‘දාර්ශනිකයා’ යන භූමිකාව සඳහා තිබෙන සෞත්‍රික විවරණය ලෙස ප්ලේටෝ ගේ “මධුසාදය” (“Symposium”) සංවාදයයේ එන සොක්‍රටීස් පිළිබඳව අතිශයෝක්තියට නංවන ලද නාටකීය විස්තරය සැලකිය හැකිය. සාහිත්‍යමය වටිනාකමේ දෘෂ්ඨිකෝණයෙන් ගත්විට ප්ලේටෝ ගේ විශිෂ්ඨතම ලියවිල්ල ලෙස ගත හැකි මෙය කතන්දරයක් ලෙස එකට ගෙතී ඇති මානයන් ගණනකින් දාර්ශනිකයා නම් චරිතය අපට විවරණය කරයි. සොක්‍රටීස් ගේ හැසිරීමේ සුවිශේෂ ලක්ෂණ වල සිට, ඔහුගේ චරිතය පිළිබඳව තෙවැනි පාර්ශවයකගේ දෘෂ්ඨිකෝණයෙන් සිදුකෙරෙන විශ්ලේෂණයක් මෙන්ම, සාමාන්‍ය මිනිස් ආශාව සහ අනුරාගය ඔස්සේ දාර්ශනික ඥානය වෙත ගමන් කළ යුතු ආකාරය පිළිබඳව තියුණු විශ්ලේෂණයක් අපට හමු වන්නේ සමස්ත සංවාදය පදනම් වන නාටකීය දිගු හැරුමෙහි නෛසර්ගික කොටස් ලෙසයි.

අන් සියල්ලට වඩා, මෙහිදී කේන්ද්‍රීය වන්නේ ප්‍රේමයට අධිපති දෙවියන් පිළිබඳව ගුණ වැයුමක නාමයෙන් දාර්ශනිකයා ගැන කරන න්‍යායික විශ්ලේෂණයයි. ප්‍රේමයට අධිපති ඊරෝස් (Eros) දෙවියා යනුවෙන් ප්ලේටෝ අදහස් කරන්නේ දාර්ශනිකයා කියා තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. අවම වශයෙන් මේ තිබෙන්නේ දාර්ශනිකයාගේ භූමිකාව පිළිබඳව උපමා කතාවක් බව අපට පැහැදිළි වෙයි. එම නිසාම සංවාදය අවසන් වන්නේ ඊරෝස් දෙවියන් සහ මනුෂ්‍යයන් අතර මැද සංක්‍රාන්ති චරිතයක් ලෙස නැවත නිර්වචනය වීමෙනි.

ඊරෝස් උපත ලබන්නේ ධනයට අධිපති දෙවියන් සහ හිඟමනට අධිපති දෙවඟන ගේ දරුවා ලෙසයි. පියාගේ සම්පත් දිනා ගැනීම උපායශීලිත්වය ද මවගේ යාචක පැවැත්මේ ‘කටු කෑමේ’ හැකියාව ද එයට එක ලෙස උරුම වෙයි. අනෙක් අතට, මහ පාරේ නිදා ගැනීමට, බඩ ගින්නේ සිටීමට, බිහිසුණු අභියෝග වලට මුහුණ දීමට මෙන්ම, අවශ්‍ය විටක, ජේත්තුව හැඳ පැළඳ සාද වලට යාමට ද, අන් සියලු දෙනා පරයා මධුවිත පානය කිරීමට ද, පසුදා සුපුරුදු වැඩ කිසිවක් වෙනස් නොකර සිදු කිරීමට ද සොක්‍රටීස් ට හැකි බව ප්ලේටෝ අපට කියයි.

ඊරෝස් නියෝජනය කරන්නේ දෙවිවරුන්ගේ පරිපූර්ණ දැනුම හෝ අඥානයන්ගේ පරිපූර්ණ නොදැනුම නොවේ. සියල්ල දන්නා කෙනාට දැනුම පිළිබඳව උනන්දුවක් ඇති නොවන අතර කිසිවක් නොදන්නා කෙනෙකුට දැනුම යනුවෙන් කිසිවක් තිබෙනවා කියා දැන ගැනීමට නොහැකි වේ. ඒ වෙනුවට ඊරෝස් යනු ලෝක දෙකක් අතර ඇති පාලමකි. දෙවියන්ගේ ලෝකයේ සත්‍යය සාමාන්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වෙත ගෙන ඒම ඔහුගේ වගකීමයි.

දෙවියන් සහ මනුෂ්‍යයන් අතර සංක්‍රාන්ති චරිතයක් ලෙස ඊරෝස් නම් කළ යුතු වන්නේ මේ නිසාය. ඔහු දෙවියන් වැනි අමරණීය පැවැත්මක් නොවන්නේ වුවත් අමරණීයත්වයේ බලාපොරොත්තුව මානුෂික ලෝකය වෙත ගෙන එයි. අමරණීයත්වය පිළිබඳව මිනිස් ආශාව පිළිබඳව ප්ලේටෝ ගේ විශිෂ්ඨ විවරණය අපට ලැබෙන්නේ මෙහි අවසානයේ දී ය.

නමුත් 90 දශකයේ බුද්ධිමය ලෝකයට අවතීර්ණ වූ අපගේ පරම්පරාවට (කෞශල්‍ය කුමාරසිංහ ගේ ප්‍රබන්ධගත කිරීමක් තරමක් වෙනස් කර අපට එය ‘නිම්නලාගේ ඉතිහාසය’ ලෙස නම් කළ හැක) උරුම වූයේ ප්ලේටෝ ගේ මේ බලාපොරොත්තුව බිහිසුණු වරදක් ලෙස හංවඩු ගසන ලද ලෝකයකි. Metaphysics (පාරභෞතික විද්‍යාව) යනු එම වරද සිදු කළ අපරාධකරුවාය. හෛඩගර් විසින් මෙම අධි චෝදනා ලද අපරාධය ‘විනාශ කිරීමටත්’, ඩෙරීඩා විසින් එය ‘විසංයෝජනය කිරීමටත්’ යෝජනා කරන ලදී.

මේ සියලු ප්‍රයත්නයන්ට පසුවත් අපට ප්ලේටෝ ගේ මෙම බලාපොරොත්තුව වෙනුවෙන් අද දවසේ පෙනී සිටිය හැකි වන්නේ ද? සියල්ල සාපේක්ෂ වන පශ්චාත්නූතනවදියාගේ ගනඳුරු රාත්‍රිය විසින් අපට පෙන්වා දුන්නේ මෙවැන්නක අවශ්‍යතාවයයි. නමුත් මෙය දාර්ශනිකව සිදු කළ හැක්කේ කෙසේද? ‘බටහිර ඉවුරේ දර්ශනය’ විසින් ඊයේ දින සංවිධානය කළ ‘දර්ශනයේ මරණයට පසු ජීවිතය’ නම් වූ සංවාදය මගින් උත්සාහ කරන ලද්දේ මෙයට ශක්තිමත් සමකාලීන පිළිතුරක් ගොඩනගන්නේ කෙසේද යන ගැටලුව සාකච්ඡා කිරීමටයි. ඉදිරි කාලයේ දී එය අපි තවත් පුළුල් පිරිසක් අතරට ගෙන යන්නට උත්සාහ කරමු.

මහවැසි නොතකා මේ උමතු වැඩේ වෙනුවෙන් සහභාගී වූ සියලු දෙනාට අපගේ ප්‍රණාමය!

“””

‘එසේ නම් ප්‍රේමය නම් කවරෙක් ද? ඔහු අමරණීයදැ’ යි මම ඇසුවෙමි.

‘නැත’ යි ඈ කීවාය.

‘එසේනම්?’

‘පළමු නිදර්ශනයේ දී මෙන් ඔහු මරණීය හෝ අමරණීය හෝ නොවූ ඒ දෙක අතර මධ්‍යස්ථ ත්තවයක සිටී.’

‘ඔහු කවරෙක් ද ඩයොටීමා[?]’

‘ඔහු මහා භූතයෙකි [daemon]. අනික් භූතයන් මෙන් ඔහු ද සුරන් හා නරන් අතර මධ්‍යස්ථයෙකි.’

‘ඔහුට අයත් බලතල මොනවා ද?’

‘ඔහු දෙවිමිනිසුන් අතර පයිංඩකාරයෙකි. මිනිසුන්ගේ පූජා හා යාඥා දෙවියන් වෙත ගෙන යන්නේ ද, දෙවියන්ගේ පිළිතුරු හා දේව අණ මිනිසුන් වෙත ගෙන යන්නේ ද ඔහුය. දෙවි මිනිසුන් අතර වූ පරතරය යා කරන ඒදන්ඩක් වැනි වූ මධ්‍යස්ථයා ඔහුය. මේ නිසා ඔහු වෙත සියල්ල එක්ව බැඳී පවතී. අනාගතවක්තෘන්ගේ හා පූජකයන්ගේ කලාව ද, ඔවුන්ගේ බිලි පූජා ආගමික රහස් කෘත්‍යය හා මන්ත්‍රගුරුකම් ද අනාගත කියුම් හා යාතිකා සියල්ල ද ඔහු මගින් සිදුවිය යුතුය. දෙවිඳු නරයන් හා මුසු නොවෙයි. දෙවියන් සිහිනෙන් හෝ හැබැහින් මිනිසුන් සමග කරන සෑම ආශ්‍රයක් ම, සමාගමක් ම, ප්‍රේමය මගින් ම සිදුවිය යුතු. මෙවැනි දේ සම්බන්ධයෙන් දැනුම ඇති මිනිසා භූත මිනිසෙකි [daemonic man]. අනිකුත් කරුණු එනම් තාක්ෂණික හා ශිල්ප දැනුම ඇති මිනිසා ග්‍රාම්‍ය සහ පහත් වෙයි. මේ භූතයෝ හෙවත් මධ්‍යස්ත බලයෝ බොහෝය. විවිධය. ප්‍රේමය [ඊරෝස්] ඉන් එක් කෙනෙකි’ යි ඩයොටීමා කීවාය.

“””

ප්ලේටෝ ගේ “මධුසාදය”, සිංහල පරිවර්තනය ඩී. පී. පොන්නම්පෙරුම, පි. 68-69 (පරිවර්තනය මදක් නවීකරණය කර ඇත)