‘Tin Drum’ album, November 1981 ~ by Fin Costello

මෙහි ආරම්භක උපන්‍යාසය වන්නේ “ජවිපෙ-විරෝධී මනෝභාවය’ යනුවෙන් දෙයක් පවතිනවා යන්නයි. එම නිසාම මෙය පාරභෞතික විද්‍යාත්මක සංකල්පයක් කියා පිළිගැනීම අපහසු නොවේ. ඉදිරි කාලෙයේ දී මෙහි නිශ්චිත අන්තර්ගතය ගැන සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මේ තිබෙන්නේ ඒ සම්බන්ධ සමාරම්භක සටහනකි.

නිශ්චිත සංකල්පීය හේතු මත ජවිපෙට විරුද්ධ වන පිරිස මේ මනෝභාවයට ඇතුලත් නොවේ. නිදර්ශනයක් ලෙස නලින් ද සිල්වා සහ ඔහුගේ අනුගාමිකයන්ට තිබෙන්නේ මේ ආකාරයේ ජවිපෙ-විරෝධයක් නොවේ. ඔවුන් ජවිපෙ විරෝධී වීම මුළුමනින් අපේක්ෂිත තත්වයකි (පුදුමය වන්නේ එය එසේ නොවන්නේ නම් පමණි). ඔවුන් ඉතාම දැනුවත් සංරක්ෂණවාදී (conservative) දේශපාලන කණ්ඩායමකි. එයට අනුව දැන් තිබෙන සමාජ ක්‍රමයට වඩා යෝග්‍ය සමාජ ක්‍රමයක් අතීතයේ තිබුණි. එම නිසා දැන් කළ යුතු වන්නේ අවශ්‍ය පරිදි වර්තමාන ලෝකයේ දේවල් ‘අවශෝෂණය’ කර ගනිමින් එම අතීත සමාජ ක්‍රමය යළි ස්ථාපිත කිරීමයි. අතීතයේ නොවූ විරු දේශපාලන නවීනත්වයක් අනාගතයේ ඇති විය හැකිය කියා ඔවුන් පිළිගන්නේ නැත. එය කිසිසේත් අනාගතවාදී දේශපාලන දැක්මක් නොවේ. එනිසා එයට දේශපාලන නවීනත්වයන් වෙනුවෙන් පෙනී සිටිය නොහැක.

නමුත් ‘ජවිපෙ-විරෝධී මනෝභාවය’ ලෙස මෙහිදී සලකන්නේ මෙවැනි පිරිස් නොවේ. ඒ වෙනුවට මෙහිදී සලකා බැලෙන්නේ ඉතාම පුළුල් අර්ථයෙන් නූතන විමුක්තිවාදී දේශපාලන සම්ප්‍රදායට (අපගේ මෙයසියානු වාග් මාලාවෙන් කියන්නේ නම් ‘දේශපාලන විශ්වීයත්වයට’ – ‘the political Universal’ – පුළුල් වශයෙන්) පක්ෂපාතී වන නමුත් ජවිපෙ අයත් පොදු සන්ධානයට එකතු වීමට අකමැති අයයි. මේ අය නිල වශයෙන් දේශපාලනයේ නවීනත්වයන් ඇති වීමේ හැකියාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. කුමන හෝ ආකාරයේ සාපේක්ෂ සහ සීමිත අර්ථයකින් ‘ප්‍රගතිය’ පිළිබඳව බලාපොරොත්තුවක් ඔවුන් තුළ තිබේ. ඔවුන් කිසිසේත්ම පොහොට්ටුවට පක්ෂ නොවන අතරම එජාප (සජබ) සන්ධාන වලට උපක්‍රමික එකඟතාවයන් වලින් ඔබ්බෙහි ඇති පක්ෂපාතීත්වයක් නොමැත. දෙමළ ජාතිකවාදයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වලට පක්ෂ වන අතර වාර්ගික, ලිංගික ආදී අනන්‍යතා කණ්ඩායම් වල සමානාත්මතාවය වෙනුවෙන් අවංකව පෙනී සිටියි.

මේ ආකාරයේ පිරිසක් ජවිපෙ-විරෝධී වන්නේ ඇයි? මේ සඳහා මේ පිරිසට විවිධ තර්ක තිබේ. ඉදිරි කාලයේ දී මේ එක් එක් තර්ක සලකා බැලීමට අපි උත්සාහ කරමු. මෙහි දී උත්සාහ කරන්නේ මෙයට අප ලබා දෙන මූලික පරිවාසීය පිළිතුර සටහන් කිරීමටයි. මේ සඳහා ඇලේන් බදියු ගේ “ප්‍රේමය පසසනු වස්” කෘතියේ ආරම්භයේ දී බදියු සිදුකරන නිරීක්ෂණයක් අපට යොදා ගත හැක. එම නිරීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ පොත පළ වූ කාලයේ ප්‍රංශයේ තිබූ එක්තරා වෙළඳ දැන්වීමකි. වෙළඳ දැන්වීම පළ කරන්නේ මීටික් (Meetic) නම් වූ සහකරුවන්/සහකාරියන් තෝරා දෙන (‘මගුල් කපුකම්’ කරන) වෙබ් අඩවියක් විසිනි. එහි දැක්වෙන්නේ “Be in love without falling in love” කියාය. කෙනෙක් ආදරයෙන් බැඳෙන මොහොත ලියා තැබීමට අපි ඉංග්‍රීසියෙන් “fall in love” කියා කියමු. මෙම ඉංග්‍රීසි යෙදුම මගින් ආදරයෙන් බැඳෙන මොහොතේ එක් චරිත ස්වභාවයක් නිරාවරණය කරයි. එම චරිත ස්වභාවය වනේ එහි එක්තරා ආකාරයක ‘ඇද වැටීමක්’, ‘කඩා වැටීමක්’ (‘fall’) තිබීමයි. පරිස්සමින්, ‘බැලන්ස් එකේ’ ගිය ජීවිතය හදිසියේ කඩා වැටෙනවා වැනි හැඟීමක් එහි වෙයි. ආදරය නම් දැවැන්ත අනුරාගයේ තීව්‍ර අත්දැකීම මෙයයි.

දැන් මීටික් වෙළඳ දැන්වීමෙන් පොරොන්දු වන්නේ මේ ‘කඩා වැටීම’ නොමැතිව, ජීවිතේ දැන් තිබෙන ආකාරයටම තිබෙන අතරම, කිසිවක් වෙනස් නොවී, ආදරය ද ලබා ගත හැකි බවයි. එය ‘ප්‍රේමයෙන් ඇද වැටෙන්නේ නැතිව ප්‍රේමය ඇති කර ගැනීම’ සහතික වෙයි.

බදියුට අනුව මෙය අප ජීවත් වන යුගය සංකේතවත් කරන තියුණු රෝග ලක්ෂණයකි. අප තවදුරටත් නොදන්නා නවීනත්වයක් වෙනුවෙන් අපේ පුංචි සුරක්ෂිත ලෝකය ඔට්ටු අල්ලන්නට සූදානම් වන්නේ නැත. අපට අවශ්‍ය වන්නේ අපේ පුංචි ලෝකයේ ස්ථාවරත්වය එලෙසම තබා ගනිමින් කළ හැකි ‘රැඩිකල් වෙනසකි’. නමුත් මෙය අත්‍යන්තයෙන් පරස්පර බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබ සැබැවින්ම ආදරය කරන්න නම් එහි අවධානම, එහි කඩා වැටීම, එහි වේදනාව, එහි විරහව බාර ගත යුතු වේ. නමුත් ඒ නිසාම ඔබට එහිදී සත්‍ය වශයෙන්ම ආදරය අත්දැකීමේ හැකියාව ද තිබේ!

ආරම්භයක් වශයෙන්, අපට ජවිපෙ-විරෝධී මනෝභාවයට අයත් වන ප්‍රගතශීලී බහුතරයක් ‘මීටික් ආදරවන්තයන්’ ලෙස හැඳින්වීමට හැකි වෙයි. මේ අය ආදරයට, අනාගතයට, නවීනත්වයට, ප්‍රගතියට පක්ෂ වෙයි. නමුත් ඒවා ලබා ගැනීම වෙනුවෙන් ‘රිස්ක් එකක්’ ගන්නට ඔවුන් කිසිසේත් සූදානම් නොවේ. ඔවුන් අපේක්ෂා කරන්නේ කිසිදු ‘අවුලක් නැති’, ‘ස්මූද් රැඩිකල් පරිවර්තනයකි’. ඉංග්‍රීසියෙන් කියන්නේ නම් ඔවුනට අවශ්‍ය වන්නේ මෙයයි: ‘to be in love without falling in love’.

වංගීස සුමනසේකර