No description available.

Image: Robert Rauschenberg Cy and Relics 1952 gelatin silver print

පළමුවෙන් කිව යුත්තේ අනුර ගේ මල්වතු-අස්ගිරි ගමන සම්බන්ධයෙන් අමරකීර්ති ගේ කෙටි සටහන සම්බන්ධයෙන් වඩාත් තියුණු දාර්ශනික නොඑකඟතාවය තිබෙන්නේ අප නියෝජනය කරන න්‍යායික ආස්ථානයට විය හැකි බවයි. (අමරකීර්තිගේ සටහන මෙතනින්) ‘පශ්චාත් ලෞකික චින්තනය’ (‘post secular thought’) යනු එක්තරා අර්ථයකින් අපගේ අංක එකේ දාර්ශනික ප්‍රතිවාදියාය. දාර්ශනික නූතනත්වයේ අභ්‍යන්තර වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ආගම ඉදිරියේ දර්ශනය මුළුමනින්ම නිෂ්ක්‍රීය වන ආකාරය වඩාත් හොඳින් ප්‍රකාශමාන වන දාර්ශනික ස්ථාවරය වන්නේ පශ්චාත්-ලෞකික චින්තනය කියා අපි කියමු.

සංක්ෂිප්ත වශයෙන්, මිනිසාගේ සිතීම සීමාසහිත වේ – පරිමිත වේ – යන අති මූලික නූතනවාදී තිසීසයේ අනිවාර්යය ප්‍රතිඵලය වන්නේ මෙයයි. අපේ සිතීම පරිමිත වන්නේ නම් ආගම මගින් යෝජනා කරනා සිතිය නොහැකි දෙය (the unthinkable) වැරදි වනවා කියා අප සහතික වන්නේ කෙසේද? එය අපේ දැනුමේ නෛසර්ගික සීමාව විය නොහැකිද? අපට සිතා ගත නොහැකි අර්ථයකින් ආගම සත්‍යය විය නොහැකි ද? පශ්චාත් ලෞකික චින්තනය යනු මේ ස්ථාවරයේ වඩාත් රැඩිකල් ප්‍රකාශනයයි (අමතර කරුණක් ලෙස මෙහිදී අමරකීර්ති පශ්චාත් ලෞකික චින්තනය වක්‍රව නියෝජනය කරනවා කියා රොමිලා තාපර් සහ අමර්තයා සෙන් වැනි අය යෝජනා කිරීම තරමක් නොමග යවනසුළු අදහසක් කියා ද කිව යුතුය – අපට අනුව පශ්චාත් ලෞකික චින්තනයේ කේන්ද්‍රීය චින්තකයන් වන්නේ ඉමැනුවෙල් ලෙවිනාස්, යුර්ගන් හබර්මාස්, ජොන්-ලක් මරියොන්, ජියානි වටිමෝ, ජෝන් ඩි කැපුටෝ වැනි අයයි).

අප සිතනා ලෙස දැනුමේ පරිමිතත්වය පිළිබඳ මෙම නූතනවාදී තිසීසය බෙහෙවින් දේශපාලනිකව හානිකර වෙයි. මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස ආගම සම්බන්ධයෙන් නූතන මිනිසාට ඉතිරි වන්නේ ‘ආචාර්ය ධාර්මික’ විවේචනයක් කිරීමට පමණි. අමරකීර්ති ගේ රචනයෙන් මෙය හොඳින් පැහැදිළි වෙයි. එහිදී අමරකීර්ති අතින් විවේචනය වන්නේ ආගමේ නාමයෙන් සිදුකරන – ‘ඥානසාර’ පන්නයේ – ආන්තික හැසිරීම් පමණි. නමුත් සත්‍යය වශයෙන්ම මෙය දාර්ශනිකව බෙහෙවින් දුර්වල ස්ථාවරයක් කියා අපි සිතමු. දැනුමේ පරිමිතත්වය පිළිබඳව අදහස එහි රැඩිකල් අන්තයට ගෙන ගිය පසු බුද්ධිමත් භක්තිවන්තයෙක්ට මෙවැනි විවේචන පහසුවෙන් ප්‍රශ්න කළ හැකිය. සරල ලෙස ලියන්නේ නම් එවැනි කෙනෙක් අසනු ඇත්තේ මෙවැන්නකි: ‘ඔබගේ පරිමිත තර්ක බුද්ධිය මගින් යෝජනා කරන ‘අයහපත’ අපගේ අපරිමිත ආගමික සත්‍යයේ දෘෂ්ඨිකෝණයෙන් ගත්විට ‘යහපත’ වන්නේ නම් එය වැරදි බව ඔබ පෙන්වා දෙන්නේ කෙසේද? මිනිසාගේ දැනුම නෛසර්ගිකව සාපේක්ෂ වන නිසා ඔබ යහපත ලෙස දකිනා දෙය නිරපේක්ෂ යහපතක් නොවේ. එම නිසා අපේ ආගමේ සත්‍යය විසින් ඉල්ලා සිටින සමහර දේ ඔබට ‘අයහපත්’ ලෙස පෙනී යාම සම්බන්ධයෙන් අපට කරන්න දෙයක් නැත.’

අප සිතනා ලෙසට අමරකීර්ති නියෝජනය කරන න්‍යායික ස්ථාවරයේ සිට මෙම භක්තිවාදී ස්ථාවරය ප්‍රශ්න කිරීම බෙහෙවින් අපහසු වන්නේ මේ ස්ථාවර දෙකම එකම මූලාශ්‍රයකින් පැන නගින නිසාය – දෙකම පෙනී සිටින්නේ තර්ක බුද්ධියේ පරිමිතත්වය වෙනුවෙනි. (මෙය ‘හුදු’ න්‍යායික සංවාදයක්ම නොවනා බව මෙහිදී අවධාරණය කළ යුතුය. මේ අදහස නලින් ද සිල්වා වැනි අය ඥානසාර හිමි සම්බන්ධයෙන් ඍජුවම කියා සිටිනවා පමණක් නොව ඥානසාර හිමි ගේ ජනාධිපති කාර්යය සාධක බලකායේ නලින් ද සිල්වා ගේ සමීපතමයෙක් වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ සුමේධ වීරවර්ධන සාමාජිකයෙක් ද වෙයි.)

කෙසේ වුවත් මෙහිදී වැදගත් කරුණක් කිව යුතුය. විවිධ න්‍යායික ස්ථාවරයන් තිබීම කිසි සේත් නරක දෙයක් නොවේ. සිය ස්ථාවරය වෙනුවෙන් ශාස්ත්‍රීය සංවාදයක් කිරීමට අමරකීර්ති සූදානම් බව සිය රචනයේම කියා තිබුණි. මාවෝවාදය විසින්ම උත්ප්‍රාසජනක ලෙස අමතක කරන ලද ‘දහසක් මල් පිපේවා’ යන මාවෝ ගේ සුප්‍රකට අදහස තරම් දේශපාලනිකව වැදගත් අදහසක් මේ කාලයේ සමහරවිට නොමැති විය හැකිය. අනුර ගේ මල්වතු විහාර ගමන සම්බන්ධයෙන් විවේචන එල්ල වීම ද යහපත් දෙයක් වන්නේ මෙම නිසාය (මෙය අමරකීර්ති ද කියා තිබුණි). නමුත් මෙහිදී අප ඉතා නිශ්චිත වශයෙන් විරුද්ධ වන අදහසක් වන්නේ අනුර වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටීම ‘මහින්ද පතිරණකරණයක්’ ලෙස අර්ථකථනය වීමේ ප්‍රවණතාවයයි. අමරකීර්ති සහ අනුර අතර සම්බන්ධය මහින්ද පතිරණ සහ බැසිල් රාජපක්ෂ අතර සම්බන්ධය හා සම නොවන බව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙක් පිළිගනු ඇත. නමුත් මේ සරල කරුණ බොහෝ දෙනාට පැටලී තිබෙන්නේ ඇයි? මෙයට එක් හේතුවක් ලෙස අප යෝජනා කරන්නේ මෙයයි: ජවිපෙ නොවන, ජවිපෙ නොදන්නා පාරිශුද්ධ වමක් ඇති බවත්, එම වම විසින් අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාමාර්ග ඇති බවත්, ඒවා අනුගමනය කළ පසු නිවැරදි සමාජ පරිවර්තනය සිදුවනු ඇති බවත් විශ්වාස කරනා බුද්ධිමය තීරුවක් අපේ රටේ විකල්ප අවකාශ වල තවමත් බලපෑමක් කිරීමට සමත් වී සිටියි. අවාසනාවට මේ අය නොකරන එකම දේ වන්නේ මේ නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සැබෑ වම ගොඩ නගා සමාජ පරිවර්තනය සිදු කිරීමයි. එම නිසා එම නිවැරදි වැඩ පිළිවෙල සමග සම්බන්ධ වීමට අපට හැකි වන්නේ නැත.

අප සිතනා ආකාරයට අමරකීර්ති සහ අප මෙතැන දී නියෝජනය කරන්නේ මෙයට වඩා බෙහෙවින් නිහතමානී ස්ථාවරයකි. අප ‘සැබෑ වම’ විසින් අනුගමනය කළ ‘නිවැරදි වැඩ පිළිවෙල’ කුමක්ද කියා දන්නේ නැත. එම නිසා අපට තිබෙන්නේ, එක් අතකින් අප නියෝජනය කරන මතවාදී ව්‍යාපෘති – අමරකීර්ති විසින් සාහිත්‍යය සම්බන්ධයෙන් සිදු කරන මැදිහත්වීම්, අප විසින් දර්ශනය සම්බන්ධයෙන් සිදු කරන මැදිහත්වීම් – සිදු කිරීම සහ, අනෙක් අතින්, මහේක්ෂ දේශපාලනයේ පරිවර්තනයකට දායකත්වයක් ලබා දීමයි. එහිදී අපට තිබෙනා ප්‍රායෝගික තෝරා ගැනීම වන්නේ ජවිපෙ සහ ජාතික ජන බලවේගය කියා සිතා ගැනීම එතරම් අපහසු නැත. එය පරම ලෙස නිවැරදි දේශපාලන ව්‍යාපාරය කියා අමරකීර්ති සිතනවා කියා අප සිතන්නේ නැත. එය විවේචනය වීම යහපත් වන්නේම එම නිසාය. එයට තිබෙන්නේ දිගු ගමනක් බව පැහැදිළි වෙයි. අප සියලු දෙනාටම ඒ ගමනේ දී බොහෝ වෙනස් වීමට සිදු වනු ඇත. නමුත් පොදු කතිකාව තුළ ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා ‘මහින්ද පතිරණ’ වැනි වෙයි කියා යෝජනා කිරීම සාහසික ප්‍රකාශයක් කියා නොපෙනෙන්නේ නම් ඔබගේ ස්ථාවරයේ අර්බුධයක් තිබේ කියා සිතෙන්නේ නැතිද?

වැඩිදුර කියවීම් සඳහා මෙම කෘතියේ මෙයසූගේ ලිපිය බලන්න: http://theertha.org/reading-meillassoux-with-post-dogmatic-fanaticism/

රංග මනුප්‍රිය