ආගම සම්බන්ධයෙන් අපට ගත හැකි ස්ථාවර, එසේත් නැතිනම්, තෝරා ගත හැකි ප්‍රවේශ තිබෙන්නේ හතරක් පමණි.

පළමුවැන්න භක්තිවන්තයා ගේ ප්‍රවේශයයි. මෙය තාර්කිකත්වය ප්‍රතික්ෂේප කිරීමක් වන නිසා මෙයට එරෙහිව දර්ශනය මුළුමනින් බෙලහීන වෙයි. එහිදී කෙනෙක් සිතීම, තර්කය ප්‍රතික්ෂේප කර සිතීමට ග්‍රහණය කරගත නොහැකි ‘අනේකත්වයක්’ ඇති බව විශ්වාස කරයි. මෙවැනි විශ්වාසයක් දාර්ශනිකව පරාජය කළ නොහැකි වන්නේ එය ‘සාකච්ඡාවට’ විවෘත නොවන නිසාය. එම නිසා මෙය ආගම වෙත ඇති ආධානග්‍රාහී ප්‍රවේශයකි.

දෙවැන්න වන්නේ බොළඳ යථාර්ථවාදියා ගේ ප්‍රවේශයයි. එංගල්ස් ගේ සහ ලෙනින් ගේ සිට රිචඩ් ඩෝකින්ස් දක්වා දිගු ඉතිහාසයක් මෙයට හිමි වෙයි. කෙනෙක් මෙම ප්‍රවේශයට දේශපාලනිකව කෙතරම් පක්ෂ වුවත් නිශ්චිත දාර්ශනික අර්ථයෙන් මෙය ‘බොළඳ’ යන විශේෂණ පදයෙන් හැඳින්වීමට සිදුවන්නේ මේ මගින් දැනුම සම්බන්ධයෙන් මතු වන දාර්ශනික ගැටලු බරපතල ලෙස සැලකීම ප්‍රතික්ෂේප කරනා නිසාය. ඒ වෙනුවට එය අත්දැකීමේ ලෝකය පිළිබඳව ප්‍රායෝගිකවාදී ප්‍රවේශයක් අනුගමනය කරයි. එම නිසාම මෙහිදී *සැබැවින්ම* යථාර්ථය වන්නේ මෙය නොවේද යන ප්‍රශ්නය බැරෑරුම් ලෙස සලකා බැලෙන්නේ නැත. මෙය අසම්පූර්ණ අර්ථයකින් පමණක් යථාර්ථවාදයක් වන්නේ මෙම නිසාය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙයට ආගම වැරදි වන බව *තහවුරු කිරීමට* නොහැකි වේ. මෙවැනි ප්‍රවේශයකින් ආගම ප්‍රතික්ෂේප කිරීම ද අවසානයේ දී ආධානග්‍රාහී ස්ථාවරයක් පමණක් වන්නේ මෙම නිසාය. එය පළමු ප්‍රවේශයේ සමමිතික අනෙකා ලෙස ගත හැක.

තුන්වැන්න වන්නේ දාර්ශනික සංශයවාදයයි. මේ මගින් පෙන්වා දෙන්නේ දැනුමේ අත්‍යන්ත සීමාවයි (පරිමිතත්වයයි). මෙලෙස දැනුම සීමා කිරීමේ ඍජු ප්‍රතිඵලය වන්නේ ආගමික විශ්වාසයන් මගින් යෝජනා කරන දැනුමින් ළඟාකර ගත නොහැකි විකල්ප අවසානයන් ප්‍රතික්ෂේප කළ නොහැකි වීමයි. කාන්ට්, හෛඩගර්, ලෙවිනාස්, වටිමෝ, රෝටී ආදීන් ගේ සිට ජොන්-ලක් මැරියන් සහ නලින් ද සිල්වා දක්වා අය මෙයට ඇතුලත් වෙයි. එහිදී ආගමික සත්‍යය දැනුමින් තේරුම් ගත නොහැකි බව පිළිගැනෙනා අතර දැනුම සීමාසහිත වන නිසා එම දැනුමින් තේරුම් ගත නොහැකි රැඩිකල් අනේකත්වයන් ප්‍රතික්ෂේප කළ නොහැකි බව පෙන්වා දෙයි. එම නිසා දැනුමින් පරිබාහිර විකල්ප ප්‍රවේශ ඔස්සේ පමණක් ළඟාකර ගත යුතු විශේෂ අවබෝධයන් වල වියහැකිභාවය මේ මගින් විවර වෙයි. දර්ශනයෙන් කරන්නේ එය ප්‍රතික්ෂේප කළ නොහැකි සේ දැනුම සීමා කිරීමයි. මෙය ආධානග්‍රාහී ස්ථාවරයක් නොවන්නේ එම නිසාය. ඒ වෙනුවට මෙය තාර්කිකත්වය පැත්තේ සිට ආගමට පක්ෂපාතී වීමට ඇති එකම ප්‍රවේශය කියා අපට නම් කළ හැක. එමගින් කරන්නේ තාර්කිකත්වය තුළ සිටිමින් තාර්කිකත්වය සීමා කිරීමයි. එය තාර්කිකත්වයේ අභ්‍යන්තර සතුරෙකි. මෙහි ඉතාම වැදගත් නිගමනය වන්නේ අඥයවාදය (agnosticism) යනු සෑම විටම ආගමට – වක්‍රව – සහය දෙන ස්ථාවරයක් ලෙස ගත යුතු බවයි.

සිව්වැන්න වන්නේ පාරභෞතික විද්‍යාවයි (metaphysics). එමගින් පෙන්වා දෙන්නේ දැනුම තුළින් අපට පරම වූ සත්‍යය වෙත ළඟා විය හැකි බවයි. නමුත් මෙය බොළඳ යථාර්ථවාදයෙන් වෙන් වන්නේ මෙය සංශයවාදයේ ඥානවිභාගාත්මක අභියෝගයට මුහුණ දීමෙන් පසුව තහවුරු කරනා සත්‍යයක් වන නිසාය. පාරභෞතික විද්‍යාවක් සාර්ථක වීමට නම් එය සංශයවාදය හරහා අනිවාර්යයෙන් ගමන් කළ යුතු වෙයි. සංශයවාදියා (එසේත් නැතිනම් විතණ්ඩතාවාදියා) යනු පාරභෞතික විද්‍යාවේ සමාරම්භක ප්‍රතිවාදියා වන්නේ මෙම නිසාය. එය සාර්ථක වුවහොත් එමගින් අපට විවර වන්නේ ආනුභුතික අත්දැකීමේ යථාර්ථය ඉක්මවූ ලෝකයක් පිළිබඳව දැනුමකි. ආගම විසින් සිතන්න උත්සාහ කරනා පරමත්වයන් සම්බන්ධයෙන් නිශ්චිත දැනුමක් පාරභෞතික විද්‍යාවට ලැබෙන්නේ මේ නිසාය. දෙවියන්, අමරණීයත්වය, සදාකාලිකත්වය වැනි අදහස් මේ සම්ප්‍රදාය තුළ මුළුමනින් ලෞකික සංවාද බවට පත්වෙයි. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ගේ සිට ඩෙකාට්, ස්පිනෝසා, හේගල්, ඩෙලූස්, බදියු සහ මෙයසූ දක්වා චරිත අයත් වන්නේ මෙම ප්‍රවේශයටයි. මේ සියලු දෙනා කරන්නේ ආගමික විශ්වාසයන් වැරදි බව අවසානයකින් තොරව පෙන්වා දීමට උත්සාහ කිරීම නොවේ. ඒ වෙනුවට මෙහිදී කරන්නේ යථාර්ථය මුළුමනින්ම ලෞකික (immanent) බවත් එහි ගූඨ වන කිසිවක් නැති බවත් පෙන්වා දීමයි. එනිසාම මෙහිදී සුවිශේෂ ‘අධ්‍යාත්මික හෙළිදරව්වක්’ මගින් පමණක් ළඟා විය හැකි ‘විශේෂ අවබෝධයක්’ යන අදහස ප්‍රතික්ෂේප වෙයි. එය රැඩිකල් ලෙස නිරාගමික වන්නේ එමගින් ආගමික පරමත්වයන් ප්‍රතික්ෂේප වන නිසා නොව ඒවා මුළුමනින් ලෞකිකකරණය කරනා නිසාය.

ආගම සමග සම්බන්ධ විය හැකි ප්‍රවේශ වන්නේ මේවා පමණි. වෙනත් කිසිවක් නැත. ඔබ මේ හතරින් අයිති වන්නේ කුමකට ද? මේ ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර අතිශය තීරණාත්මක වෙයි!