බොහෝ කලකට පසුව ලියන්නේ කුමක්දැයි අවිනිශ්චිතව තිබේ. චිත්‍රයක් ඇඳීමට පෙර කාංසාවෙන් සුදු හිස් කැන්වසය දෙස බලා සිටින චිත්‍ර ශිල්පියෙක් සේ මම චකිත වෙමි. එක් අතකින් මට කියන්නට ඇති සියල්ල මේ වනවිටත් කියවී තිබෙනවා කියා සිතෙයි. ඔව්, නලින් ද සිල්වා ට මම විරුද්ධ වෙමි. ඔහුගේ දේශපාලනය මෙන්ම දර්ශනයද, දේශපාලනය නිසා දර්ශනයද, දර්ශනය තුළින් උත්පාද වූ දේශපාලනය ද මම ප්‍රතික්ෂේප කරමි. එම නිසාම ඒවාට එරෙහි මගේ විරෝධය මා ලියා තිබේ. එතුමාගේ අනුගාමිකයන් සමග මා දිගු විවාද කරගෙන තිබේ. මේවා කාටත් රහසක් නොවේ.

නමුත් ගැටලුව වන්නේ මෙය අසම්පූර්ණ කතාවක් වීමයි. එතුමාගේ මරණය පිළිබඳව පුවත සදීප් විසින් බෙදා ගන්නා විට මට ඇති වූයේ දරා ගත නොහැකි කම්පනයකි. ජීවිතය නම් සමස්තයේ අති විශාල පංගුවක්, හදිසියේ එයින් ඉවත් කළා සේ දැනුනි. එම හිස් තැන, හිස් තැනක් ලෙස විශාල බරක් සේ මා පෙළන්නට විය.

බොහෝ දෙනෙකුට වෙනස් ලෙස නලින් ද සිල්වා සම්බන්ධ මගේ මූලික උනන්දුව දාර්ශනික එකක් විය. සත්‍ය වශයෙන්ම මා දර්ශනය සම්බන්ධයෙන් පළමු වරට උනන්දු වූයේ ඔහුගේ ලිවීම් නිසාය. දර්ශනය නම් හදිසි අනතුරට මගේ ජීවිතය හසු වූයේ ඔහුගේ සිතීම නම් අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථයේ ගැටීම නිසාය. අපේ රටේ දර්ශනය පිළිබඳව සංවාදයක් ආරම්භ වනවා නම් එහි මග හැර යා නොහැකි ලක්ෂ්‍යය වන්නේ මෙයයි.

හදිසියේ මා මත කඩා වැටුණු දරා ගත නොහැකි හිස් කම තේරුම් කළ හැකි එක් ආකාරයක් වන්නේ මෙයයි. තවදුරටත් ඔහුට පිළිතුරු දීමට, ඔහු සමග වාද කර ගැනීමට, ඉඩක් නොමැත. තවදුරටත් ‘ආසියාවේ ප්‍රථම දාර්ශනිකයා’ කියා නලින් ද සිල්වා මට සෝපාහාසයෙන් අමතන්නේ නැත.

සැකයකින් තොරවම මෙම සටහනේ ස්වාර්ථකාමී, ස්වරූපරාගී මානයක් තිබේ. මෙය අවමංගල්‍ය සටහන් වල දී මගහැරිය හැකි වනවා කියා මා සිතන්නේ නැත. අවමංගල්‍ය සටහනක් යනු මිය ගිය අනෙකා සමග ජීවත් වන මිනිසා සිදු කරන සංවාදයකි. එහි පුද්ගලික බවක් තිබෙන්නේ මේ නිසාය. ඒවා තමන් ගැනම කර ගන්නා පම්පෝරි කියා බාහිර පුද්ගලයෙක් සිතිය හැක. නමුත් එයට ලබා දිය හැකි විසඳුමක් නැත.

මළවුන් සමග ගනුදෙනුව බැරෑරුම් ගනුදෙනුවකි.

මට දැන් තනිව ගමන් කිරීමට සිදුව තිබේ. දාර්ශනික අර්ථයෙන් ඔහු ගේ සිතීම අවසන් නොමැති වුවත්, දැන් එය සමග ගනුදෙනු කළ යුතු අර්ථය මුළුමනින් වෙනස් වී තිබේ. එම නවීනත්වය කුමක්ද කියා මා තවම දන්නේ නැත. එය අනාගතයේ දී හමු වීම ප්‍රාර්ථනා කරන අත්දැකීමකි. දැනට ඉතිරිව ඇත්තේ දරා ගත නොහැකි හිස්කම පමණි.

නමුත් මෙම වේදනාව මා ගැන ස්වයන් වර්ණනාවකට පමණක් ඌණනය කළ නොහැක. මට නලින් ද සිල්වා නම් මිනිසාගේ මරණය ගෙන ආවේ වේදනාවකි. කරුණක් ලෙස මෙය මා පිළිගත යුතුය. ඔහු සමග මට පුද්ගලික හිතවත්කමක් මෙයට වසර බොහෝ කලකට පෙර තිබුණි. ඔහුගේ බිරිඳ මා සහ මගේ මිතුරන් ඔවුනගේ නිවසට ගිය විට අපට සංග්‍රහ කළ ආකාරය මට මතකය. උඩුකය වසා ගන්න කමිසයක් හෝ නොඇඳ අවුරුදු 17 ක කොලු ගැටයෙක් ගේ ප්‍රශ්න වෙනුවෙන් මේ සුවිසල් මිනිසා සිය ජීවිතයෙන් පැය ගණන් කාලය ලබා දුන්නෙහිය.

මේ සංකීර්ණ ජීවන භාවිතාවන් ය.

නලින් ද සිල්වා මහතා “බටහිර ඉවුරේ දර්ශනය” කියවන බව දන්නා නිසා ඔහු ගැන මෙහි මා අතින් නිර්නාමිකව ලියවුනු අවසන් සටහන සම්බන්ධයෙන් මට ඇත්තේ සතුටකි. එහිදී මා ලියුවේ ඔහු සම්බන්ධයෙන් මට ඇති ගෞරවය පිළිබඳවයි. ඔහුව රොහාන් සහ දීප්ති සමග මම එහිදී සන්සන්ධනය කළෙමි. අදහස් වෙනුවෙන් අරගල කළ මිනිසුන් ලෙස මේ තිදෙනා අතර බොහෝ සමානත්වයන් තිබෙනවා කියා එහි ලියවුනි.

මෙම වේදනාකාරී ප්‍රවෘත්තිය අප මත කඩා වැටුනේ “බටහිර ඉවුරේ දර්ශනය” කවයට සම්බන්ධ පිරිස, පසුගිය සති කීපය පුරා “මගේ ලෝකය” කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට නැවත කියවීමේ ව්‍යාපෘතියක නියැලෙමින් සිටින අතරයි. පසුගිය අඟහරුවාදා අප කියවූයේ එහි කලාව සම්බන්ධයෙන් ඇති 8 වෙනි පරිච්ඡේදයයි. දෛවෝපගත ලෙස එන සතියේ අපට කියවන්නට තිබෙන්නේ “මගේ ලෝකය” කෘතියේ අවසන් පරිච්ඡේදයයි.

එම සංවාදයේ වීඩියෝ යූටියුබ් එකට දමන්නට පසුගිය සතියේ මම සහ රංග කතා කරගෙන තිබුණි. නමුත් දැන් මේ ව්‍යාපෘතිය කල් දැමීමට සිදුවෙයි.

නලින් ද සිල්වා මහතා යනු බොහෝ අර්ථ වලින් මට පවුලෙන් ලැබුණු උරුමයකි. ඔහුව මා දැන ගැනීමට බොහෝ පෙර සිට ඔහු මගේ පියාගේ මිතුරෙක් විය. අවාසනාවට මාගේ මැදිහත්වීම නිසා ඔවුන් අතර මිත්‍රත්වය අවසන් කාලයේ දී පලුදු විය.

නලින් ද සිල්වා මහතා සහ වල්පොළ රාහුල හිමි සමග මගේ පියා සිටින පහත ඡායාරූපය මා බෙහෙවින් ප්‍රිය කරන්නකි. මා අයත් වන සංකීර්ණ ඓතිහාසිකත්වයේ විවිධ මානයන් එහි එකට කැටි කොට තිබෙනවා කියා මම සිතමි. පසුගිය වසරේ මෙහි පිටපතක් රාමු කර මගේ පියාට උපන්දින ත්‍යාගයක් දෙන අරමුණින් මෙහි විනාශ වී ඇති කොටස් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස දිනිත් ගෙන් ඉල්ලා සිටියෙමි. දිනිත් එය කර දුන් නමුත් මට පියාට එය ලබා දීමට නොහැකි විය.

මේ වසරේ එය කෙසේ හෝ ඉටු කරන්නට උත්සාහ කරමි. නමුත් වසරකට පසුව අද මෙහි ජීවතුන් අතර සිටින්නේ මගේ පියා පමණි. ජීවිතයේ දරා ගත නොහැකි හුදෙකලාවක් තිබේ.

අවසානයේ දී මා කියන්න යන දෙයින් මගේ ජාතිකවාදී දේශපාලන ප්‍රතිවාදීන් මෙන්ම වාමාංශික දේශපාලන හිතවතුන් ද අමනාප වනු ඇත. නමුත් මෙය කියන්න මට සිදුවෙයි. නලින් ද සිල්වා මහතා ‘ප්‍රාර්ථනා කළ බෝධියකින් නිවන් දකිත්වා’ කියා බොහෝ දෙනා ලියා තිබුණි. කවුරුන් අකමැති වුවත් නලින් ද සිල්වා සහ මා අතර ඇති දාර්ශනික ඉතිහාසයේ සිට මට කිසිදා මෙවැනි සම්ප්‍රදායික වාක්‍යයක් ලිවීමට හිත හදා ගත නොහැක. සමපේක්ෂී භෞතිකවාදියෙක් ලෙස මා ප්‍රාර්ථනා කරන්නේ නලින් ද සිල්වා නම් මේ අද්විතීය මිනිසාට සිය සිතීම අවසානය වෙත ගෙන යාමට නැවත අවස්ථාවක් ලැබෙනා ලෝකයකි. එම ලෝකයේ දී ඔහු කර ඇති ‘දේශපාලන අපරාධයක්’ තිබෙන්නේ නම් එයට වන්දිය ඔහු ගෙවනු ඇත. කවුරුන් අකමැති වුවත්, නලින් ද සිල්වා එහිදී සිය හෘද සාක්ෂිය හමුවේ දරා ගත නොහැකි අපරාධයක් කර ඇති මිනිසෙක් නොවනවා කියා මම දැඩි සේ විශ්වාස කරමි.

වංගීස සුමනසේකර