img_9643

‘සිරියාව’ ඇසූ සැනින් ලාංකික අපට මුලින්ම සිහියට ආවේ මෙම තේරවිල්ලයි. නමුත් අද වන විට සිහියට නැගෙන්නේ එහි කුමන හෝ යුද්ධයක් පවතින බව පමණයි. සිරියාව කියා රටක් ඇති බවත්, එහි මේ වන විට යුද්ධයක් පවතින බවත් බහුතරයක් දෙනා දැනුවත් බව සිතමු. කිසිවක් නොදන්නා අය ඉහත තේරවිල්ල හෝ අසා ඇතැයි සිතමු. කෙසේ වෙතත් වසර හතරක් පුරා දිවෙන යුද්ධය නිසා මේ වන විට සිදු වී ඇති මානව සංහාරය සහ ඓතිහාසික බලපෑම පිලිබඳ ලාංකික ජනයාට ඇත්තේ ඉතා අල්ප දැනුමකි. තව ද මෙම යුද්ධය ඇති වීමට පසුබිම් වූ හේතු පිලිබඳ අදහසක් ඇත්තෝ ඇත්තේ ඉතාම ස්වල්පයකි. අපගේ ගියවර ලිපියකින් අරාබි වසන්තය පිලිබඳ කෙටි විශ්ලේෂණයක් සිදු කළේ මීට පූර්විකාවක් වශයෙනි. මෙම ලිපියෙන් අප උත්සහ කරන්නේ සිරියානු යුද්ධය පිලිබඳ, සිංහල කියවන පාඨකයා දැනුවත් කිරීමටයි.

යහපත් දේශපාලන සවිඤ්ඤාණිකත්වයක් ඇති කර ගැනීමට, අනිවාර්යෙන්ම ගෝලීය දේශපාලනය පිලිබද දැනුම, ජාතික දේශපාලනයට ඍජුව බලපෑම් කරන යුගයක එය පුරවැසියෙකු සතු විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනම් ගෝලීය දේශපාලන පිලිබඳ අදහසක් නැතිව ඔබට කිසිඳු ආකාරයකින් බුද්ධිමත් ඡන්ද දායකයෙකු විය නොහැකිය. එය ඉතාම ආදරණීය ලෙස කියන්නේනම් වසර හතරක යුද්ධයෙන් මිය ගිය, තුවාල ලැබූ හා අවතැන් වූවන් වෙනුවෙන් සුසුමක් හෝ හෙලීමට ඔබට සදාචාරයක් තිබිය යුතුය.

ඒ සඳහා ඔබ ඒ පිලිබඳ වුවමනාවෙන් දැනුවත් විය යුතුය. අද දවසේ අපගේ ප‍්‍රධාන ජන මාධ්‍ය ආයතන ඔවුන්ගේ මාධ්‍ය සදාචාරය අමතකකොට දමා ඇත්තේ ඒවා තවමත් ප‍්‍රාදේශීය මාධ්‍ය සම්ප‍්‍රදායක ම නියැලෙන නිසා විය හැකිය. සමස්ථ ගෝලීය දේශපාලනය අද වන විට සිරියාව දෙසට දිශානත වී ඇත. මේ වන විට 450,000 ක් ඝාතනයට ලක් වුණු මිලියනයක් දෙනා තුවාල ලැබූ මිලියන 12 ක් දෙනා අවතැන් වූ මේ යුද්ධය දෙස නොබලා සිටීම ගෝලීය වශයෙන් අප විතැන් වීමකි. ලෝකය පිලිබඳ දැනුම උසස්වීම් ලබා ගත හැකි තරග විභාගවලට සහ දැනුම මිනුම තරග වලට ඌනනය වී ඇති යුගයක අප යෝජනා කරන්නේ එය ඔබගේ සංස්කෘතික ජීවිතයේ අත හැර නොහැකි අංගයක් විය යුතු බවයි.

අසාද් ගේ අප්පච්චිගෙන් පටන් ගමු. වර්තමාන ජනාධිපති බශාර් අල්-අසාද් ගේ පියා වන හෆීස් අල්-අසාද් 1971 වර්ෂයේ සිරියානු ජනාධිපති ලෙස පත් වී 2000 වර්ෂයේ මිය යන තෙක් සිරියාව පාලනය කළේය. පසුව මේ දක්වා ඔහුගේ පුත් අසාද් සිරියාවේ ජනපති වශයෙන් පත් වී සිටියි. ඒ අනුව වසර 45 ක අල්-අසාද්රෙජීමය තවමත් ක‍්‍රියාත්මක වෙමින් පවතියි. ආසාද් පාලනය අනෙක් අරාබි රෙජීමයන්ගෙන් වෙනස්වන්නේ ඔවුන් ආගම අන්තවාදී ලෙස භාවිතා නොකිරීම නිසයි. සැබෑ ලෙස ම සිදුවූයේ අසාද් පාලනයේ අසාර්ථක ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රතිඵලයක් සහ අසල්වැසි රාජ්‍යයන් තුල හටගත් විරෝධතා ව්‍යාපාර මාලාව හේතුවෙන් සිරියාව තුල ද ආරාබි වසන්තයේ එක් අවධියක් ආරම්භ වීමයි.

2011 මාර්තු 06 වන දින ළමුන් 15 දෙනෙකු තාප්ප හා දැන්වීම් පුවරුවල රාජ්‍ය විරෝධී සටන් පාට ලියමින් විරෝධතා දැක්වීමෙන් පසු ව අසාද් රජය ඔවුන් සිරගත කොට අමානුෂික ලෙස වධබන්ධනවලට ලක් කිරීම නිසා උරණ වුණු සිරියානු ජනතා විරෝධය (එහිදී වයසඅවුරුදු 13 ක් වූ හම්සා-අල්කටීඩ් දරුවා ඝාතනයවිය) තව දුරටත් වර්ධනය වීමට විය. පසුව එය අති විශාල උද්ඝෝණයක් දක්වා වර්ධනය වූ අතර ඉතාම කුරිරු ලෙස එම විරෝධතා මැඩපැවැත්වීමට අසාද් රජය ක‍්‍රියා කළේය. එම නිසා දහස් ගණනක් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්විය. ඒ අතර සිවිල් සංවිධාන ක‍්‍රියාධරයන්, ශිෂ්‍යයන් හා මානව හිමිකම් ක‍්‍රියාධරයන් අත්තඩංගුවට ගනු ලැබිණි. 1982 මෙවැනි ම ආකාරයේ විරෝධයක් හේතුවෙන් අසාද් රජය විරෝධතාකරුවන් 10000 – 40000 අතර ප‍්‍රමාණයක් ජීවිතක්ෂයට පත්කර ඇත.

2011 ජූලි 29 වන දා නිදහස් සිරියානු හමුදාව (FSA) නමින් සිරියානු හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනෙකු විසින් අසාද් රජය පෙරළා දැමීමේ අරමුණින් හමුදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. පසුව රස්තාන් සංවිධානයත් අසාද් රජයට විරුද්ධව පෙළ ගැසිණි. (FSA) සංවිධානයට තුර්කියෙන් ආධාර ලැබිණි. සුළු ජාතික ආගමික සංවිධාන අසාද් රජයට සහය පල කළෝය. ක‍්‍රමයෙන් ආගමික නැති නම් නිකායික යුද්ධයකට ප‍්‍රවිශ්ට වූ සිරියානු ඛේදවාචකයේ විපක්ෂ සටන් කාමීන් බහුතරය සුන්නි මුස්ලිම්වරුන් විය. ෂියා මුස්ලිම් රාජ්‍යයන් වූ ඉරානය, ඉරාකය හා ලෙබනනයෙන් අසාද් රජයට සහය ලැබිණි. සුන්නි මුස්ලිම් රටවල් වන තුර්කිය, කටාර් හා සවුදිය විරෝධතාකරුවන්ට සහය පළ කළෝය.

පසුව සිරියානු යුද්ධයට බාහිර රාජ්‍යයන් ගේමැදිහත්වීම අතිශය තීරණාත්මක බලපෑම් සහගත එකක් බවට වර්ධනය විය. රුසියාව මෑතකදී එනම් 2015 දී ISIS සටන් කාමීන්ට විරුද්ධව පහරදීම් ආරම්භ කළේය. 2004 ඇමරිකාව ඉරාකයට පහරදීම හේතුවෙන් බිහිවුණු ISIL (ISIS) සංවිධානය අද වන විට සිරියානු යුද්ධයේ කේන්ද්‍රීය භූමිකාව වී තිබෙන්නේ සිරියානු විරෝධතා කැරැල්ලේ මූලික අධ්‍යාශයන් පාගා දමමිණි. සිරියානු යුද්ධයේදී ඔවුන් සමග එකතු වූ පිරිස 30000 කට අධිකය.සිරියානු යුද්ධයේදී ඔවුන් සමග එකතු වූ පිරිස 30000 කට අධිකය. බහුතරය ඉරාකයෙන් වන අතර මේ වන විට රටවල් 86 ක නියෝජයනයක් (ටියුනීසියාවෙන් 6000ක් යුරෝපයෙන් 5000ක්) ඔවුන් සතුව ඇති බව ඇමරිකානු ආරක්ෂක වාර්තා සඳහන් කරයි. පසුව ජිහාඩ් සංවිධානයත් ඔවුන් සමග එක්විය. ජියාඩ් සංවිධානය යනු ඉස්ලාම් ආගමික මතයක් ගුරු කොට ගත් සන්නද්ධ සංවිධානයකි. ඉන්පසු සිරියානු ජනතා විරෝධය පාගා දමමින් ආගමික න්‍යායාය පත‍්‍රයකට අනුව මෙම සන්නද්ධ ව්‍යාපාරය ඉදිරියට ඇදෙමින් පවතියි. නමුත් (FSA) සංවිධානයේ මූලික අරමුණ වූයේ අසාද් රජය පෙරලා දැමීමයි. ක‍්‍රමයෙන් මේ සියලූ ම අංශයන් එක් වූ විශාල යුද්ධයක් දක්වා සිරියානු යුද්ධය වර්ධනය විය. අද වන විට සිරියානු හමුදාව, FSA, ISIS, වෙනත් රාජ්‍ය විරෝධී හමුදාවන් හා රුසියානු හමුදාව මෙම සටනේ ප‍්‍රධාන පාර්ශවකරුවන් වී සිටියි.

නාටකීය ලෙස කියන්නේනම් අද වන විට වසර හතරක් ඉක් ම ගියද මෙම ශොකෝත්පාදකය පරිසමාප්තියට පත්වේ යැයි සිතිය නොහැකිය. ඊට හේතුව එය තවමත් ලෝක සත්වයාගේ භාව විරේචනය ලක් වීමට තරම් උත්කෘෂ්ට ශෝකෝත්පාදකයක් වී නැති නිසාවන්නට පුලුවන. මානුෂීය ලෙස වෙනත් ආකාරයකට කියන්නේනම් මේ සඳහා සමස්ථ ලෝක වාසීන්ගේ දායර්ද අත පෙවීම සිදුවනතුරු සිරියාවට සිරියාවක් අත් නොවුණු ඇත. ලෝක බලවතුන් තමුන්ගේ හැකියාව හා බලපුලූවන්කාරකමෙන් සිරියානු යුද්ධයට මැදිහත් වී සිටියි. තවත් බලවතුන් ඊට මුනිවත රකියි. සිරියානු යුද්ධය පවතින්නේ සිරියාවේ පමණක් නොවන බව පසුගිය දා ජර්මනියේ දීඑල්ල වුණු ISIS ප‍්‍රහාරය සාක්ෂි දරයි.

දේශපාලන දැනුම පිලිබඳ අනිවාර්යතාව ප්ලේටෝගේ ඉගැන්වීම් දක්වා දිවයන්නේ දේශපාලනය යනු ම පැවැත්මේ පූර්ව කොන්දේසියක් වන නිසාය. අප ඔබට යෝජනා කරන්නේ ඔබගේ දෛනික ජීවිතයෙන් ඉතා සුළු කාලයක් ගෝලීය දේශපාලනය පිලිබඳ දැනුවත්භාවය ප‍්‍රකටකර ගැනීමට යොදවන ලෙසයි. විශේෂයෙන් ම විකල්ප කලා භාවිතයන් වල, විකල්ප සමාජ භාවිතයන් වල, සිටිනා ලාංකික තරුණ පරම්පරාවේ තිබෙන එක දුර්වල කමක් වන්නේ ලෝකයේ සිදු වන දේ පිළිබඳ ඇති පූර්ණ ආඥාණ භාවයයි. මිනිසා ගේ පැවැත්ම යනු ලෝකය-තුළ-පැවැත්මක් යන හෛඩගරියානු අදහසින් පසුව සමාජය සහ කලාව පිළිබඳ බැරෑරුම් වන කෙනෙක් හට මේ සඳහා කිසිදු තර්කයක් ඉතිරිව නොමැත. මිලියන බාගයක් මිනිසුන් මිය ගිය සිරීයානු යුද්ධයේ බිහිසුණු පාඩම එය නොවේද?

රංග මනුප්‍රිය