natura-morta-1951

 

මෙම රචනයේ මූලික තිසීසය මේ ආකාරයට සංක්ෂිප්ත කළ හැකි වෙයි: මානසික ලෝකයේ පසුකළ යා නොහැකිබව පිළිබඳව නලින් ද සිල්වා විසින් 1980 දශකයේ මැද භාගයේ ඉදිරිපත් කළ දාර්ශනික ස්ථාවරය – අපි එය මෙතැන් සිට ‘මගේ ලෝකය ප්‍රවාදය’ කියා නම් කරමු – සහ එම ප්‍රවාදය මගින් යෝජනා කරනා බුදු දහමේ එන නිවන පිළිබඳ අදහස පිළිගැනීම අතර තිබෙන්නේ සමනය කළ නොහැකි ආතතියකි. අපි දැන් මෙය විදාරණය කිරීමට උත්සාහ කරමු.

මනසින් පරිබාහිරත්වය පිළිබඳව සිතීම යනුම මානසික ක්‍රියාවලියක් වන නිසා එය සැබෑ ලෙස මනසින් පරිබාහිරත්වයක් වන්නේ නැත යන්න අපට හඳුනා ගත හැක්කේ නිශ්චිත වශයෙන් දාර්ශනික තර්කයක් ලෙසයි. සත්‍යය වශයෙන්ම මෙය සාමාන්‍යයෙන් අප බොහෝ දෙනෙක් ලෝකය පිළිබඳව සිතන ආකාරය හා සමපාත වන අදහසක් නොව එම, ‘ස්වභාවික’ සේ දැනෙන, අවබෝධයට එරෙහිව යන්නකි. දර්ශනය යනු අපට ස්වභාවික ලෙස හැඟෙන මත (doxas) ප්‍රශ්න කිරීමට, විචාරයට බඳුන් කිරීමට බල කර සිටින මෙහෙයුමක් ලෙස අප හඳුනා ගන්නේ මෙම නිසාය. එම අර්ථයෙන් දර්ශනය කිසිදා ස්වභාවිකවාදයක් වන්නේ නැත. එමගින් යෝජනා කරන්නේ ස්වභාවිකවත්වයෙන් වෙන් වීමකි. දුරස්ථ වීමකි. පරාරෝපණය වීමකි. සරල ස්වභාවිකවාදයක සිටිනා සම්ප්‍රදායික භෞතිකවාදීන් හටද මගේ ලෝකය ප්‍රවාදය මගින් යෝජනා කරනා දාර්ශනික තර්කය පිළිගැනීමට ඉතාම අපහසු වන්නේ ඇයිද යන්න අපට මේ මගින් වටහා ගත හැකි වේ.

අප අවට තිබෙනවා කියා පෙනෙන දේ සියල්ල තිබෙන්නේ, කිසියම් මූලික අර්ථයකින්, මාගේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වය තුළ කියා අප සාමාන්‍යයෙන් සිතන්නේ නැත. මා දැන් සිටිනා මෙම කාමරයෙන් පිටව ගිය පසුත්, නිදර්ශනයක් ලෙස, මෙහි තිබෙනා විවිධ බඩු – මේසය, පුටුව, පරිඝණකය, පොත් – එලෙසම පවතිනු ඇතැයි කියා අප සාමාන්‍යයෙන් සිතයි. නමුත් ගැටලුව වන්නේ – මගේ ලෝකය ප්‍රවාදය මගින් අපට නැවත නැවතත් මතක් කර දෙන පරිදි – මේ සියල්ල තිබෙනවා කියා ගැනීමේ අති මූලික කොන්දේසිය වන්නේ ඒවා පිළිබඳව ‘මම’ සිතමින් තිබීමයි. මම සිතන්නේ නොමැති වූ විට ‘එම දේ තිබෙනවා’ යන්න මගින් අදහස් කරන්නේ කුමක්ද යන්න අපට, විසංවාදයකින් තොරව, පෙන්වා දිය නොහැකි වේ. ඒවායේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අපට ඇති ප්‍රාථමික කොන්දේසිය වන්නේ ඒවා පිළිබඳව ‘මම සිතීමයි’ – ජාතික චින්තනවාදය අපට යළි යළිත් මතක් කර දෙන්නේ මෙයයි. මේ සිතීමෙන් පරිබාහිරව ලෝකයක් තිබෙනවා කියා ගැනීම කිසිදු අයුරකින් අපට තාර්කිකව පෙන්වා දිය හැකි නිගමනයක් නොවන අතර එය සැලකිය හැක්කේ හුදු විශ්වාසයක් ලෙස පමණි. එය, අප සාමාන්‍ය ජීවිතයේදී පහසුව සඳහා ‘සම්මුති අරුතින්’ ඇති කර ගන්නා එකඟතාවයකට වැඩි දෙයක් නොවේ. මගේ ලෝකය ප්‍රවාදය විසින් අපෙන් ඉල්ලා සිතන්නේ මේ හුදු විශ්වාසය ප්‍රශ්න කර එහි ඇති දාර්ශනික විසංවාදය තේරුම් ගන්නා ලෙසයි.

නමුත්, අනෙක් අතට, නිවන පිළිබඳව සංවාදය තුළ මගේ ලෝකය ප්‍රවාදය සිට ගන්නේ මෙහි අනෙක් අන්තයේදීය. එම තලයේදී ජාතික චින්තනවාදියා අපෙන් ඉල්ලා සිටින්නේ තර්ක බුද්ධියෙන් සියල්ල සිතීම අනවශ්‍ය වන බවත් සමහර දේ විශ්වාසය මත පමණක් බාර ගැනීමට සිදු වන බවත්ය. වෙනත් ආකාරයකට කියන්නේනම්, එමගින් යෝජනා කරන්නේ අපට ‘ස්වභාවික’ ලෙස හැඟෙනා අදහස්, අප ජීවත් වන සමාජීය සන්දර්භයෙන් අප වෙත උරුම වෙන අදහස්, එලෙසින්ම – අඩු වැඩි වශයෙන් – බාර ගන්නා ලෙසයි. සිංහල බෞද්ධ සමාජයක හැදී වැඩෙනා පුද්ගලයෙක් හට ‘බුදු දහමේ සත්‍යය’ තරම් නිවැරදි ලෙස හැඟෙනා වෙනත් අදහසක් නොමැති විය හැක. එම අර්ථයෙන් එය අප සතු වන වඩාත්ම ‘ස්වභාවික’ ලෙස දැනෙනා අදහස ලෙස තේරුම් ගත හැකි වේ. නමුත් අප මේ නිවන පිළිබඳ අදහස, මගේ ලෝකය ප්‍රවාදයේ ඉහත පළමු සහ නිශ්චිත වශයෙන්ම දාර්ශනික වන්නා වූ තර්කය ඇසුරින් පැහැදිළි කරන්නේනම් අපට ලැබෙන්නේ කවර ආකාරයේ නිගමනයක් ද?

මෙය පැහැදිළි කිරීමට පෙර අතුරු කරුණක් සඳහන් කිරීම වැදගත් බව පෙනී යන්නේ මේ සංවාදය සඳහා මේ වනවිටත්, විවිධ අයුරින්, ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනෙකු මෙම නිශ්චිත කාරණය වරදවා වටහාගෙන ඇති නිසාය. අපගේ උනන්දුවේ පරිධිය වන්නේ මගේ ලෝකය ප්‍රවාදය තුළ නිවන සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් පරීක්ෂා කර බැලීම සහ එය ඉහත දාර්ශනික සංවාදය සමග පෙළ ගැස්සවිය හැකි කොන්දේසි විමසා බැලීමයි. එනිසා, මෙම කතිකාවෙන් පරිබාහිරව, ‘සැබෑ බුදු දහමේ’ නිවන හෝ ඒ හා සම්බන්ධ වූ අනෙකුත් අදහස් හෝ සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කිරීමට මෙහිදී උත්සාහ කර නොමැත. මෙය ‘බුදු දහම’ පිළිබඳව සංවාදයක් ලෙස නොව ‘මගේ ලෝකය ප්‍රවාදය’ පිළිබඳව සංවාදයක් ලෙස පමණක් තේරුම් ගත යුත්තේ එම නිසාය. මෙහි මූලික උපකල්පනය වන්නේ ‘නිවන’ සම්බන්ධයෙන් ජාතික චින්තනවාදය තුළ තිබෙනා අදහස් ඒ සඳහා ඇති නිවැරදි අර්ථකථනය බව පිළිගැනීමයි. එසේත් නැතිනම්, අප මෙහිදී සිදු කරන්නේ ‘නිවන’ පිළිබඳව මගේ ලෝකය ප්‍රවාදයේ එන අදහස විමසා බැලීම මිස එයින් පරිබාහිරව මේ වචනය සඳහා ඇති අර්ථ විවරණ පිළිබඳව සාකච්ඡාවක් සිදුකිරීම නොවේ. මේ සඳහා මගේ ලෝකය ප්‍රවාදයේ එන අර්ථකථන සමග එකඟ නොවන්නා වූ කෙනෙකු හට බුදු දහම සම්බන්ධයෙන් ලබා දිය යුතු වඩා නිවැරදි අර්ථකථනය කුමක්ද යන්න පිළිබඳව සංවාදයක් කළ යුතු වන්නේ ජාතික චින්තනවාදයේ නියෝජිතයන් සමග මිස අප සමග නොවේ.

අපි නැවතත් අපගේ මූලික ප්‍රස්තූතය වෙත යමු. නිවන පිළිබඳව දීර්ඝ කාලයක් පුරා නලින් ද සිල්වා විසින් ලබා දී තිබෙන අර්ථ විවරණය බොහෝ දෙනෙකු අසා තිබෙනු ඇත. එයට අනුව නිවන යනුවෙන් හැඳින්විය හැක්කේ නැති මනස නැති මනසක් බව නැති මනසින් වටහා ගැනීම වේ. දැන්, ඉහත පළමු තර්කයේ කොන්දේසි යටතේ මෙය විමසා බැලුවහොත් අපට පැමිණිය හැකි නිගමනය වන්නේ කුමක්ද? පළමු, සහ පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි දෙය වන්නේ – ඉහත තර්කයට සාපේක්ෂව ගත්විට – ‘නැති මනසින් වටහා ගැනීම’ යන්න මුළුමනින් අරුත්සුන් ප්‍රකාශයක් ලෙස පමණක් ගත හැකි බවයි. ‘මනසින් තොරව යථාර්ථය’ දැකිය නොහැකි ලෙසම ‘මනසින් තොරව මනස ලෙස හඳුනා ගන්නා දෙය’ දෙසද බැලීමට අපට හැකියාවක් නැත.  වෙනත් ආකාරයකට කියන්නේනම්, මනසින් පරිබාහිරත්වයක් පිළිබඳව සිතීම යන්න, එය සිතීමක් වන නිසාම, මනසින් පරිබාහිරත්වයක් නොවන්නේ යම් සේද, නැති මනසින් වටහාගැනීම – ‘දැකීම’, ‘අවබෝධ කර ගැනීම’, ‘පසක් කර ගැනීම’ – එය වටහාගැනීමක් වන නිසාම, මනසක් නැතිව විය හැකි නොවේ. අවම වශයෙන් එවැන්නක් විය හැක්කේ කෙසේද කියා අපට පැහැදිළි වන්නේ නැත. නමුත්, ඉහත පළමු අවස්ථාවේදී, බාහිර ලෝකය සහ එහි ඇති විවිධ දේ වල පැවැත්ම සම්බන්ධයෙන් අපට ඇති විශ්වාසයට පාදක වන පොදු ආකල්ප දාර්ශනිකව – අවිසංවාදී නියමය බිඳ නොවැටෙනා ලෙස – ප්‍රශ්න කිරීමට ආරාධනා කරනා ජාතික චින්තනවාදියා, මෙහිදී – නිවන පිළිබඳව සිතීමේදී – අපෙන් ඉල්ලා සිටින්නේ එම පළමු තර්කය අමතක කර දමන ලෙසයි. එය එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් ද?

මගේ ලෝකය ප්‍රවාදයේ ඇති අත්‍යන්ත ශක්තිය රැඳී තිබෙන්නේ එහි පළමු – දාර්ශනික – තර්කය තුළ වේ යන්න ඉතාමත් පැහැදිළි වන්නකි. මෙම තර්කයේ ලාංකික ආගමනයෙන් පසුව භෞතිකවාදය පිළිබඳව සංවාදය මෙරට බුද්ධිමය සංවාදයෙන් තීරණාත්මක ලෙස පසුබැස ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මෙම තර්කය හමුවේ භෞතිකවාදයට පක්ෂ වූ අය, එක්කෝ, මෙම සංවාදයෙන් ඉවත් විය, එසේත් නැතිනම්, ඔවුන් කියනා දෙයෙහි වලංගුබව මුළුමනින්ම බිඳ වැටුණි. නලින් ද සිල්වා ගේ ප්‍රචණ්ඩ, ආවේගශීලී සටන් පාඨය අනුව එය ප්‍රකාශ වූයේ ‘සියළු ආකාරයේ භෞතිකවාදීන්ට වඩා මැට්ටන් සිටිය හැකිද’ යන ප්‍රශ්නයේ ආකෘතියෙනි. මෙම ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලනික-දාර්ශනික උනන්දුවක් ඇති නව පරම්පරාව තුළ, අද වන විට, භෞතිකවාදය යනු තවදුරටත් එතරම් ජනප්‍රිය ආස්ථානයක් වන්නේ නැත. අපි නැවතත්, ඉතාම සංක්ෂිප්ත, ලෙස මගේ ලෝකය ප්‍රවාදයේ මෙම දාර්ශනික තර්කයේ ඇති අත්‍යන්ත ශක්තිය කුමක්ද කියා විමසා බලමු.

‘මගේ’ ලෙස හඳුනා ගැනෙනා අවබෝධයක්, අර්ථකථනයක්, සිතීමක් නොමැතිව අපට කිසිදු ආකාරයක පැවැත්මක් පිළිබඳව සිතා බැලීම කළ නොහැකි වේ. මෙහි ගැඹුරුම අර්ථය වන්නේ මෙම ‘මගේ ලෝකයෙන්’ පරිබාහිරත්වයක් සිතා ගැනීම විසංවාදී වන බව පමණක් නොව මේ ‘මම’ නම් වූ දෘෂ්ඨිකෝණය නොමැති වන්නේ කෙසේද යන්න ද අපට සිතා ගත නොහැකි වීමයි. වෙනත් ආකාරයකට කියන්නේනම් මෙහි ප්‍රශ්නය වන්නේ මම නොමැතිව ලෝකය පිළිබඳව සිතීමේ නොහැකියාව පමණක් නොව මම නොමැති වීම යන්නම සිතා ගත නොහැකි වීමයි. මක්නිසාද යත්, මගේ ලෝකය ප්‍රවාදයේ අතිමූලික තර්කයට අනුවම, මනස නොමැති බව මනසින් තොරව සිතීම පරස්පරයක් වේ. මා මේ මොහොතේ සිටිනා කාමරය මා නොමැතිව පවතින්නේ කෙසේද යන්න මට සිතා ගැනීම ඉතාම අපහසු බව පැහැදිළි වෙයි. මේ කාමරය තුළ සිටිනා මම යනු මේ කාමරයේ තිබෙනා තවත් එක් වස්තුවක් පමණක් නොව මුළු කාමරය වෙතම හෙළා ඇති දෘෂ්ඨිකෝණයක් ද වේ. කාමරයේ ඇති අනෙකුත් දේ සියල්ල දිශානත වී තිබෙන්නේ මෙම දෘෂ්ඨිකෝණය වෙතයි. අප කොතරම් උත්සාහ කළත්, මේ ආකාරයේ දෘෂ්ඨිකෝණයකින් තොරව මෙම කාමරය අපට ‘දැක ගත’ හැක්කේ කෙසේදැයි සිතා ගත නොහැකි වේ. මගේ ලෝකය ප්‍රවාදය විසින් පොදුවේ ගත්විට විශේෂයෙන් අවධාරණය කරනු ලබන්නේ එහි මූලික තර්කයේ මෙම කොටසයි. එම ප්‍රවාදය විසින් එතරම් සැලකිල්ලක් නොදක්වන නමුත් අපේ නිශ්චිත ප්‍රශ්නයට අතිශයින් කේන්ද්‍රීය වන තවත් කොටසක් ද මෙම තර්කයට තිබේ. ඒ තමයි, ඉහතින් ද කියා ඇති පරිදි, මාගේ මානසික ලෝකයේ නොපැවැත්ම සිතා ගත නොහැකි වීම. සිතා ගැනීම යනු සෑම විටම අපේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වයට අයත් වන්නක් වන නිසා එම මානසික ලෝකය නොමැති වීම සිතන්නට යන ඕනෑම කෙනෙක් හසු වන්නේ අප මේ වන විට හොඳින් වටහාගෙන ඇති විෂම චක්‍රය වෙතටයි.

එනිසා, මේ ආකාරයට ලෝකය වෙත වූ දෘෂ්ඨිකෝණයක් නොවනා ලෙස ‘මම’ යන්න (නො)පැවතිය හැක්කේ කෙසේද කියා අපට වටහා ගැනීමට නොහැකි වේ. අප කොතරම් උත්සාහ කළත් අපට මෙම දෘෂ්ඨිකෝණයේ නොපැවැත්ම යන්න සිතා ගත නොහැකි දෙයකි. මා අවට සියල්ල නොමැති බව මට සිතා ගත හැකි වුවත් එය සිතා ගැනීම සඳහා මගේ මානසික ලෝකය පැවතිය යුතු වේ. මනසින් තොරව යථාර්ථයක් නොමැති බව මට සිතා ගත හැකි වන්නේ මගේ මානසික ලෝකයේ අභ්‍යන්තරත්වය තුළ සිටයි. සෑම දෙයක්ම වටහා ගැනීමේ පළමු සහ පසුකර යා නොහැකි කොන්දේසිය වන්නේ මෙයයි. එවැන්නක් නොමැති වනවා යනු මට රැඩිකල් ලෙස සිතා ගත නොහැකි දෙයකි. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම නිගමනයට පදනම් වන දාර්ශනික ස්ථාවරය අපට ලබා දෙන්නේ මගේ ලෝකය ප්‍රවාදය බවයි.

අතිශයින් වැදගත් මෙම අදහස අපි තවදුරටත් පැහැදිළි කරගනිමු. එක්තරා අර්ථයකින් අපගේ නොපැවැත්ම තේරුම් ගැනීම කිසි සේත් අපහසු නොවේයැයි කෙනෙකු පැවසීමට ඉඩ තිබේ. අපගේ මරණය සම්බන්ධයෙන් අප සියළු දෙනා හට අවබෝධයක් තිබේ. කෙදිනක හෝ අප මිය යන බව අපි දනිමු. සමහර මිනිසුන් සිය ජීවිතය අවසන් වූවාට පසුව ඔවුන් සතු දේපළ බෙදී යා යුතු ආකාරය ලියා තබයි. මෙවැනි අර්ථයන් වලින් අපගේ පැවැත්ම – අවම වශයෙන් මෙම ජීවිතය – අවසන් වන බව සිතා ගැනීම අපහසු වන්නක් නොවේ.

තරමක් කල්පනා කළ බැලූ විට තත්වය මෙයට වඩා සංකීර්ණ වන බව පැහැදිළි විය යුතුය. අපගේ අනාගත මරණය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ පූර්වාපේක්ශාවකි. මිනිසුන් කිසියම් කාලයකට පසුව මිය යනවා කියන දැනුම අප සතු වන බැවින්, එයට අනුව, අපද මිය යනවා කියා අප සමපේක්ෂණය කරයි. නමුත් අපගේ මරණයෙන් පසුව ලෝකය පවත්නා ආකාරය සම්බන්ධයෙන් අප සිතන්නේ කෙසේද? අපට මේ සඳහා තිබෙන එකම ආකාරය වන්නේ අපට දැන් ලෝකය දැක ගැනීමට හැකි ආකාරයයි. මගේම මල සිරුර වුවත් මට පරිකල්පනය කරගත හැකිය – මාගේ සිරුර මිනී පෙට්ටියක තැන්පත් වී ඇති ආකාරය මට පරිකල්පනය කරගත හැකිය. නමුත් එය මා පරිකල්පනය කරන්නේ මේ මොහොතේ මා අනෙකුත් දෙවල් දකිනා ආකාරයට පමණි. මගේම මරණ ගෙදර පිළිබඳව මට සිතිය හැක්කේ මා වෙනත් දේ පිළිබඳව සිතනා ආකාරයටම වේ. එය මට සිතා ගත හැක්කේ මා එහි සිටියානම් එය මට පෙනෙනා ආකාරය සිතා බැලීමෙන් පමණි. මගේ මරණයෙන් පසුව විය හැකි සෑම දෙයක් සම්බන්ධයෙන්ම අපට සිතා ගත හැක්කේ මේ ආකාරයටම පමණක් වේ. මෙයට හේතුව වන්නේ අපගේ නොපැවැත්ම යන්න අපට සිතා ගත නොහැකි වීමයි. මෙයට අවශ්‍ය තර්කය – අවම වශයෙන් ලාංකික සන්දර්භය තුළදී – අපට ලබා දෙන්නේ අන් කිසිවක් නොව මගේ ලෝකය ප්‍රවාදය යන්න වටහා ගැනීම අපහසු නොවේ. මගේ මානසික ලෝකයේ නොපැවැත්ම පිළිබඳව සිතීම අයත් වන්නේ මගේ මානසික ලෝකයේ අභ්‍යන්තරයට වන නිසා එය කළ හැකි වන්නේ මගේ මානසික ලෝකය තිබෙන්නේනම් පමණි.

මේ අනුව පැහැදිළි විය යුත්තේ මගේ ලෝකය ප්‍රවාදය මගින් ප්‍රතික්ෂේප වන්නේ සම්ප්‍රදායික භෞතිකවාදය පමණක් නොවනා බවයි. ඒ හා සම ලෙසම, මේ මගින්, අපගේ මානසික ලෝකයේ නොපැවැත්ම පිළිබඳව සිතීමේ හැකියාව ද අපට තහනම් කරයි. ‘නිවන’ යනුවෙන් අදහස් කරන්නේ ‘නැති මනසින් වටහා ගත යුතු’ දෙයක් කියා අප කියන්නේනම් මෙයින් අදහස් වන්නේ එය අපට කිසිදා සිතා ගත නොහැකි දෙයක් වන බව පමණක් නොව එවැන්නක් විය හැකි ආකාරය සිතා ගැනීමටද නොහැකි වන බවයි. මනසින් පරිබාහිර ලෝකයක දේවල් වල පැවැත්ම – අපි මෙය ‘භෞතිකවාදය’ කියා නම් කරමු – ප්‍රතික්ෂේප කරනා ජාතික චින්තනවාදියා හට, එම ආස්ථානය තුළ සිටගනිමින් මානසික ලෝකය යනුවෙන් යමක් නොපවතින බව මානසික ලෝකයෙන් පරිබාහිරව වටහා ගැනීමේ හැකියාව පිළිගැනීම සඳහා තර්කයක් ඉදිරිපත් කළ නොහැකි වෙයි. ඔහුට හෝ ඇයට හෝ කිව හැක්කේ එය අපගේ වර්තමාන මානසික ලෝකයේ සිට බැලූ විට රැඩිකල් ලෙස සිතිය නොහැකි දෙයක් වන බව පමණි. එපමණක් නොව, එය අපගේ මානසික ලෝකයෙන් පරිබාහිර දේවල් වල පැවැත්ම සිතීම කළ නොහැකි වීමට සමාන ලෙසම කළ නොහැකි වන්නක් බව පිළිගැනීමට ඔහුට හෝ ඇයට හෝ සිදු වේ. වෙනත් ආකාරයකට කියන්නේනම් අපගේ මනසින් පරිබාහිර භෞතික දේවල් වල පැවැත්ම ප්‍රතික්ෂේප කරනා ජාතික චින්තනවාදියෙක් සඳහා යමක් ‘නැති මනසින් වටහා ගැනීමේ’ හැකියාව පිළිගැනීම සඳහා තමන්ගේම තර්කය ඉඩ ලබා දෙන්නේ නැත. මේ දෙකම සම්බන්ධයෙන්, අපගේ මානසික ලෝකයට සාපේක්ෂව ගත්විට, අපට ඇත්තේ පූර්ණ නොදැනුමකි. භෞතික ලෝකය මෙන්ම නිවන ද අයත් වන්නේ අපගේ මානසික ලෝකයෙන් මුළුමනින් වෙන්ව ගිය හැකියාවන් වෙතටයි. ඒවා ‘රැඩිකල් අනේකත්වයන්’ (‘radical othernesses’) යනුවෙන් අප මෙයට පෙර නාමකරණය කළේ මෙම හේතුව නිසාය.

 

ජාතික චින්තනවාදය විසින් භෞතිකවාදීන්ට එල්ල කළ ජනප්‍රිය අභියෝගය ඇසුරින් ද මෙය පැහැදිළි කර ගත හැකි වේ. බොහෝ දෙනෙකු අසා ඇති පරිදි, එම අභියෝගය සූත්‍රගත වූයේ මෙම ආකාරයටයි: ‘මනසින් තොරව යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වා දෙන්න!’ අපට දැන් මෙම අභියෝගය පෙරළා ජාතික චින්තනවාදය වෙත මේ ආකාරයට යොමු කළ හැකි වේ: ‘මනස නොමැති බව මනසින් තොරව පෙන්වා දෙන්න!’ මෙය කළ නොහැකි බව අපි දනිමු. එම අර්ථයෙන්, මගේ ලෝකය ප්‍රවාදයේ දාර්ශනික ප්‍රතිවිඵාක සළකා බැලීමේදී අප ‘භෞතිකවාදියාට’ එරෙහිව මතු කළ ප්‍රචණ්ඩ ප්‍රශ්නය – ‘සියළු ආකාරයේ භෞතිකවාදීන්ට වඩා මැට්ටන් සිටිය හැකිද’ – අප සත්‍ය වශයෙන්ම භෞතිකවාදීන්ට සහ බෞද්ධයන්ට එරෙහිව, එකම ආකාරයකට, යොමු කළ යුතු නොවේද?

මගේ ලෝකය ප්‍රවාදය එහි තාර්කික අවසානය වෙත ගෙන ගිය විට අපට හමුවන්නේ සදාකාලික විඥ්ඥානයක් සහිත පූර්ණ විකසිත විඥ්ඥානවාදයක් බව මේ වනවිට පැහැදිළි විය යුතුය. මානසික ලෝකයෙන් විනිර්මුක්ත වූ භෞතික යථාර්ථයක් මෙන්ම මානසික ලෝකයේ නොපැවැත්ම සිතා බැලීම සඳහාද ඒ මගින් අපට ඉඩ ලබා දෙන්නේ නැත. ‘නිවන’ වැනි අනේකත්වයක් පිළිබඳ – හුදු ඇදහිල්ලක් නොවන ලෙස – උපන්‍යාසයක් පිළිගැනීමට එහි බුද්ධිමය හැකියාවක් නොමැති වෙයි. එවැන්නක් කිරීම සඳහා මගේ ලෝකය ප්‍රවාදය තරමක් සංශෝධනය කළ යුතු වේ. කරුණුමයභාවය (facticity) පිළිබඳ අදහස ඇසුරින් මේ සඳහා අපට ප්‍රවේශ මාර්ගයක් විවර කර ගත හැකියැයි මම විශ්වාස කරමි. අපි තවත් ලිපියකින් මේ හැකියාව පැහැදිළි කර ගනිමු.

 

– වංගීස සුමනසේකර –

 

***