මේ තිබෙන්නේ අප විසින් සාරාංශ කරමින් යන කුමාරි ජයවර්ධනගේ “සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතියේ මීළඟ කොටසයි. (මීට පෙර පල කළ ලිපි මෙම බ්ලොග් අඩවියෙහි ඇත.) මෙහිදී සාරාංශ වන්නේ එහි තුන්වැනි පරිච්ඡේදයේ එන මෙරට අරක්කු වෙළඳාම සම්බන්ධ කොටසයි. මෙම සටහන් පෙළ අප මෙහි දමන්නේ මෙරට ප්‍රභූ පන්තියේ ඉතිහාසය තේරුම් ගැනීමේ පුළුල් සංවාදයකට කරන එකතු කිරීමක් ලෙසයි. අප අද අත්දකිමින් සිටින්නේ අපේ රටේ මේ සම්ප්‍රදායික ප්‍රභූ පන්තියේ දේශපාලන ආධිපත්‍යය රැඩිකල් ලෙස අභියෝගයට ලක් වී ඇති දේශපාලන මොහොතකි. එම නිසාම අපට අන් කවරදාටත් වඩා මෙම ප්‍රභූ පන්තියේ ඉතිහාස කතාව තේරුම් ගැනීම වැදගත් වෙයි. අවශ්‍ය නම් මෙය අපට අප කුඩා කාලයේ ඉතිහාස පොත් වල කියවූ ‘ජාතික වීරයින්’ ගේ විකල්ප ඉතිහාස කතාව ලෙසද ගත හැකිය. අපට අද නව ජාතික වීරයන් අවශ්‍ය වන්නේ ඇයිද යන ප්‍රශ්නයට මෙම විකල්ප ඉතිහාස කතාව වැදගත් පිළිතුරක් ගොනු කරනු ඇත.

***

යටත් විජිත ආණ්ඩුව සමග ඉඩම් ආයෝජනය වැනි දෑ කුඩා ප්‍රාග්ධනයක් හිමි පවුල්වලට අපහසු කටයුත්තක් වුවද අරක්කු වෙළඳාම සඳහා එය කිසිදු බාධාවක් වූයේ නැත. මෙරට ධනපති සංස්කෘතියක් බිහි කිරීමේ වාසනා දොරටුව ලෙස මෙම අරක්කු වෙළඳාම හැඳින්විය හැකිය. අරක්කු පෙරීම, තොග සහ සිල්ලර වෙළඳාම එහිදී මූලික ප්‍රවේශ විය. අරක්කු පෙරීම අනෙක් දෙකටම වඩා තරමක් ලාභය අඩු ව්‍යාපෘතියක් වූයේ සුපුරුදු පරිදි නිෂ්පාදකයාට වඩා අතරමැදියන්ගේ පංගුව විශාල වීම නිසාය. එයට තවත් එක් හේතුවක් වූයේ ඔවුන්ගේ තාක්ෂණය බෙහෙවින් යල් පැන ගිය එකක් වීමයි (මෙය තේරුම් ගැනීම සඳහා තිබෙනා ඉතා පහසු සමකාලීන උදාහරණ වන්නේ මෙරට ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියන්ගේ භූමිකාව පරික්ෂා කර බැලීමයි). පසුව ක්‍රමයෙන් මේ යුගය වන විට මෙම අරක්කු තොග වෙළෙන්දන් අරක්කු පෙරීමේ ක්‍රියාවලියද ඔවුන් අතට ගැනීමේ ප්‍රවනතාවක් ඇති විය. දේශීය ධනපති පංතියේ පදනම තිබෙන්නේ මෙම අරක්කු වෙළඳාම මත වන අතර 1830 න් පසුව ඇති වූ වැවිල කර්මාන්තය හේතුවෙන් එම පදනම ශක්තිමත් විය. පසුව වැවිලි කර්මාන්තයට යොමු වූ බොහෝ ව්‍යාපාරිකයන්ගෙන් වැඩි පිරිසක් මෙම රේන්දකරුවන් ම වූහ.

            අරක්කු නිෂ්පාදනය පොල් මලේ සාරය පෙරීම මත පදනම් වූ නිසා ලන්දේසි යුගයේ සිටම දකුණ පළාතේ සහ බටහිර මුහුදු තීරයේ මෙම කර්මාන්ත වර්ධනය විය. එය වේගයන් වර්ධනය වීමට බලපෑ සාධකය වූයේ මෙම පළාත් යටත් විජිත පාලනය තුළ පැවතීමයි. උඩරට පළාත තුළ අරක්කු වෙළඳාම මුල් කාලයේ නීතියෙන් අවසර ලැබූ ව්‍යාපාරයක් නොවීය.

ලන්දේසින් තැබෑරුම් බලපත්‍ර සඳහා දැඩි පිළිවෙතක් අනුගමනය කළ අතර ඒවායේ සේවයට යෙදවූයේද බර්ගර් ජාතිකයින් පමණි. ඉංග්‍රීසීන් මෙම දැඩි ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන ගියද, ඔවුන් මෙම වෙළඳාම ඔවුන් යටතේ දේශීය පාලකයන් යටතට පත් කළහ.

              අරක්කු භාවිතයේ ප්‍රමාණය පිළිබඳ යම් අදහසක් ලබා ගැනීම සඳහා පහත තොරතුරු ප්‍රයෝජනවත් වෙයි. 1823 දී කොළඹ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ගබඩා සඳහා අරක්කු ගැලුම් 120,000 ක් අවශ්‍ය වූ අතර එය 1828 වන විට 144,000 ක් දක්වා වර්ධනය විය. ආණ්ඩුව මේවායින් වැඩිමනක් හමුදා භටයන්ට සහ කම්කරුවන් වෙනුවෙන් වෙන් කළේය. එහිදී හමුදා භටයින්ට පමණක් වෙන් කරන ලද ආපනශාලාවලද තැබෑරුම් පැවතිණි. 1831 පමණ හමුදා ආපනශාලාවක් සඳහා ගැලුම් 900ක් පමණ අවශ්‍ය විය. 1815 මහනුවර යටත් කර ගැනීම සහ 1818 කැරැල්ල හේතුවෙන් මෙම පළාත්වල සැලකිය යුතු තරමේ භට කණ්ඩායම් යෙදවීමට යටත් විජිත ආණ්ඩුවට සිදු විය (දේශීය භටයන් සහ අප්‍රිකානු කෆීර්වරු ඊට ඇතුළත් විය.). තවත් විශේෂත්වයක් වූයේ ආණ්ඩුවේම දේශීය සුළු නිළධාරීන්ට පවා මෙම සැපයුම් කිරීමේ හැකියාව තිබීමයි.

            1815 න් පසුව සිල්ලර අරක්කු වෙළඳාමෙන් ලාභ ඉපැයූ පළාත් වූයේ බස්නාහිර සහ මධ්‍යම පළාත් ය. අනෙකුත් ප්‍රදේශවල ජනතාව විසිරී සිටීමත්, ආර්ථික සංවර්ධනයක් නොමැති දුප්පත් ජනතාවක් වාසය කිරීමත් ඊට හේතු විය. ඉහත පළාත්වල අරක්කු රේන්ද ලන්සුව කෙතරම් තීරණාත්මකද යත් පළාත් දිසාපතිට අනුව එය නියම අගයට නොපැමිණෙන්නේ නම් එම ලන්සු නැවතත් කැඳවීමේ බලයක් ඔහුට තිබුණි.

            කෙසේ වෙතත් මෙම ව්‍යාපාර සඳහා බොහෝ දෙනෙකු ඇතුළත් කර ගැනීමේ නිර්බාධ ප්‍රතිපත්තිද ක්‍රියාත්මක විය. තැබෑරුම් හිමියන් ආණ්ඩුවට ගෙවිය යුතු මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාවක් සලසා දී තිබුණි. පළමු වාරිකය සඳහා අවශ්‍ය වන්නේ අඩු ප්‍රාග්ධනයක් නිසා බොහෝ දෙනෙකු මෙම ව්‍යාපාරය වෙත ඇදී ආහ. ඔවුන්ට තරමක් අපහසු ක්‍රියාවලියක් වූයේ දේපල සහිත ඇපකරුවන් සොයා ගැනීමයි. එලෙසම අරක්කු ප්‍රාවහනයේදී සහ තැබෑරුම් අසළත් ආරක්ෂාව ලබා දීම ආණ්ඩුව මගින් සිදු කෙරුණි. එහෙත් අරක්කු ප්‍රවාහනයේදී ගැලුම් 10ක් 12ක් අතුරුදහන් වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී තිබුණි. එය කෙතරම්ද යත් ප්‍රවාහනයකදී එවැන්නක් බලාපොරොත්තු වීම අපතේ යෑමක් ලෙස ඉවසීමට වෙළෙන්දන් පුරුදුව සිටියහ. කෙසේ වෙතත් අවසාන අර්ථයෙන් මෙම නව දේශීය ධනපතියන්ගේ නැගීමට යටත් විජිත ආණ්ඩුව ආරක්ෂාව ලබා දීම වැනි කොන්දේසි සපුරාලීම සිදු කළේය.

            හයවන පරිච්ඡේදයේදී අප තවදුරටත් කතාබහට ලක් කරන මූලික අදහසක් වන මෙම මත්පැන් පාරිභෝගිකයා වූයේ මාවත් කම්කරුවන් සහ දේශීය ගොවීන්ය. බ්‍රිතාන්‍යයන් හට ඉතා කෙටි කලකදී මත්පැන් භාවිතය මෙරට ජන ජීවිතයේ ප්‍රධාන අංගයක් දක්වා වර්ධනය කිරීමට හැකි විය.

              1833 පමණ වන විට රේන්දකරුවන් අතරේ සැලකිය යුතු තරගයක් ඇති වී තිබුණි. තැබෑරුම් වෙන වෙනම වෙන්දේසි කරනා නිසා තරගකාරීත්වය වැඩි වූ අතර අඩු ප්‍රාග්ධනයක් හිමි අයට පවා තරඟකිරීමට හැකියාව ලැබුණි. එහෙත් ඒ අතර යම් තැබෑරුමක් පාඩු ලබා බදු මුදල් පැහර හැරියහොත් – රේන්දකරුවන් එම පාඩු ලැබීමට වගකිවයුතු නොවන අවස්ථාවක පවා – ඔවුන්ට දඩ පැමිණවීමට පමණක් නොව සිරගත කිරීමට පවා කටයුතු කර තිබුණි. 1825 දී බස්නාහිර පළාතේ ඇති වූ වසංගත තත්ත්වයක් හේතුවෙන් රේන්දකරුවන්ට අතිශය පාඩු ලැබීමට සිදුවිය. නොයෙක් තැබෑරුම් සඳහා මෙහිදී සමාවක් ලැබුණු නමුත් ආණ්ඩුව විසින් කොළඹ තැබෑරුම් 38කට දෙන ලද දඩසමාව බදුකරයෙන් හතරෙන් පංගුවකට සීමා කරන ලදී. මහනුවර ප්‍රදේශයේද මෙම තත්ත්වය මේ ආකාරයට පැවති නමුත් සමහරක් තැබෑරුම් ඉතා අදික ලාබ ලැබීය. ඉන්පසුව 1827 හා 1830 කාලයේ මත්පැන් පාරිභෝජනය ක්ෂණික වැඩි වීමක් නිසා තැබෑරුම්වල බදුකරයද විස්මය ජනක ලෙස ඉහළ ගියේය.

            මේ අතර වැරදි ගණන් බැලීම් හේතුවෙන් බොහෝ ස්වදේශීය රේන්දකරුවන් බංකොලොත් තත්ත්වයට පත් විය. සමහරක් රේන්දකරුවන් සම්පූර්ණයෙන් බංකොලොත් වී ගෙවීම් පැහැර හැරි අතර ආණ්ඩුව විසින් වෙනත් අයට එම රේන්ද පවරන ලදී. එහෙත් අවසානයේ මෙම රේන්ද ක්‍රමය ක්‍රමයෙන් අවුල් ජාලයක් බවට පත් විය. ඉන්පසුව රේන්ද බලපත් පුද්ගලිකව තැබෑරුමෙන් තැබෑරුමට ලබා නොදී පත්තුවකට එක රේන්දයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේය. මෙමගින් රේන්දකරුවන් අඩු වූ අතර තරඟකාරීත්වය අඩු වී තැබෑරුම් අතර ඒකාධීකාරීත්වයක් හට ගැනුණි. එහෙත් යළි යළිත් මත්පැන් පාරිභෝජනය සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර මහනුවර, බදුල්ල සහ සබරගමුව පළාතේ තව තවත් තැබෑරුම් ව්‍යාප්ත විය.

            දකුණු පළාත ආර්ථික වශයෙන් විශේෂ දියුණුවක් අත්පත් කර ගෙන නොතිබූ නිසා මත්පැන් අලෙවියද බස්නාහිර සහ මධ්‍ය පළාත්වලට සාපේක්ෂව අඩු විය. අනෙක් කරුණ නම් දකුණු පළාතේ තැබෑරුම් වෙනුවට හොර මත්පැන් අලෙවිය බහුලව සිදුවීමයි. 1836 දී ඇහැලියගොඩ ගමගේ දොන් සැමුවෙල් ද සිල්වා, නීතිවිරෝධීව සිල්ලර අරක්කු අලෙවි කළ තිදෙනෙකු ගැන බලධරයන්ට පැමිණිලි කළ අතර, ඔවුන් තිදෙනාට පැන වූ දඩ මුදලින් අඩක් ඔහුට හිමි විය. දකුණු පළාතේ රේන්දකරුවන්ගෙන් බොහෝ දෙනෙක් සුළු නිලධාරීහු සහ පාසල් ගුරුවරු වූහ.

            උතුරු පළාතේද මත්පැන් අලෙවිය පැවතියේ බොහෝ පහත් මට්ටමකය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායක් වූයේ යැපුම් ගොවිතැනයි. එහිදී දුම්කොළ ප්‍රධාන විය. මෙහි මත්පැන් අලෙවිය අඩු වීමට ආර්ථික දුර්වලතාව සේම තල් රා ගෙවතු මට්ටමෙන්ම භාවිතා වීම ද හේතු විය. යහපත් වැවිලි ආර්ථිකයක්ද මේ ප්‍රදේශවල වර්ධනය නොවීය. එම නිසාම නැගෙනහිර පළාතේද කිසිදු ආකාරයක අරක්කු තැබෑරුම් සඳහා උනන්දුවක් පැවතියේ නැත.

            ලන්දේසි සමයේ අරක්කු රේන්දවල හිමිකරුවන් ලන්දේසි ජාතිකයන් සහ කොළඹ හෙට්ටීන් වූ අතර බ්‍රිතාන්‍ය සමයේ මෙය ස්වදේශියන් අතටද පත් විය. එහෙත් ඒ අතර ඒ වන විටත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ද තැබෑරුම්වල හිමිකරුවන් ලෙස කටයුතු කළහ. එසේ හැරුණුකොට රේන්දකරුවන් අතරින් බොහෝ දෙනෙක්, ගම්මුලාදෑනීන්, පොලිස් විදානේවරුන්, පටබැඳිවරුන් සහ පාලස් ගුරුවරුන් වූහ. ඔවුන් බොහොමයක් කරාව සහ ගොවිගම කුලයේ අය වූ අතර ඒ ඒ ප්‍රදේශවල ඔවුන් බලය හිමි ප්‍රභූවරුන් විය. ඒ අතර මෙම කටයුතු සඳහා ආණ්ඩුව සමග සම්බන්ධතා හැසිරවීමේ දැනුමත් සහ අරක්කු සිල්ලරට විකිණීමට හැකියාවත් ඔවුන්ට තිබුණි.

            මේ යුගයේ රේන්දකරුවන් අතින් වඩා ප්‍රසිද්ධ නම් කිහිපයක් මෙසේය: කළුතර ගුරුන්නාන්සේලාගේ දොන් කරෝලිස් ආරච්චි, සුවාරිස්ගේ දොන් හෙන්ද්‍රික් සුවාරිස්, ඒබ්‍රහම් ඩෙප්, බෙනරගමගේ දොන් ඩැනියල්, බෙනරගමගේ දොන් ජස්ටීනුස්, වීරසූරියගේ දොන් දාවිත් අප්පුහාමි, වීරහැන්නැදිලාගේ ප්‍රනාන්දු. මෙහිදී 1830 ගණන්වල වැදගත් ලක්ෂණයක් වූයේ රේන්ද ක්‍රමය වෙනස් කිරීමට පෙර එක් අයෙකු හෝ කණ්ඩායමක් මත පමණක් රේන්දවල ආධිපත්‍ය දරා නොසිටීමයි.

            උඩරට ප්‍රදේශවල අරක්කු වෙළඳාම මූලිකව පැවතියේ පිටස්තරයින් අතේය. ඔවුන් බොහෝදුරට මුහුදුබඩ පළාත්වලින් පැමිණ අය වූහ. උඩරට පළාත්වල වෙළෙන්දන් සහ මුදල් හිමි අය නව වෙළඳාම් ආරම්භ කිරීමට මැලිකමක් දැක්වීම මෙයට හේතුවයි. ඊට මූලික හේතු වූයේ තම ගම්බිම්වලින් පිටත වෙළඳාම් කිරීමේ අකමැත්ත, වෙළඳාම සඳහා හැකියාවක් නොමැති වීම සහ සමස්තයක් ලෙස ඉඩම් හිමි රදල පවුල් වෙළඳාම කෙරෙහි නැඹුරු වීමට තිබෙන අකැමත්තයි.

1830 න් පසුව වර්ධනය වූ වැවිලි කර්මාන්තය මෙහිදී මත්පැන් වෙළඳාම තවත් වර්ධනය වීමට අවශ්‍ය පරිසරය සකස් කළේය. මෙම වර්ධනයන් ඉතාම සීඝ්‍රයෙන් සිදු වූ අතර රේන්ද මගින් ලැබෙන ආණ්ඩුවේ ආදායමද, මෙම රේන්දකරුවන්ගේ ප්‍රාග්ධනයද ඉතා ශක්තිමත් විය.

රංග මනුප්‍රිය