මේ තිබෙන්නේ මාක්ස්වාදය සම්බන්ධයෙන් නිර්මාල් සහ විදර්ශන අතර ඇති වී ඇති ෆේස්බුක් අදහස් හුවමාරුවට කෙටි ප්‍රතිචාරයකි.

මාක්ස්වාදය ජනප්‍රිය ආකාරයෙන් බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ පහත දැක්වෙන ආකාරයටයි.

සමාජයක මූලික පදනම වන්නේ එහි නිෂ්පාදනය සංවිධානය වන ආකාරයයි. නිෂ්පාදනය සංකීර්ණ වනවිට එය පවත්වාගෙන යන සම්බන්ධතා වල ආකෘතිය වෙනස් කිරීමට සිදුවෙයි. එවිට අප එක් නිෂ්පාදන මාදිලියක සිට වෙනත් නිෂ්පාදන මාදිලියකට මාරු වෙයි. එහිදී පැරණි නිෂ්පාදන සම්බන්ධතා අත්හැර අලුත් සම්බන්ධතා වලට අප එයි. නමුත් මේ සෑම අවස්ථාවක දී ම මූලික බෙදීමක් අකණ්ඩව තිබේ. එම බෙදීම වන්නේ නිෂ්පාදන බලවේග වල අයිතිය හිමි සුළුතරය සහ එහි අයිතිය නොමැති නිසා ජීවත් වීම වෙනුවෙන් ඉහත සුළුතරයට යටත්ව සිටීමට සිදුවන බහුතරය යන බෙදීමයි. මේ අනුව අධිපති පන්තියක් සහ පීඩිත පන්තියක් ලෙස සමාජය දෙකට බෙදිය හැක. ධනවාදය යනු මෙලෙස සංකීර්ණ ලෙස වර්ධනය වන අවසාන නිෂ්පාදන මාදිලියයි. නමුත් සෑම නිෂ්පාදන මාදිලියක් ලෙසම එහි ද වර්ධනය නිසා එම නිෂ්පාදන මාදිලියට අයත් වන සම්බන්ධතා පුපුරා යයි. නමුත් ඉන් පසුව අප ගමන් කරන්නේ පන්ති බෙදීම අහෝසි වන්නා වූ නව සමාජයකටයි. එමගින් සැබෑ මානව ඉතිහාසය ආරම්භ වෙයි. එම සමාජය කොමියුනිස්ට් සමාජය ලෙස නම් කරයි. ඉතිහාසය ගමන් කරන අනිවාර්යයතාවාදී නියාම ධර්ම වලට අනුව මෙම කොමියුනිස්ට් සමාජය අනිවාර්යයෙන් ඇති වීමට නියමිත වේ.

මෙවැනි අර්ථයකින් තවදුරටත් මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටිය හැකිය කියා අප සිතන්නේ නැත. මේ සම්බන්ධයෙන් මූලික ගැටලු දෙකක් මතු කළ හැක. පළමුවැන්න සත්භාවවේදී වන අතර දෙවැන්න ආචාරධාර්මික වෙයි.

පළමුවෙන්, කොමියුනිස්ට් සමාජය වෙත යාම අනිවාර්යය වන්නේ ඇයිද කියා අපට පැහැදිළි වන්නේ නැත. සමාජයට මෙවැනි දෛවයක් උරුම වූයේ ඇයිද කියා අපට පැහැදිළි වන්නේ නැත. ඉතිහාසය නියාම පාලිත වන්නේ ඇයිද කියා අපට පැහැදිළි වන්නේ නැත. ධනවාදය කඩන් වැටී එයට වඩා දියුණු සමාජ ක්‍රමයක් වෙත යාම අනිවාර්යය වන්නේ ඇයිද කියා අපට පැහැදිළි වන්නේ නැත.

මෙහි දෙවැනි සංකීර්ණ ගැටලුව වන්නේ කොමියුනිස්ට් සමාජය සැබැවින්ම යුක්තිය නියෝජනය කරන්නේ ද යන ගැටලුවයි. එවැනි සමාජයක් ඇති වන්නේ නම් ඉතාම පැහැදිළි වන්නේ එම සමාජයේ ජීවත් වීමට වරම් නොමැති වූ සාතිශය බහුතරයක් මිනිසුන් වෙත එහිදී ඉටු වන යුක්තියක් නැති බවයි. වෝල්ටර් බෙන්ජමින් ගේ ඉතිහාසය පිළිබඳව 9 වැනි තිසීසයේ මතු කරන්නේ මෙම ප්‍රශ්නයයි. ‘ඉතිහාසය නම් සුර දූතයා’ ට දක්නට ලැබෙන්නේ මහා විනාශයන් ගොඩකින් සමන්විත වන්නා වූ අතීතයකි. පාරාදීසයේ සිට හමා එන මහා කුණාටුවකින් එම සුර දූතයාව අනාගතය වෙත තල්ලු කරයි. ඔහු ගේ දෙපා මුල ගොඩ ගැසෙන්නේ මහා විනාශයක් පමණි. අනාගත කොමියුනිස්ට් සමාජයේ දී මේ වෙනුවෙන් අපට කළ හැකි දෙයක් නොමැති වේ. අපට කළ හැක්කේ එම අතීතය ගැන කණගාටු වීම පමණි. මානව වර්ගයා ගේ දිගු ප්‍රාග්-ඉතිහාසය පුරා අසාධාරණයට ලක් වූ අනේක මිනිසුන් වෙනුවෙන් අපට කිසිදා යුක්තිය ඉටු කළ නොහැක. එම නිසාම මාක්ස්වාදය පරිපූර්ණ විශ්වීයත්වයක් වන්නේ නැත.

මින් අදහස් වන්නේ අප දැන් ජීවත් වන ලෝකය මෙසේ තිබීම යහපත් වනවා යන්න නොවේ. මේ සමාජයේ අධික ධනයක් තිබෙන සුළු පිරිසක් සිටීම සහ දරාගත නොහැකි දරිද්‍රතාවයකින් පෙලෙන බහුතරයක් සිටීම කිසිසේත් සාධාරණ නොවේ. එම නිසාම එය වෙනස් කළ යුතුය. යුක්තිය වෙනුවෙන් කරන දේශපාලනය ඉදිරියට යා යුත්තේ මේ නිසාය. නමුත් මේ වෙනස් කිරීම අපට ඉහත ආකාරයේ අනිවාර්යයතාවාදී රාමුවකට අනුව සිතිය නොහැක. ඒ වෙනුවට මෙය සිතිය හැක්කේ සංයුක්ත අරගලයක් ලෙසයි. විශාල ව්‍යාපාර පාලනය කරන්නට ගොස් ආර්ථිකය කඩා වට්ටන්නේ නොමැතිව ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් මැදිහත් වන්නේ කෙසේද? එය දැන් පවත්නා තත්වය පිළිබඳව තිබෙන තක්සේරුවක් මත නිර්මාණශීලී ලෙස කළ යුතු මැදිහත්වීමකි. එය ‘ඉතිහාසය’ විසින් නියාමනය කරන පරම අනිවාර්යයතාවයක් නොවේ. ඒ වෙනුවට එය දේශපාලනය නම් සුවිශේෂ සිතීමේ රෙජීමය විසින් ගොඩනගන නව අදහසකි.

මේ සඳහා යුක්තිය පිළිබඳව අදහස අපට අලුතෙන් අර්ථකථනය කිරීමට ද සිදුවෙයි. දේශපාලනය සහ දර්ශනය අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ මෙතැන දී ය. නමුත් එය වෙනම පැහැදිළි කළ යුතු දිගු කතාවකි.

වංගීස සුමනසේකර