පර්යේෂණ මූලික නාට්‍ය උළෙලක් ලෙසින් ‘හත්පෙති මල‘ නාට්‍ය උළෙල රංගගත කිරීමට චාමික හත්ලහවත්ත  ඇතුළු අනෙකුත් ළමා නාට්‍ය කරුවන්  හට පසුගිය ඔක්තෝම්බර් 28 දින ලයනල් වෙන්ඩ් රගහලේදී අවකාශය උදාවිය. මෙරට ළමා නාට්‍ය කලාව පර්යේෂණාත්මකව, ළමා මනස හඳුනා ගනිමින්, විවිධ රංග අභ්‍යාස උපයෝගී කරගනිමින් පැවතගෙන ආ අතර එය විධිමත් පර්යේෂණාත්මක ආකෘතියකට හසුකරගැනීමට හත්පෙතිමල නාට්‍ය  උළෙලේ  සංකල්පය මගින් චාමික හත්ලහවත්ත උත්සාහ ගෙන තිබුණි. එය ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය රචනය හා සමගාමීව සිදුකළ තිබූනි. මෙම රචනයේදී බලාපොරොත්තුවන්නේ මෙම නිර්මාණකරණය පිලිබදව දෘෂ්ටිවාදාත්මක අදහසක් විමර්ශනය කිරීම පසෙකලා එහි රංග කාර්ය  පිලිබදව සිදු කර ඇති  පර්යේෂණාත්මක මැදිහත්වීම විචාරයට ලක් කිරීමටයි.

මේ සදහා ‘හත්පෙති මල‘ නම් එක් සුරගන කතාවක්  විවිධ  නිෂ්පාදන  සංකල්ප හතරක් උපයෝගී කරගනිමින් හා  වෙනස් අර්ථකතන සපයමින් නිරමාණය කිරීමට උත්සාහ ගෙන තිබේ. රුසියානු ජාතික “වැලත්තීන් කතායෙව්”ගේ සුරගන කතාවක් වන මෙය මෙරට සිංහල විෂය නිර්දේශය සඳහා ද නියම වන ලද ළමා කතාවකි. චාමික හත්ලහවත්තට අනුව මෙහි  සුවිශේෂත්වය වන්නේ මෙම නිර්මාණ වල  අධ්‍යක්‍ෂනය හා රචනය සඳහා ළමයා  මූලික කරගනිමින්, ඒ සඳහා මඟ පෙන්වමින්, ළමයා කේන්ද්‍රියව  නිර්මාණ සිදු කිරීමයි. තවද මෙය සුසාධිත (well -made) නාට්‍යය පෙළක් ලෙස හා සියුම් උසස් නාට්‍ය අත්දැකීමක් ලෙස ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට ඔවුන් උත්සාහ දරා ඇත. මේ සඳහා පර්යේෂණ සහායකයින් ලෙස ළමා නාට්‍ය කරණයේ පළපුරුදු පිරිසක් සම්බන්ධ කර ගැනීම ද විශේෂිත වෙයි. එමනිසා රංග කාර්ය සහ නිෂ්පාදය සුවීශේෂී අවදානයක් දිනාගනු ලබයි. “හත්පෙති මල” ළමා කතාව අදාල වයස් කණ්ඩායම් වලට උචිත ලෙස  කිසිවක් එකිනෙක පරයා විශිෂ්ටතම නිර්මාණය කුමක්ද යන පැනය ඉතිරි නොවන ලෙස එහි නිෂ්පාදන කාර්ය සිදුකර තිබුණි. වයස් අවුරුදු 02-07 කාණ්ඩය කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් “දග පෙති මල”, අවුරුදු 08-11 කාණ්ඩය කහවත්ත මාධ්‍ය විද්‍යාලය ”කුක්ලි“, 12-16 කාණ්ඩය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය “කෝ ශෙන්යා?”, 17-18 කාණ්ඩය නුගේගොඩ අනුලා විද්‍යාලය ” මොකද එයා ගනු ළමයෙක් නිසා”  යන අයුරින් නිෂ්පාදනය විය. නාට්‍ය නිර්මාණ  හතරම එක පෙලට වේදිකාගත වූ අතර ආරම්භයේ සිට අවසාන නාට්‍ය නිර්මාණය දක්වාම එය ප්‍රේක්ෂකයාට කිසිදු වෙහෙසකර අද්දැකීමක් නොවන ලෙස රංගය  ඉදිරියට ගෙන ඒමට ඔවුහු සමත් වු බව නාට්‍ය හතරම උනන්දුවෙන් නැරබු අයෙකු පැවසීම අතිශයෝක්තියක් නොවේ.

             සිවු වැදෑරුම් නාට්‍ය පෙළ ආරම්භ වන්නේ “දග පෙති මල” නාට්‍යයෙනි. කුඩා ශෙන්යාට තම කෑම රුචිය නිසා අහිමිවූ, නිවසට රැගෙන යායුතු ඩෝනට් ලබාගැනීමටත්, නැවත නිවසට යාමට පාර සොයාගැනීමටත් මහලු මන්තර කාරියක් සතු අරුම පුදුම ‘හත්පෙති මල‘ ලබාගන්නා ආකාරය වටා කතාව වින්‍යාසගත වේ.  ජින් පියාජේගේ අදහස අනුව සාමාන්‍යයෙන් 02-07  වයස් කාණ්ඩයේ දී ළමයාගේ සිතුම් පැතුම් ආත්ම කේන්ද්‍රීය වේ. එනම්  තමා වටා ඇති ලෝකය ”මගේ ” යනුවෙන් සලකා, තමන් සතු කරගෙන සිටියි. ඔවුන් මෙම කාල සිමාවෙදී  සදාචාරය හා හැසිරීම් පිලිබදව අධ්‍යනය කරයි, එමෙන්ම ඔවුන් රිද්මය හා පුනරුච්චාරණය, නැටුම් හා සංගීතයට වඩාත් ප්‍රිය කරනු ලබයි. තමන්ට අහිමි වූ දෑ කෙසේ හෝ ලගාකරගැනීමට, ඔවුන්ගේ ලෝකය වඩාත් සුවපහසු කරගැනීමට ඔවුන් උත්සහා දරනු ලබයි. ළමයාගේ මෙම සිතුම් පැතුම් පිලිබද අවබෝදයෙන් යුතුව පළමු නාට්‍ය නිර්මාණය සිදු කර ඇති බව දක්නට ලැබේ. 

            අවුරුදු 08-11 කාණ්ඩය කහවත්ත මාධ්‍ය විද්‍යාලය ”කුක්ලි” නාට්‍යය, ‘හත්පෙති මල‘ ජංගම රූකඩ නාට්‍යක් ලෙස ප්‍රදර්ශනය කරන නාට්‍ය කණ්ඩායමක් වටා  ගෙතෙයි.  කිසිම දිනක මෙම රූකඩ නාට්‍යයේ අවසානය පිලිබද දර්ශනය නොපෙන්වන නමුත් එහි සැබෑ අවසානය අනාවරණය කිරීම  වටා කුක්ලි නාට්‍යය විකාශය වේ. ආරම්භයේදී වැඩිහිටි චරිත නිරුපණය කරන  ශිල්පීන්ගේ යම් ඇල්මැරුණු ස්වබාවයක් තිබුනද, නාට්‍යයේ අවසානය පිලිබදව කුතුහලය වඩාත් හොදින් රදවමින් නාට්‍ය ක්‍රියාවිකාශනය නිර්මාණය කර තිබුණි. මෙම වයස් සීමාවේදී බොහෝවිට ළමයා  තම ආරක්ෂිතභාවය පිලිබදව අවබෝදයක් සහිත, බිය ගෙනෙන දෑ සම්බන්දව ආස්වාදයක් ලබාගැනීමට රුචි කමක් දක්වයි. මෙම නාට්‍ය නිර්මාණය හරහාද ඔවුන් උත්සාහ ගෙන තිබෙනුයේ සුරඟන කතාවක් හරහා සදාචාරාත්මක වටිනාකමක් ගෙන ඒමට බව එහි ළමා අධ්‍යක්ෂකවරයාගේ අදහසින්ද පැහැදිලි වේ.

ඉහත වයස් කාණ්ඩ ද්විත්වයේ ළමයින් නිර්මාණ කාර්යට අවශ්‍ය සංයමය සදහා එකග කරගැනීම පහසු කාර්යක් නොවේ. මන්ද මෙම අවදියේදී ඔවුන් ඔවුන්ට අවශ්‍යම දේ පමණක් සිදුකිරීමට පෙළඹෙන අසීමිතව නිදහසේ සිටීම ප්‍රිය අවධියක වන නිසාය. නමුත් කිසිදු රික්තකයක් ඉතිරි නොවන පරිදි ඔවුන්ව රංග කාර්ය ට යොමු කිරීමටත් වේදිකාව මත නාට්‍යයේ මූලිකාංග වලට එකග කරගැනීමත් පහසු කාර්යක් වේයැයි සීතිය නොහැකිය. කිසිදු පැකිලීමක් නොමැතිව මනා පුහුණුවකින් යුතු ශිල්පීන් ලෙස ඔවුන් තම රංග කාර්ය සිදු කිරීම මෙම පර්යේෂණ ක්‍රියාවලිය ළමා නාට්‍ය සාහිත්‍යයට එකතු වීමේ වැදත්කම පසක් කරනු ලබයි. තවත් ආකාරයකට කියන්නේ නම් නාට්‍ය කලාවේදී බලාපොරොත්තු වන මනා නිමැවුම් බව – ඉහතින් සුසාධිත ලෙස සඳහන් කළ – පිළිබඳ දක්වා ඇති උනන්දුව ඉතාම වැදගත් වේ. නාට්‍ය කලාව විසින්ම ඉල්ලා සිටීම නාට්‍ය කලාවේ රෙජීමය තුළම ආවේණික වන මෙම ගුණය කුඩා ළමුන් සමග කළමානාකරණය කිරීමට හැකි වීමේ අත්දැකීම චාමික සහ ඔහුගේ අනෙක් සහායකයින් සමග බෙදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

12-16 කාණ්ඩය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය “කෝ ශෙන්යා?” වීරත්වය පිලිබද ඇල්මක් දක්වන ශෙන්යා තමන්ට නිදහසේ සිටිය හැකි ලෝකයක් අපේක්ෂා කරයි. එනම් තම මවගේ ග්‍රහණයෙන් මිදී තමන්ට රිසි සේ ජිවත් විය හැකි පරිසරයක් සොයායම නාට්‍යයේ කථා වින්‍යාසය බවට පත්වේ. ශේන්යා ඒ උදෙසා තමන්ට සිතැගි පරිදි කටයුතු කරනු ලබයි. මෙම වයස් කාණ්ඩයේ ළමයාගේ මනෝභාවයන් නිවැරදිව හදුනාගෙන ඒ සදහා නිසි අර්ථවත්  අදහසක් එකතු කිරීමට රචකයා උත්සහ ගෙන තිබේ. එම අදහස වඩාත් තීව්‍ර කිරීමට අධ්‍යක්ෂකවරයා, නළු කාර්ය  හා රංග වින්‍යාසය මානව හසුරුවා තිබේ.

රංග කාර්ය සාර්ථක කර ගැනීම උදෙසා ඔවුන් ගුණාත්මක පෙර පුහුණුවක් ලබා ඇති බව මෙම නිර්මාණය රස විඳින ඕනෑම ප්‍රේක්ෂකයෙකු අවබෝධ වේ යයි සිතියා හැක. පාසල් වේදිකාවට ද පර්යේෂන මූලික නාට්‍ය කාරණය සමීපවීම සාධනීය වේ. ළමා නිර්මාණ කරුවන් ඒ උදෙසා වෙහෙසීම ඉතා උසස් තත්වයකි. සුරංගනා කතාවකට උචිත ලෝකයක් වේදිකාව මත මාවා දැක්වීමට ඔවුන් දරා තිබූ උත්සාහය අගය කළ යුතු වේ. වැඩිහිටි චරිත නිරූපණයට පුහුණු පළපුරුදු ශිල්පීන් යොදාගත්තද ප්‍රධාන චරිත ප්‍රමුඛ සෙසු සියලු චරිත රංග දැක්වූයේ ළමා නිර්මාණ කරුවන් ය. ඔවුන් මනා සංයෝගයකින් එම කාර්ය සිදු කළ බව ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් තහවුරු වේ. කෙසේ වෙතත් ළමයා නාට්‍ය නිර්මාණකරණය සදහා, එහි ගුණාත්මක වටිනාකම සංවර්ධනය සදහා යොදා ගත් ආකාරය චාමික හත්තලාහවත්තගෙන් උගත යුතු කාරණයක් යැයි යෝජනා කළ හැකිය. එම නිසා ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය ළමා නාට්‍ය සාහිත්‍යය සංවර්ධනයට ජන ගත කිරීම මහෝපකාරී වනු ඇත.

17-18 කාණ්ඩය නුගේගොඩ අනුලා විද්‍යාලය ” මොකද එයා ගෑනුළමයෙක් නිසා”  නාට්‍ය, අනෙකුත් නිර්මාණයන් හා වෙනස් වෙන්නේ එය ද්ව්තික අධ්‍යාපනය හදාරන ළමුන් විසින් ඉදිරිපත් කර තිබූ  නිසාය.  එහි කතා සංධර්භය  වන්නේ ප්‍රාර්ථනාවක්  සිදුකරන්නට වී ඇති ශේන්යා ගැහැණු දරුවෙකු වීම නිසා ඇතිවන අභියෝග පිලිබදවයි. සමාජ සංස්ථාව තුල ස්ත්‍රියට ඇති අර්බුධ  මෙන්ම නව යොවුන් වියේ ගැහැණු දරුවෙකු පිළිබද සමාජය තුල ඇතිවෙන දෘෂ්ටිවාදාත්මක අදහස් වල සංකීර්ණ භාවය, ගැහුණු දරුවෙකුට දැනෙනා අයුරු මෙහිදී නිර්මාණයට හසුකරගෙන තිබේ. මෙම නාට්‍ය ආකෘතිය කතන්දර කීමේ නාට්‍ය ආකෘතියෙන් යුතු අතර ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වෙමින් පවතින සමාජ සංස්ථාව උපහාසයට ලක් කරයි. සාමාන්‍යයෙන් ළමුන් උදෙසා ළමුන් යොදාගෙන, ළමුන් උදෙසා වැඩිහිටියන් යොදාගෙන ළමා නාට්‍ය නිර්මාණය වේ. චාමික හත්තලහවත්ත මෙහිදී දරුවන් වැඩිහිටියන් සියල්ල යොදාගනිමින් විවෘත ප්‍රේක්‍ෂකාගාරයට ළමයාගේ චින්තන ශක්තියේ ස්වභාවය ඉදිරිපත් කරනු ලබයි. ළමා නට්‍යක් සාමාන්‍යයෙන් පැයකටත් අවම කාලයක් වේදිකාගත කරන අතර මෙහිදී විනාඩි 30-40 අතර නිර්මාණ හතරක් එක දිගට වේදිකාගත කෙරිණි, නමුත්  පාසල් දර්ශනය හෝ වැඩිහිටි දර්ශනයේදී එය ප්‍රේක්‍ෂකාගාරයට ගැටළුවක් වූ ආකාරයක් නිරීක්ෂණය නොවුනි.

වර්තමානය වන විට නාට්‍ය කලාව සමාජ, දේශපාලන, ආර්ථික තත්වයන් හමුවේ අර්බුදයට ලක් වෙමින් තිබේ. විශේෂයෙන්ම එය මෑතකදී අත්විඳි කොරොනා වැනි වසංගතයන් හමුවේ තවදුරටත් පැහැදිලි වූ කරුණකි. කෙසේවෙතත්  කලාව සහ කලාව භාවිතාව කොතරම් අසීරු සමාජ වටපිටාවක් හමුවේ වුවද පවතින්නේ එය ජනතාව විසින්ම  නිර්මිත නිසාය. නාට්‍ය කලාව ද එසේමය. විශේෂයෙන්ම ළමා නාට්‍ය කලාව ළමයා කේන්ද්‍රිය සමාජ දෘෂ්ටිවාදය වෙත බලපෑමක් සිදු කළ හැකි ප්‍රබල මාධ්‍යයකි. මානවයා විසින් නිර්මිත සමාජ සංස්කෘතික කරුණු, වාරණ දෙස ලිබරල් මානුෂීය  දෘෂ්ටියකින්,  එහි යථා ස්වභාවය වේදිකාගත කිරීමට ‘හත්පෙති මල‘ නාට්‍ය කෘතීන් ගෙන් උත්සාහ ගෙන තිබේ. ළමයා මුහුනපාන ගැටලු, ළමා ලෝකයේ නිදහස අවහිර වීම පිළිබඳ  ඔවුන්ගේ අව්‍යජාත්මක ගති පැවතුම් මඟින් ඔවුන් මානව සමාජයේ සංස්කෘතික කරුණු  ප්‍රශ්න කරනු ලබයි.

            මෙවැනි ආකාරයේ  උත්සාහයන්  මගින් පර්යේෂණ කර්යකට පමණක් සීමා නොවී මෙරට නාට්‍ය කලාවට,ප්‍රේක්ෂකාගාරයට තවදුරටත් නිර්මාණ සමීප කරවීමට හැකි ප්‍රවේශයන් සොයා ගැනීම ද අවශ්‍ය වේ. ඒ මේ මොහොතේ මෙරට පවතින සමාජ දේශපාලන තත්වයට අනුව  නාට්‍ය කලාව හා එහි පැවැත්ම තීරණාත්මක කඩඉමක් පසුකරන කාලවකවානුවක් වී තිබෙන නිසාය. සමාජ මාධ්‍යයන්ගේ ප්‍රබල දියුණුවත්ව, වර්ධනයත් සමඟ තවදුරටත් සජීවී නිර්මාණ ප්‍රේක්ෂකාගාර ගතකිරීමට, ඒ සඳහා අවශ්‍ය නාට්‍ය නැරඹීමේ වුවමනාවක් ඇති කිරීමට ළමා නාට්‍යකරණයෙන් විශාල උත්සාහයක නිරත විය හැකි බව ‘හත්පෙති මල‘ නිර්මාණය මගින් තහවුරු කරනු ලබයි. එය තවදුරටත් අග නගරයෙන් පිටත ප්‍රේක්ෂකාගාර වෙතට සමීප කරන්නේ නම් එය නාට්‍ය කලාවේ අනාගතයට වටිනා උපකාරයක් වේ. මෙය නාට්‍ය කලාවට පමණක්ම සීමා නොකර, කුඩා ළමුන් සමග කටයුතු කරන ආකාරයත්, ඔවුන් සමග ඉගැනුම් හා නිර්මාණ ක්‍රියාවලියකට සම්බන්ධ වන ආකාරයත්, එලෙස නාට්‍ය කලාවේ රෙජීමය විසින් ඉල්ලා සිටින හික්මීම පවත්වා ගන්නා ආකාරයත් පිළිබඳ අධ්‍යාපනවේදී නිරීක්ෂණයකින් අපගේ ළමා අධ්‍යාපනයට මෙම නිර්මාණ ක්‍රියාවලිය මගින් ලබා ගත හැකි දෑ බොහෝ වෙතැයි අපට අනුමාන කළ හැකිය. තව දුරටත් නාට්‍ය කලාව ජනයාට සමීප කිරීමට චාමික හත්තලාහවත්ත දරා ඇති උත්සාහය උපකාර වේවායි ශුභ පතමු .

දිලාන් N ගුණහේරත්