රූපයේ රජ කෙනෙකුගේ ඇඳුම් වලින් සැරසී සිටින්නේ චාල්ස් කැමරන් ය. ඔහුගේ බිරිඳ ජූලියා මාගරට් විසින් මෙය කැමරාවට නගන්නේ රජ කතාවක රූප පෙළක් වෙනුවෙනි – Julia Margaret Cameron, ‘Vivien and Merlin’; albumen silver print from glass negative (1874)

***

කුමාරි ජයවර්ධන ගේ “සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතියේ දැක්වෙන්නේ යටත් විජිත සමයේ අපේ රටේ නැගී ආ නව ධනේශ්වර පන්තියේ කතාන්දරයයි. අදටත් ලංකාවේ බොහෝ දෙනෙක් ‘ප්‍රභූත්වය’ ලෙස හඳුනා ගන්නා පුද්ගලයන්, ආයතන, සංකේත වල ඓතිහාසිකත්වය මෙමගින් අපට හෙළිදරව් වෙයි. රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, රෝයල් කොලේජ් එක, සේන්ට් බ්‍රිජට්ස් කොන්වන්ට් එක ආදී මහේශාක්‍ය සංකේත වල දුප්පත් ඉතිහාසය කුමාරි ජයවර්ධන අපට පෙන්වා දෙයි.

අප අද අත්දකිමින් සිටින්නේ කුමාරි ජයවර්ධන විසින් මෙහිදී ප්‍රතිනිර්මාණය කරන ‘ලොක්කන්’ වූ ‘සොක්කන්ගේ’ ඓතිහාසික අර්බුදයකි. නිදහසින් පසු ලංකාවේ අකණ්ඩව බලය හෙබවූ මේ ‘ලොක්කන්ගේ’ බලය අද දේශපාලනයේ දී තියුණු ලෙස අභියෝගයට ලක්ව තිබේ. එම නිසාම ඔවුන්ගේ ඉතිහාස කතාව තේරුම් ගැනීමේ දේශපාලන අවශ්‍යතාවයක් අද ඇතිව තිබේ. මේ තිබෙන්නේ එයට සුළු එකතු කිරීමකි. රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග වැනි සම්ප්‍රදායික ‘ලොක්කන්ගේ’ සිට එම ලොක්කන් ගේ පන්තියට පසුව එකතු වූ රාජපක්ෂලා වැනි ප්‍රාදේශීය ‘ලොක්කන්’ හා දේශපාලන ඉනිමග දිගේ නැග එම පන්තියට එකතු වූ ප්‍රේමදාසලා වැනි ‘ලොක්කන්’ ගැන ද තේරුම් ගැනීමට මෙය වැදගත් වනු ඇත.

අප අද කියවන්නේ කෘතියේ පස්වැනි පරිච්ඡේදය වන ‘වැවිලි කර්මාන්ත ආර්ථිකයකට පරිවර්තනය වීම’ පරිච්ඡේදයේ සාරාංශයකි. නමුත් මෙතැනින් එය ආරම්භ කිරීමට කිසිදු බාධාවක් නැත. අවශ්‍යනම් මෙතැන් සිට මුල් ලිපි සොයා නැවත කියවිය හැක. මුල් ලිපි සඳහා සබැදිය: https://bavaweb.wordpress.com/category/nobodies-to-somebodies/

***

බොහෝ අර්ථ වලින් ලාංකික සමකාලීනත්වයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකි 1833 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට සමගාමීව වර්ධනය වූ වැවිල කර්මාන්තය පිළිබඳ කුමාරි ජයවර්ධනගේ තීරණාත්මක සාකච්ඡාව අපට හමු වන්නේ “සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතියේ පස්වැනි පරිච්ඡේදයේ ය. රේන්ද ක්‍රමයෙන් උපයා ගත් ප්‍රාග්ධන අතිරික්තය, වැවිල කර්මාන්ත අයෝජන සඳහා වෙන් කර ඇති ආකාරය මෙහිදී අපට පැහැදිළි වෙයි.

වැවිලි කර්මාන්තය සඳහා නායකත්වය ගත් අයෝජකයින් මෙතෙක් මිනිසා නොදැන සිටි ප්‍රදේශවලට පවා වැවිල කර්මාන්තය රැගෙන ගියහ. ඒ සමග ඔවුහූ ඊට අදාළ තැබෑරුම් ඉදිකිරීමේ සිට යටිතල පහසුකම් පවා සකස් කළහ. 1833 දී ඇති වූ දේශපාලන පරිවර්තනය කිසිසේත් අහම්බයක් නොවේ. එයට ඊට පෙර මෙරට වෙළඳාම පාලනය කළ ලන්දේසින්ගේ තීව්‍ර මැදිහත්වීමත් බලපෑ බව කිව හැකිය. 1809 දී පමණ කාලයකත් අග්‍ර විනිශ්චකාර ලෙස කටයුතු කළ ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් කුරුඳු ඒකාධිකාරය අහෝසි කිරීම, කෝලි සහ උක් වගාවට උනන්දු කරවීම, පර්යේෂණ ගොවිපළ සහ උද්භිද උද්‍යාන පිහිටුවීම, ගාල්ල, ත්‍රිකුණාමය සහ යාපනය වරායවල් නිදහස් වරායවල් ලෙස ප්‍රසිද්ධ කිරීම, වෙළඳුන්ගේ සහ ගොවියන්ගේ සුබසිද්ධිය උදෙසා වෙළඳ කමිටුවක් ආරම්භ කිරීම, අයෝජකයන්ට එරෙහි නීති ඉවත් කිරීම, වහල් සේවය, පිටුවහල් කිරීම සහ රඳවා තබා ගැනීම නතර කිරීම, සුදුසුකම් ලත් ස්වදේශකයින් ජූරි සභාවලට පත් කිරීම, සිවිල් සේවයට බඳවා ගැනීම හා ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම වැනි යෝජනා සිදු කළේය.

ඇන්තනී බර්ටොලොච්චිද, ඇඩම් ස්මිත්ට අනුව යමින් 1817 Agricultural, Commercial and Financial interest නමින් කෘතියක් රචනා කර, යල් පිනූ වෙළඳ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි විවේචන එල්ල කළේය. එහෙත් මෙවැනි මැදිහත්වීම් අනවශ්‍ය තරම් ප්‍රගතිශීලී යැයි සිතූ බ්‍රිතාන්‍යයන් නිර්බාධවාදී ප්‍රතිපත්ති සිදු කළේ ඉතාම සෙමින්ය. 1810 දී යුරෝපීයයන්ට කොළඹින් පිටත ඉඩම් ලබා ගැනීමට අවසර ලැබුණි. 1829 දී වසර දොළහක් යන තුරු කෝපි, කපු, උක්, අවරිය, සේද සහ අබිං සඳහා ආණ්ඩුව මැදිහත් නොවන බව නිවේදනය කළේය.

බ්‍රිතාන්‍ය තුළ කාර්මික ධනවාදය සැලකිය යුතු දුරක් ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පූර්ව-ධනවාදීඅදහස් බැහැර කරමින් සිටියහ. 1833 මෙරට ඇති වූ කෝල්බෘෘක් සහ කැමරන් ප්‍රතිසංස්කරණ සිදු වන්නේදෙ මෙහි බලපෑම හේතු කොටගෙනය. මේ මොහොතේදි මෙරට ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එඩ්වඩ් බාන්ස් පෙර පැවති පාරාම්පරික ආර්ථික ක්‍රමය විශ්වාස කළ අයෙකි. එහෙත් මෙහි ඇති වූ න්‍යායික සහ සංකල්පීය දබරයෙහි ප්‍රතිඵලයක් ලෙස නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මෙරට යම් තරමකින් හෝ ආරම්භ කිරීමට හැකි විය.

මේ අතර 1832 වන විට මෙම නවීන ප්‍රතිසංස්කරණවලට නැඹුරු වූ විග් පක්ෂය (the Whigs) බලයට පැමිණියේය. ජී. සී. මෙන්ඩිස්ට අනුව කෝල්බෘෘක්, ඉවැන්ජලිකරුවන්ගේත්, ඇඩම් ස්මිත්ගේත්, ජෙරමි බෙන්තම්ගේත්, ජේම්ස් මිල් යනා දී ලේඛකයන්ගේ සහ රැඩිකල්වාදීන්ගේ බලපෑමට දැඩි ලෙස ලක් වී සිටියේය. කැමරන් ජෙරමි බෙන්තම්ගේ අනුගාමිකයෙක්ද විය. ඔහුගේ බිරිඳ, පුරාගාමී කැමරා ශිල්පිනියක වූ ජූලියා මාගරට්ගේ වූ අතර, ඇය වර්ජිනියා වුල්ෆ්ගේ මිත්තනිය වූවාය.

කෝල්බෘෘක් – කැමරන් ප්‍රතිංස්කරණවල ප්‍රධාන යෝජනා ලෙස සැලකිය හැක්කේ මේවාය:

• කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා රට පළාත් පහකට බෙදීම

• වැඩවසම් ආයතන සම්පූර්ණයෙන්ම අවසන් කිරීම

• රාජකාරී ක්‍රමය අහෝසි කිරීම

• කුරුඳු ඒකාධිකාරය අහෝසි කිරීම

• ඇඟ බද්ද අහෝසි කිරීම

• මාළු බද්ද අහෝසි කිරීම

• සූදු පොළවල් සහ මැණික් ගැරීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමය අවලංගු කර ඒවා ලිහිල් කිරීමට කටයුතු කිරීම

• ඉඩම් බද්ද ලිහිල් කිරීම

• ලුණු ඒකාධිකාරය ක්‍රමයෙන් අහෝසි කිරීම

• රජය සතු විවිධ ව්‍යාපාර වසා දැමීම

• ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික බලතල සීමා කර විධායක මණ්ඩලයක් සහ යුරෝපියකයන්ගෙන්ද, ස්වදේශිකයන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථා සභාවක් පත් කිරීම

මේ සෑම යෝජනාවක් සඳහාම එවකට ආණ්ඩුකාර බාර්න්ස් විරෝධය එල්ල කළේය. ඔහු ප්‍රකාශ කර සිටියේ දැනට (1830 දශකය) මෙරට පවතින තත්ත්වයට අනුව කිසිදු ආකාරයක හවුල් වීමක් ස්වදේශිකයන්ට ලබා නොදිය යුතු බවයි.

බාර්න්ස් මෙම නවීන පරිවර්තනවලට විරෝධය පාමින් කියා සිටියේ තම රටෙහි (බ්‍රිතාන්‍යයේ) පවතින උරුමගත සාමිවරුන්ගේ ක්‍රමයෙහි සාර්ථකවය දෙස බලන ලෙසය. සමාජයේ වෙනස් කම් විනාශ කිරීම පිළිබඳ ඔහු කණගාටු වූයේය. යම් තනතුරක් සඳහා ලාංකිකයෙකු පත් කළහොත් ඔවුන් එතැනින් නොනැවතී තව තවත් දෑ ඉල්ලා සිටිනු ඇතැයි ඔහු කියා සිටියේය. නිර්බාධවාදී ප්‍රතිපත්තියට විරුද්ධ වූ ඔහු කියා සිටියේ යුරෝපීය සමපේක්ෂකයින්ට ආකර්ෂණීය වීමට තරම් ඉඩ කඩම් මෙරට නොමැති බවය. එහෙත් අවසානයේ කොමිසමේ නිර්දේශ සඳහා බ්‍රිතාන්‍ය රජය අනුමැතිය ලබා දුන්නේය.

වැවිලි කර්මාන්තය ආරම්භ වීමත් සමග ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට රජය උනන්දුව විය. යුරෝපීය වැවිලිකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ඒ අතර ප්‍රධාන විය. විදේශ අපනයන සඳහා අවශ්‍ය බෝග පමණක් මෙහි වගා කෙරුණි.

වතු ශ්‍රමිකයන් පිළිබඳ කතාන්දරයද මේ සමග සම්බන්ධ වේ. වතු වැවිලි කර්මාන්තය තුළ තේ වත්තක් යනු රාජ්‍ය තුළ තවත් රාජ්‍යයක් විය. ශ්‍රමය සූරා කෑම වෙනුවෙන් වතු ආශ්‍රිතව දැඩි නීති රීති සහ කොන්දේසි ක්‍රියාත්මක විය. වතු වැඩ සඳහා ගෙවණු ලැබුවේ ඉතාම සොච්චම් මුදලකි. දකුණු ඉන්දීය ජාතිකයන් වූ මෙම කම්කරුවන් සෑම විටම ස්වදේශික ජනතාවගෙන් වෙන් ව තැබීමට ආණ්ඩුව දැඩි පාලනයක් සහිතව කටයුතු කළ අතර ඔවුන් වෙන් කර, ඔවුන්ගේ ජීවිතයේ සියලු අංග පාලනය කරන අධිකාරීත්වයක් ගෙන ගියේය. කුමාරි ජයවර්ධනට තරමක් ඉදිරියට ගොස් – මෙයසූ අනුව යමින් – මෙය අපට ලිබරල්වාදයේ සමාරම්භක විරුද්ධාභාශය ලෙස නම් කළ හැක. එක් අතකින් රාජ්‍යයේ පරමවාදී බලයට එරෙහිව එය නිදහස වෙනුවෙන් කරනා අරගලයක් වූ අතර එහි අප්‍රකාශිත ප්‍රතිඵලය වූයේ පුද්ගලික දේපල ලෙස සැලකෙන වහල් සේවයේ නොනිල සහ බිහිසුණු වර්ධනයකි. එක්තරා පිරිසක් අධික ධනවතුන් වන විට ඇදහිය නොහැකි ශ්‍රම කොන්දේසි යටතේ අසාධාරණ ජීවිත උරුම වූ මිනිසුන් විශාල පිරිසක් එමගින් උත්පාද විය.

රජයේ සේවකයන්ට ඉඩම් අයිති කරගැනීමට දමා තිබූ තහංචි බාර්න්ස් ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමත් සමඟ කෝපි වගාව සඳහා රජයේ සේවකයන් අතර උද්යෝගයක් ඇති විය (මෙය යළිත් 1840 දී අහෝසි කෙරුණි). ආණ්ඩුකාරවරයා විසින් ගන්නෝරුවෙහි ආදර්ශ කෝපි වගාවක්ද, අත්හදා බැලීම් කටයුතු පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී සිදු කිරීමට නියෝග කළේය. මේ අතර මහා මාර්ග වැනි යටිතල පහසුකම්ද කෝපි වගාකරුවන්ට රජයෙන් ආධාර සහ ණය ලබා දීම සිදු කෙරුණි. ඒ අතර කෝපි වගා කිරීම බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ආයෝජකයින් ‘පිස්සුවකින්‘ මෙන් සිදු කළහ.

ඒ සඳහා අනුබල දීමට ආණ්ඩුව ඉතා අඩු මිලට ඔවුන්ට ඉඩම් විකිණීය. මේ අතර ස්වදේශිකයන්ද ඔවුන්ට ඉඩම් විකුණා දැමීමට උනන්දු විය. එම නිසා මධ්‍යම පළාතේ ඉඩම් සඳහා ඉල්ලුමක් ඇති විය. මීට සාපේක්ෂව මෙම යුගයේ බ්‍රිතාන්‍යයේ කෝපි භාවිතයද වැඩි වූ අතර එම නිසා අපනයනය සඳහා වූ තීරු බදු මිලද පහත හෙළීමට යටත් විජිත ආණ්ඩුව කටයුතු කළේය. 1847 සහ 1849 කාලයේදී ලෝක වෙළඳපොලේ කෝපි සැපයුම වැඩි වීමත්, බ්‍රිතාන්‍යයේ ඇති වූ ආර්ථික පරිහානියක් හේතු කරගෙන මෙරට කෝපි වගාව අර්බුදයකට ලක් විය. එහෙත් 1850 දශකයේ යළි සක්‍රීය වුවත් 1880 ගණන්වල ඇති වූ දිලීර රෝගයක් හේතුවෙන් කෝපි වගාව අත්හැර වැවිලිකරුවන් තේ වගාවට මාරු විය.

කෝපි වගාව පැවති අවුරුදු 50 ක පමණ කාලය තුළ මෙරට වැවිලි කර්මාන්තයේ සහ ආර්ථිකයේ සැලකියයුතු වෙනසක් සිදු විය. මූලික වශයෙන් සම්ප්‍රදායික කෘෂිකාර්මික සමාජය වෙනස් වී කෘෂිකර්මය ආර්ථිකයේ කොටසක් ලෙස ඉදිරියට පැමිණියේය. විදේශ ආයෝජන ඇති වී, සංක්‍රමණික කම්කරුවන් මත පදනම් වූ නව ප්‍රාග්ධන – ශ්‍රම සම්බන්ධයක් ඇති විය. පංති අතර තිබූ බෙදීම් යළි සකස් විය. එනම් නව කම්කරු පංතියක් සහ නව ධනපතියක් බිහි විය. වැවිලිකරණය පෙර නොවූ විරූ ලෙසට වර්ධනය වීම හේතුවෙන් ඒ සඳහා අලුත් බිම් කොටස් අවශ්‍ය විය. ඒ වෙනුවෙන් කැලෑ එළිකිරීම, කම්කරුවන්ට සහ වතු පාලකයින්ට නිවෙස් ඉදි කිරීම, ඒවාට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සහ බඩු භාණ්ඩ සැපයීම යන වෙළඳ ප්‍රවේශද මේ සමඟ වර්ධනය වූ අතර එහි මූලිකත්වය ගත්තේ මීට පෙර සිටම මධ්‍යම පළාතේ වෙළදාමේ නිරත වූ වෙළෙන්දන්ය. මෙවැනි ආකාරයේ මැදිහත්වීම් තුළින් මෙරට ප්‍රාග්ධන සම්පාදන ක්‍රියාවලියක් නිශ්චිතව ආරම්භ වන බව පෙනුණි.

මේ සඳහා මාර්ග පද්ධතියක් සකස් වීමද බාර්න්ස් ආණ්ඩුකාරවරයා යටතේ සිදු විය. කොළඹ – මහනුවර, මහනුවර – මාතලේ, මහනුවර – නුවර එළිය, මහනුවර – කුරුණෑගල සහ කුරුණෑගල – දඹුල්ල, කුරුණෑගල – අඹේපුස්ස මාර්ග ආණ්ඩුව විසින් ඉදි කරන ලදී. 1867 වන විට රටේ සමස්ත මාර්ගවල දිග ප්‍රමාණය සැතපුම් 2344 (3772 km) ක් දක්වා වර්ධනය වී තිබුණි. 1880 දී වර්ධනය වීමට ආරම්භ වූ තේ වගාවට සාපේක්ෂවද යළි මහා මාර්ග ඉදි විය. 1905 වන විට එම මාර්ගවල දුර සැතපුම් 3765 (6059 km) විය. දුම්රිය මාර්ග ඉදි වීම ආරම්භ වූයේ මඳක් ප්‍රමාද වී 1867 දී පමණය. ඒ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයයි. එය 1868 දී බණ්ඩාරවෙල දක්වා දීර්ඝ කෙරුණි. පසුව 1880 දී මාතලේ – මහනුවර දුම්රිය මාර්ගයද ඉදි විය. ඉන්පසුව යාපනය සහ මාතර දක්වා වූ දුම්රිය මාර්ග ඉදි කෙරුණි. හලාවත, පුත්තලම සහ කැලණිවැලි දුම්රිය මාර්ග ඉදි කිරීම ඒ ඒ ප්‍රදේශවල ඇති වූ උද්ඝෝෂණ හේතුවෙන් පමා විය. 1905 වන විට සමස්ත දුම්රිය මාර්ගවල දිග ප්‍රමාණය සැතපුම් 488 (785km) කි. රට වටේ ගොස් ‘ලස්සන ශ්‍රී ලංකාවේ’ හැඩ බලන ජාතිකවාදියාට රට වටේ යාමට හැකි මාර්ග පද්ධතියක් නිර්මාණය වූයේ මේ ආකාරයටයි. වඩාත් රැඩිකල් ලෙස අපට රට යන අදහස සමකාලීන අර්ථයෙන් ගොඩනැගෙන්නේ මේ සමගයි කියා කිව හැක.

එඩ්වඩ් බ්‍රැන්ඩිස් ඩෙන්හැම්ගේ වාර්තාවලට අනුව යටත් විජිත ආණ්ඩුව විසින් 19 වන සියවසේදී කොළඹ වරාය සංවර්ධන කටයුතු ආරම්භ වූ අතර, දියකඩන බැමි ඉදි කර ගැඹුරු ප්‍රදේශ විශාල කර ලොව විශාලතම කෘත්‍රිම වරායක් බවට පත් කරන ලදී. විසිවැනි සියවස වන විට කොළඹ වරාය බ්‍රිතාන්‍යයන් යටතේ පවතින විශාල වරායවල් අතින් තුන් වන තැනත් මුළු ලෝකයේම හත්වෙනි තැනත් ගත් බවත් වාර්තා වෙයි.

කෝල්බෘෘක් – කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මත රාජකාරී ක්‍රමය අහෝසි වීම නිසා මාර්ග සංවර්ධන කටයුතු සඳහා වැටුප් ගෙවා සේවය ලබා ගැනීමට සිදු විය. එම හේතුවෙන් මේ විවිධ කෙෂ්ත්‍ර සඳහා කොන්ත්‍රාත්කරුවන් බිහි විය. ඒවා ඉහත කොටස්වල සඳහන් කළ රේන්ද ක්‍රමය සමඟ සම්බන්ධ විය. රාජකාරී ක්‍රමය අහෝසි වීම නිසා කම්කරුවන්ට වැටුප් ලැබෙන හෙයින් ඔවුන් දවස අවසානයේ තැබෑරුම් වෙත යාමට ද මේ සමග පුරුදු විය. මේ නිසා යළි තැබෑරුම්වල ආදායම් වර්ධනය විය.

මාර්ග, පාලම් ආදී රේන්ද කටයුතුවලින් තම ව්‍යවසායකත්ව ආරම්භ කළ රේන්දකරුවෝ පසුව අරක්කු වෙළඳාමෙන් සමෘද්ධිමත් විය. මේවා එකිනෙකට සම්බන්ධ වී තිබූ නිසා ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් මෙලෙස රේන්ද වර්ග කිහිපයක අයිතිකරුවන් විය. මෙහිදී බස්නාහිර පළාත් භාර ආණ්ඩුවේ ඒජන්තවරයා ප්‍රකාශ කළේ අරක්කු රේන්දවල වටිනාකම ඉහළ නැඟීම රටේ ක්‍රමයෙන් වැඩි වන සමෘද්ධිය හා සම්බන්ධ වූවක් බවයි.

1836 දී බස්නාහිර පළාතේ රේන්දයක වටිනාකම පවුම් 11000 ක් වූ අතර 1850 දී යම් පහළ බැසීමක් සිදු වුවත් එය 1857-58 කාලයේදී එය පවුම් 42000ක් දක්වා වර්ධනය වී තිබුණි.මධ්‍යම පළාතේද පැවතියේ මීට සමාන වර්ධනයකි. එහෙත් දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත් සැලකියයුතු මට්ටමේ උදාසීන බවක් පැවතුණි. මෙරට ධනවාදය නැග ඒමත් සමග එහි මූලික ලක්ෂණයක් ලෙස පෙන්විය හැකි මේ ආකාරයේ නිශ්චිත කලාපවලට පමණක් ආර්ථිකය සීමා වීම කැපී පෙනෙන අයුරින් සිදු විය. අවසානයේ අරක්කු වෙළඳමෙන් ලබාගත් ධනයෙන් වැවිල කර්මාන්තයට පැමිණි බොහෝ රේන්දකරුවන් තැබෑරුම්කරුවාගෙන් වැවිලිකාර ‘මහත්මයෙක්’ බවට පත් විය.

රංග මනුප්‍රිය