රූපය: Meg Webster, “Volume for Lying Flat”, 2016, peat moss, green moss, soil, galvanized steel wire mesh

දේශපාලන අනාගතය යහපත් වනවා දැකීමට අපට ඇති අපහසුව සම්බන්ධයෙන් ෆ්‍රෙඩ්රික් ජේම්සන් ගේ ප්‍රකට අදහසක් තිබේ. එයට අනුව අපට ධනවාදයේ අවසානය පරිකල්පනය කිරීමට වඩා ලෝක අවසානය පරිකල්පනය කිරීම දැන් පහසු වෙයි. 1970 දශකයේ අවසානය දක්වා දේශපාලන විවාදය තිබුනේ අපේ අනාගතය ජාතිකවාදී විය යුතු ද, ලිබරල්වාදී විය යුතු ද, සමාජවාදී විය යුතු ද වැනි දේ සම්බන්ධයෙනි. නමුත් අද වනවිට මෙය වෙනස් වී අපට දේශපාලන අනාගතය වෙනස් වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමට හෝ නොහැකිව තිබේ. ඒ වෙනුවට අද අපට ඉතා පහසුවෙන් පරිසරය විනාශ වී මිනිස් වර්ගයා අතුරුදහන් වීම, වල්ගාතරුවක් පෘථිවියට කඩා වැටී මිනිස් වර්ගයා අතුරුදහන් වීම, න්‍යෂ්ඨික අවි යුද්ධයකින් මිනිස් වර්ගයා අතුරුදහන් වී යාම වැනි ලෝක විනාශය සිදුවන ආකෘති ඉතා පහසුවෙන් සිතා ගත හැක. එවැනි ලෝක විනාශ වීම් දැක්වෙන හොලිවුඩ් චිත්‍රපට විශාල ගණනක් තිබීමෙන් අපට පැහැදිළි වන්නේ මෙයයි.

නමුත් සමකාලීන ලාංකික දේශපාලන සංවාදය විසින් අපට පෙන්වා දෙන්නේ අපට අද වනවිට ජේම්සන් ගේ මෙම අශුභවාදී දැක්ම තව තියුණු කිරීමට සිදුව ඇති බවයි. අවම වශයෙන් ජේම්සන් ගේ ප්‍රකාශය තුළ ධනේශ්වර සංවර්ධනය ඉදිරියට යනවා කියා එක්තරා ආකාරයක බලාපොරොත්තුවක් තිබේ. කෙනෙකුට අවශ්‍යනම් එයට ෆුකුයාමාවාදී සාධනීය හැඟවුමක් ලබා දිය හැක.

නමුත් ලංකාවේ දේශපාලන සංවාදයේ රනිල් සහ සජිත් පාර්ශව (මෙය එකම පාර්ශවයකි) නියෝජනය කරන අයට තිබෙන්නේ මෙයට වඩා බෙහෙවින් රැඩිකල් අශුභවාදයකි. එයට අනුව අපට උරුම වන්නේ මේ දූෂිත දේශපාලන ප්‍රභූ තන්ත්‍රය පමණි. එයට අතවත් තැබීමෙන් සිදුවනු ඇත්තේ ‘ලෝක විනාශයයි’. ඒ අනුව මේ දේශපාලන පන්තියේ පාලනය තුළ අපට උරුම වන ගැටලු සියල්ල සදාකාලිකව අප අත්දැකිය යුතුය. මෙයට වෙනස් වූ කිසිම දෙයක් අපට අපේක්ෂා කළ නොහැක. අඩුම තරමින් හොරකම් කරන්නේ නැති ඇමති මණ්ඩලයක් හෝ කිසිදා අපේක්ෂා කළ නොහැක.

සත්‍ය වශයෙන්ම මෙම අශුභාවාදයේ පැතිරීම NPP හිතවාදී පිරිස් අතර පවා දැකිය හැක. NPP එක දින්නත් එය අසාර්ථක වන නිසා තමන් ‘අසිත තවුසා ගේ විරුද්ධාර්ථයට’ මුහුණ දෙනවා කියා මින් සමහරක් කියන්නේ එම නිසාය. NPP එක දින්නත් එය අසාර්ථක වීමේ අනිවාර්යයි කියා ඔවුන් පූර්වකල්පනය කරයි. අපට සිතා ගත නොහැකිව තිබෙන්නේ දේශපාලන නවීනත්වය යන අදහසමයි.

අප ජීවත් වන්නේ ‘බලාපොරොත්තුව’ යන සංකල්පයම අහිමි වී ගිය ලෝකයක කියා කිව යුත්තේ මේ නිසාය. අපට නවීනත්වයන් (novelties) අත්දැකීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් මේ ලෝකයට ලබා දිය යුතුය. එවැන්නක න්‍යායික වියහැකිබව දාර්ශනිකව තහවුරු කිරීම මෙන්ම එවැන්නක ප්‍රායෝගික වියහැකිබව කලාත්මක නවීනත්වයන් ගේ ආකෘතියෙන් අත්දැකීමට සැලැස්වීම ද අද ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන්නේ මේ නිසාය.