පහත දැක්වෙන්නේ “මගේ ලෝකය” කෘතිය සම්බන්ධයෙන් අප මෙයට මාස කීපයකට පෙර සිදු කළ සාකච්ඡාවක වීඩියෝවක් වෙත යන සබැඳියකි. “මගේ ලෝකය” කෘතිය කියවීම සඳහා මග පෙන්වීමක් ලෙස මෙම වීඩියෝ මාලාව සැලකිය හැකි වේ.

මෙය අප මෙසේ බෙදා ගනු ලබන්නේ මෙම කෘතිය කියවීම පිළිබඳව උනන්දු වන තවත් අයට මෙය උපකාරයක් විය හැකි වනවා යන අර්ථයෙනි. නමුත් මෙය ප්‍රයෝජනවත් වනු ඇත්තේ මේ සමග සමාන්තර ලෙස “මගේ ලෝකය” කෘතිය ද කියවන්නේ නම් පමණි. මෙම වීඩියෝවේ තිබෙන්නේ එම කෘතියේ 4 වැනි පරිච්ඡේදය පිළිබඳව හැඳින්වීමකි. එම නිසාම එම පරිච්ඡේදය මේ සමගම අනිවාර්යයෙන් කියවිය යුතු වේ. මෙය ‘ජනප්‍රිය වැඩක්’ නොවන්නේ මෙම නිසාය.

“මගේ ලෝකය” කෘතියේ සිව්වැනි පරිච්ඡේදය යනු ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නලින් ද සිල්වා ගේ ජනප්‍රිය අර්ථකථනය අඩංගු වන පරිච්ඡේදය යි. 2022 වසරේ දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය හිමි වූ ඇලේන් ඇස්පෙක්ට් ගේ සුප්‍රකට පරීක්ෂණයක් සම්බන්ධයෙන් මෙරට පළමු වරට සාකච්ඡාවක් ඇති වූයේ 1986 වසරේ පළ වූ මේ ඓතිහාසික කෘතියෙනි. මෙය එක් යුගයක සිතීමක් නිශ්චිතව ස්පර්ශ කළ ලියවිල්ලක් යන්න සඳහා මෙය ආනුභුතික සාක්ෂියක් ලෙස ගත හැක.

කෙසේ වුවත් මෙහිදී අප උත්සාහ කරන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නලින් ද සිල්වා ඉදිරිපත් කරන අර්ථකථනය විශ්ලේෂණය කිරීමට නොවේ. ඒ වෙනුවට අප උත්සාහ කරන්නේ එය නිවැරදි වනවා යන උපන්‍යාසය මත හිඳ එම නිදර්ශනය ඇසුරින් මෙම කෘතියේ සමස්ත අදහස වර්ධනය වන්නේ කෙසේද යන්න විමසා බැලීමටයි.

මෙයට හේතුව වන්නේ අපගේ උනන්දුව නලින් ද සිල්වා ගේ දාර්ශනික සිතීම වෙත සීමා වීමයි. අප ගොඩනගන්න උත්සාහ කරන දාර්ශනික සංවාදයේ තීරණාත්මක ඓතිහාසිකත්වයක් ලෙස නලින් ද සිල්වා ගේ සිතීම ගත හැක. එම නිසාම අප මෙහිදී උත්සාහ කරන්නේ නලින් ද සිල්වා ගේ අදහස් විවේචනය කිරීමට නොව එය හැකිතාක් ශක්තිමත් ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමටයි.

මෙය කිසිසේත්ම නලින් ද සිල්වා ගේ අනපේක්ෂිත අභාවය සමග ඇති වූ විවිධ සමාජ මාධ්‍ය සංවාද සමග පටලවා නොගත යුතු වන්නේ මෙම නිසාය. ඒ වෙනුවට මේ තිබෙන්නේ අප කලක සිට කරමින් සිටිනා සංයුක්ත වැඩකි. මෙය අප සැලසුම් කළේ මාස කීපයකට පෙරයි. එහිදී සැලකිල්ලට ගන්නේ අපට අනුව නලින් ද සිල්වා ගේ වැදගත්ම සමාජීය බලපෑමක් කළ ලියවිලිය.

ඔහුගේ ආචාර්ය උපාධිය ගුණාත්මකව ඉහළ මට්ටමක තිබෙන්නේ ද නැති ද වැනි ෆේස්බුක් විවාද සමග මෙය පටලවා නොගන්නා මෙන් අප ඉල්ලා සිටින්නේ මෙම නිසාය. මේ තිබෙන්නේ අපේ රටේ බලපෑම්සහගත දාර්ශනික ස්ථාවරයක් අප විසින් ප්‍රතිනිර්මාණය කරනා ආකාරයයි. “මගේ ලෝකය” කෘතිය මගින් යෝජනා කරනා නව දර්ශනය කුමක්ද කියා තේරුම් ගැනීමට අවංක මහන්සියක් ගැනීමට කෙනෙකුට පමණක් මෙය ප්‍රයෝජනවත් වනු ඇත.