Image: Marcel Duchamp, “Stripped Down Cigarette Tobacco”; gelatin silver print [1936]

මෙවර අයවැය සම්බන්ධයෙන් වාමවාදී ආර්ථික විශ්ලේෂකයන් ඉදිරිපත් කරන නිරීක්ෂණ සහ නිගමන සාරාංශ වශයෙන් ගත් විට මෙසේය.

* මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදල වන රුපියල් බිලියන 115 යනු 17% ක අඩු කිරීමකි. ධීවර අමාත්‍යාංශයට බිලියන 6.5 ක මුදල පසුගිය වසරේ තිබූ ප්‍රමාණයම වේ. මේ අනුව මෙරට ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති බව නිගමනය කළ හැක. ඒ වෙනුවට මෙය පුද්ගලික අංශයට ලාභ ලැබීම සඳහා කදිම නිදහසක් ලබා දෙයි.

* ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල බිලියන 538 කි. මහා මාර්ග, අධිවේගී මාර්ග, පාලම් වැනි දේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 305 කි. මේවා මේ මොහොතේ ප්‍රමුඛ වන්නේ ඇයිද යන්න සාධාරණ ප්‍රශ්නයකි.

* ලබන වසරේ වක්‍ර බදු 80% පමණ වැඩි වීමට නියමිත අතර, ඍජු බදු වැඩි වන්නේ 60% පමණි. මෙහි ප්‍රතිඵලය වන්නේ බදු බරින් වැඩි පංගුවක් සාමාන්‍ය ජනයා මත පැටවීමයි.

* ව්‍යාජ ඉන්වොයිස් බිල්පත් මගින් විදේශ වත්කම් රටින් පිටට ඇදී යාමේ ගැටලුව පුළුල් ලෙස පසුගිය කාලයේ දී සාකච්ඡා වුවත් මෙවර අයවැයෙන් මේ සම්බන්ධව කිසිවක් සිදු කරන්නේ නැත. ඒ වෙනුවට අයවැයෙන් යෝජනා කරන්නේ රාජ්‍ය දේපල මෙලෙස රටේ ආදායම් විදේශ වලට රැගෙන ගිය පුද්ගලික අංශයට විකුණා දැමීමයි.

* ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයතන වලට 30% ක වාණිජ බද්දක් පැනවීමේ යෝජනාවද අත්හැර දමා තිබේ. ඒ වෙනුවට කුඩා පරිමාන අපනයනකරුවන්ට පමණක් මෙය සීමා වී තිබේ. අපනයන වලින් 70% පමණ වන්නේ ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතන වන නිසා ඒවා මෙම බද්දෙන් නිදහස් වෙයි.

* පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අප කර්මාන්ත වර්ධනය කරන වැඩපිළිවෙලක් යටතේ රැකියා අවස්ථා වැඩි කළ යුතු වුවත් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරික ගජ මිතුරන් මෙයට උනන්දු වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් උනන්දු වන්නේ මහල් නිවාස සංකීර්ණ, ඉඩම් මිලට ගැනීම, සුඛෝපභෝගී වාහන වැනි දේ වෙනුවෙන් ප්‍රාග්ධනය යෙදවීමටයි. කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ බිලියන 2.5 ක මුදලක් පමණි. මහජන ආයෝජන වලින් 25% වැය වීමට නියමිතව ඇත්තේ අධිවේගී මාර්ග, මහා මාර්ග, පාලම් වැනි දේ ට යි.

* රුපියලේ අගය පහළ වැටීම සහ භාණ්ඩ මිල උච්චාවචනය වීම මගින් කෘෂි රසායන වැනි අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ ගෙන්වන සමාගම් අධික ලාභ ලබමින් සිටින්නේ මිල ගණන තුන් හතර ගුණයක් වැඩි කරමිනි. මේවා පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතුව තිබුනද කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදලින් පැහැදිලි වන්නේ එවැනි ප්‍රවේශයක් ආණ්ඩුව ගන්නේ නැති බවයි.

* එනිසා මේ මගින් කිසිදු සහනයක් මහජනයාට ලැබෙන්නේ නැත. සත්‍ය වශයෙන්ම මෙය 1977 න් පසුව ඇති වූ වඩාත් බිහිසුණුම ආර්ථික යෝජනාව කියා කිව හැකිය. මෙයට අප එරෙහි විය යුත්තේ මේ නිසාය.

මෙම නිරීක්ෂණ සහ නිගමන සම්බන්ධයෙන් අපට කියන්නට තිබෙන්නේ මෙවැන්නකි.

මේවා නැවත පරීක්ෂා කර බැලීමට අපට හැකියාවක් නොමැති වන්නේ මේ සඳහා අප කරමින් සිටිනා වැඩ නවත්වා ආර්ථිකය දෙස අවධානය යොමු කිරීමට සිදු වන නිසාය. නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් පැරණි මාක්ස්වාදය සඳහා තිබූ සත්භාවවේදී වටිනාකම තවදුරටත් ලබා දිය හැකි වනවා කියා අප සිතන්නේ නැත. සරල ආකාරයකට කියන්නේ නම් ආර්ථිකය යනු ඉතිහාසයේ අනිවාර්යය වර්ධනය ප්‍රකාශමාන වන දර්ශකය වනවා කියා අප සිතන්නේ නැත. ඉතිහාසයට එවැනි අනිවාර්යය ගමනක් තිබෙනවා කියා අප සිතන්නේ නැත. ඉතිහාසය මෙන්ම ආර්ථිකය ද කරුණුමය පැවැත්මවල් වේ. එනිසා ආර්ථිකයේ චලනයන් නිරීක්ෂණය කිරීමෙන් විප්ලවය කිරීමේ වාස්තවික තත්වයන් විවර වනවා වැනි අර්ථයකින් මෙය තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වන්නේ නැත. මානව විමුක්තිය පිළිබඳව අදහස සිතීම සඳහා වරප්‍රසාදිත අවකාශය වන්නේ ආර්ථිකය කියා අප සිතන්නේ නැත.

නමුත් අපේ සාමූහික දේශපාලනය තීරණය කිරීමේ දී ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සිතීම අතිශය වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කවුරුන් හෝ රාජ්‍ය බලය අභ්‍යාස කරන්නට උත්සාහ කරන්නේ නම් එවැනි කෙනෙක් සඳහා විකල්ප ආර්ථික දැක්මක් තිබිය යුතු බව අවිවාදිත වෙයි. නමුත් අපට රාජ්‍ය බලය ලැබීමට කිසිදු ඉඩක් නොමැති වන නිසා මේවා සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ‘පර්යේෂණ උනන්දුවක්’ පමණි. අප එවැනි ආර්ථික ප්‍රතිපත්ති සකස් කළා කියා මෙම දේශපාලන පන්තිය සහ ඔවුන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්, නිලධාරීන්, මාධ්‍ය ජාල හිමිකරුවන්, මිලිටරි නායකයන් ආදී ප්‍රභූ තන්ත්‍රය අපේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නැත. අපට කළ හැකි වන්නේ ජනයා සිතන පතන විදිය වෙනස් කිරීමට උත්සාහ කිරීම පමණි. ඒ සඳහා තිබෙනා ව්‍යුහාත්මක සීමාවන් ජයගන්න උපක්‍රම තේරීම අපට ප්‍රමුඛ වන්නේ මේ නිසාය. දර්ශනය, කලාව, විද්‍යාව වැනි ‘අදේශපාලනික’ දේ වෙනුවෙන් අප උනන්දු වන්නේ මේ නිසාය.

එසේ වුවත් අපට තෝරා ගැනීමක් කරන්න කිවහොත් ඉහතින් සාරාංශ කර ඇති නිගමන ඉදිරිපත් කරන වාමවාදී ප්‍රවේශයට අනුව රටේ ආර්ථික අනාගතය සිතන දේශපාලනයක් තෝරා ගන්න අප දෙවරක් සිතන්නේ නැත. මේ සම්බන්ධයෙන් අපට තිබෙන්නේ විශ්වාසයකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් අපට තිබෙන්නේ වර්තමාන පාලකයන් සම්බන්ධයෙන් ඇති අවිශ්වාසයකි. ඔවුන් සහ ඔවුන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන් මේ රටට කෙලවා ඇති තරමට මෙයට වඩා මහා විනාශයක් විය හැකිය කියා අප සිතන්නේ නැත. මිනිසුන් මිලියන ගණනක් එදා වේල ගැට ගහ ගන්නේ කෙසේද කියා අනවබෝධයෙන් සිටින විට මෙවැනි වාමවාදී අත්හදාබැලීමකින් මධ්‍යම පාන්තික පවුල් ලක්ෂයකට පමණ කෙලවුනා කියා අපේ කිසිදු විරෝධයක් නැත.

එනිසා මෙවර අයවැය සම්බන්ධයෙන් මෙම වාමවාදී නිරීක්ෂණ අපි විශ්වාස කරමු. දේශපාලනයේ දී විශ්වාසය අතිශය වැදගත් බවත් අවධාරණය කරමු.