා මෙයට සියලු දෙනා සම්බන්ධ වන්නේ නම් අප කැමතිය. එය දර්ශනයට මෙන්ම දේශපාලනයට ද වැදගත් කියා අපි සිතමු. පොදුවේ ගත් විට කලාව යනු ‘අධ්‍යාපනය’ යන ගැටය ඇසුරින් ‘දර්ශනය’ සහ ‘දේශපාලනය’ එකතු කරන ආනුභුතික අවකාශයයි.