පසුගිය දා අනුර කුමාර දිසානායක ඉතා වැදගත් අදහසක් කියා තිබුණි. ඒ අපේ ‘ජාතික වීරයන්’ පිළිබඳව අදහස ඓතිහාසිකව බෙහෙවින් ගැටලුකාරී වන රජවරුන් පිළිබඳව පුරාවෘත මත පදනම් වන අදහසක් නොව විසිවෙනි සියවසේ මේ රටේ සිටි ශ්‍රේෂ්ඨ මිනිසුන් ගේ විශාල අරමුණු සොයා යාමක් ලෙස නැවත අර්ථ ගැන්විය යුතු බවයි.

අනුර ගේ මේ අදහස අපට ඇලේන් බදියු විසින් සිය ‘The Century’ කෘතිය තුළ ගොඩනැගු එක්තරා ඓතිහාසික තිසීසයක් සමග සම්බන්ධ කළ හැක. තරමක් සරල ආකාරයකින් සාරාංශ කරන්නේ නම් ‘The Century’ කෘතියේ දී ඔහු යෝජනා කරන්නේ මෙවැනි අදහසකි.

විසිවෙනි සියවස යනු සිය සාමාන්‍ය ජීවිතය කැප කර පුදුමාකාර අරමුණු හඹා යාමට උනන්දු වූ මිනිසුන් ගේ සහ එවැනි මිනිසුන් ගෙන් සැදුම් ලත් සාමූහික ක්‍රියාකාරිත්වයන් වලින් පිරුණු සියවසකි. සාමාන්‍යයෙන් අප බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේත්, අපට සමාජය විසින් යෝජනා කරන්නේත් රැකියාවක් කර, පවුලක් සාදා, දරුවන් ඇති දැඩි කර, මුදල් හම්බ කරගෙන හැකිතාක් ස්ථාවර ජීවිත ගත කරන ලෙසයි. නමුත් විසිවෙනි සියවස පුරා අපට හමු වන්නේ මේ ආකාරයේ අවස්ථාවන් අත්හැර දේශපාලනය වෙනුවෙන්, දර්ශනය වෙනුවෙන්, නාට්‍ය කලාව වෙනුවෙන්, සාහිත්‍ය වෙනුවෙන්, දෘශ්‍ය කලාව වෙනුවෙන්, ආදරය වෙනුවෙන්, ලිංගිකත්වය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ පුදුමාකාර මිනිසුන්ගේ කතා ය. අද සිට ආපසු හැරී බලන විට මේ මිනිසුන් ගේ ජීවිත පිළිබඳව අපට තිබෙන්නේ පුදුමයකි.

මේ මිනිසුන් මෙහයවූ එක්තරා පෙළඹවීමක් තිබුනා කියා බදියු කියයි. බදියු එය නම් කරන්නේ ‘යථාවට ඇති අනුරාගය’ (‘passion for the real’) ලෙසයි. ‘යථාව’ යනු ආනුභුතික වස්තුවක් නොවේ. එය කිසිසේත්ම කාන්ටියානු දෙයෙහි එහිම ස්වරූපය වැන්නක් නොවේ. ඒ වෙනුවට අපට එය අපේ ආශාව පණ ගන්වන බලයක් ලෙස නම් කළ හැකිය. විසිවෙනි සියවස යනු යථාවට අනුරාගී වූ මිනිසුන්ගේ සියවසයි.

මෙවැනි මිනිසුන් උඩුගං බලා පිහිනීමට තැත් කරනා නිසාම ඔවුන්ට තවත් මිනිසුන්ගේ සහයක් අවශ්‍ය වෙයි. එනිසාම මෙවැනි මිනිසුන් සාර්ථක විය හැක්කේ සාමූහිකව මෙවැනි අරමුණු හඹා යන ප්‍රයත්නයන් තුළ පමණි. විසිවෙනි සියවස පුරා මිනිසා පිළිබඳව අදහස න්‍යායිකව අභියෝගයට ලක් වන්නේ මෙම නිසා කියා බදියු කියයි. තනි පුද්ගලයා වෙනුවට නව සාමූහික මිනිසෙක් පිළිබඳව නොනිමි ගවේෂණයක් එහි විය.

අන් සියල්ලට වඩා විසිවෙනි සියවස යනු නව ආරම්භයන්, නවීනත්වයන් පිළිබඳව ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුවක් තිබුණු සියවසක් විය. යථාව වෙත ඇති අනුරාගය වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීමේ ප්‍රතිඵලය වන්නේ මෙයයි. අප දැන්, මෙතැන නවීනත්වයන් ගොඩ නැංවිය යුතු වේ! බදියු යෝජනා කරන්නේ මෙයයි.

මාක්ස්වාදයේ බිඳ වැටීම, සමාජවාදී අත්හදාබැලීම් වල අවසානය සමග අපට පුරුදු කර තිබුනේ විසිවෙනි සියවස අමතක කර දමන ලෙසයි. එය සමස්තකරනවාදයේ, අධිකාරිවාදයේ, දේශපාලන ඝාතන වල, විනාශකාරී යුද්ධ වල සියවස ලෙස නම් කර තිබුණි. මෙම ඓතිහාසික ආඛ්‍යානය ප්‍රශ්න කරමින් බදියු යෝජනා කරන්නේ අප විසිවෙනි සියවසේ කේන්ද්‍රීය ලිවීම් පරීක්ෂා කළ විට එම ඉතිහාසය විසින් අපට වෙනත් දෙයක් කියා සිටිනා බවයි. අප උත්සාහ කළ යුතු වන්නේ විසිවෙනි සියවසේ සිටි ඒ අනුරාගික මිනිසුන් ගේ ආත්මීය පෙනී සිටීම, වීරත්වය, අධිෂ්ඨානය නැවත සොයා ගැනීමටයි.

ජාතික ජන බලවේගයට බුද්ධිමය විරෝධයක් දක්වන බොහෝ දෙනෙක් එය පදනම් කර ගන්නේ විසිවෙනි සියවස පිළිබඳව ඉහත සම්ප්‍රදායික ආඛ්‍යානය මත පදනම්ව කියා පැහැදිළි වෙයි. මේ අය බිය වන්නේ තමන්ගේ පුංචි ස්ථාවර ලෝකය බිඳ වැටීම ගැනයි. ඇද වැටිය හැකි පහලම තත්වයකට ඇද වැටීමෙන් පසුව පවා එයට වගකිව යුතු දේශපාලන පන්තිය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නේ මේ බිය නිසාය. එම අර්ථයෙන් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන්නේ විසිවෙනි සියවස කියා අපට කිව හැකිය. ඔවුන් බිය වන්නේ නවීනත්වයටයි. ඔවුන් බිය වන්නේ පුද්ගලවාදී හුදෙකලා මිනිසා පිළිබඳව අදහස ප්‍රශ්න කිරීමටයි. ඔවුන් බිය වන්නේ යථාවට ඇති අනුරාගයටයි. එය මහා විනාශයකින් අවසන් වීම අනිවාර්යයතාවයක් කියා ඔවුන් කියයි.

අප ජීවත් වන යුගය ජන රජ වල පැවැත්ම අහෝසි කර පැරණි රාජාණ්ඩු ප්‍රතිෂ්ඨාපනය කරනා (Restoration) යුගයක් හා සන්සන්ධනය කළ යුතුය කියා බදියු කියන්නේ මෙම නිසාය. මෙයට එරෙහිව අප විසිවෙනි සියවසට සවන් දිය යුතුය. අද සිට ආපසු හැරී බලන විට බොහෝ දුර අතීතයක් සේ පෙනෙනා ඒ සිදුවීම් බහුල සියවස අපට කියන්නේ කුමක්ද?